ගල්ගමුව අවට වන කලාපයන් හි සැරිසරන ලදුව චණ්ඩි හෙවත් තනි දළයා ලෙස රට පුරා ප්රචලිතව සිටි ඇතා මියගොස් ඇති අතර මළ සිරුර ඇහැටුවැව, කදුරුවැවේ දියේ තිබිය දී ඊයේ (05) අළුයම ප්රදේශවාසීන්ට හමුවී තිබේ. චණ්ඩි ගේ මරණයට හේතුව මේ දක්වා අනාවරණය වී නැති මුත් ඊට පෙර දා රාත්රියේ රට්ටා නමැති ඇතා එල්ලකල මාරාන්තික ප්රහාර නිසා චණ්ඩි මිය ගොස් ඇති බව ප්රදේශවාසීහු කියති. චණ්ඩි ගේ හිසට හා පපු ප්රදේශයට එල්ලකල මාරාන්තික දළ ප්රහාර මරණයට හේතුවී ඇති බව ඇතැමුන් ගේ මතයයි.ජීවිතයේ තරුණ වියේ දී මානව ජනාවාස ආශ්රිතව සිදු කළ විවිධ ක්රියාකාරකම් නිසා .වන ජීවී නිලධාරීන් විසින් ගල්ගමුව ප්රදේශයෙන් මාදුරු ඔයට සහ හොරොව්පතානට රැගෙන ගිය මෙම හස්තියා නැවත ගල්ගමුවට පැමිණීම නිසා ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.චණ්ඩි තමන් ගේ නිජබිම කෙරෙහි දැක් වූ එම ඇල්ම බොහෝ දෙනාගේ කතා බහට පවා ලක් විය.පසුව විවිධ රෝගාබාධවලට ලක්ව සිටි මෙම හස්තියාට අවස්ථා රැසකදී ප්රතිකාර කෙරුණු අතර චණ්ඩි ඇස් පෙනීමේ දුබලතාවකින් පසු වූ බවත් ඉන්පසු සිය සුපුරුදු චර්යා රටාව වෙනස් කිරීම මත දිවා කාලවල පවා මානව ජනාවාස වල හැසිරෙනු දක්නා ලදී.එමෙන්ම කලින් ප්රදේශවාසීන් තුළ චණ්ඩි සම්බන්ධයෙන් පැවති බිය සැක වෙනුවට ඔහු පිළිබඳ දයානුකම්පාවක් ප්රවර්ධනය වී තිබේ.ඒ නිසා පසුව “අහිංසක චණ්ඩි”නමින් ද හඳුන්වනු ලැබූ එම හස්තියාගේ මරණය ප්රදේශවාසීන් ගේ සිත් තුළ මහත් සංවේගයක් ජනිත කිරීමට සමත් වී තිබේ. වන ජීවී නිලධාරීහු චණ්ඩිගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.