මේ වන විට පුළුල් සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් මීට සුළු මොහොතකට පෙර ගල්ගමුව සෙනරත්ගම,පූලංචිය වැව අද්දර පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අබියස දී ආරම්භ විය.එම අහිංසා ස්මාරකය මුල් කොට නිර්මාණය වූ ඇත් පිළිරූ ගීතයක් කල එළි දැක්වෙන මෙම වැඩ සටහනේ දී අලි ඇතුන්ට කරුණාව දක්වන්නවුන්ට නිබඳවම රැකවරණ සලසන බවට අතීත වන්නි හත්පත්තු ජනතාව අතර පාරම්පරික විශ්වාසයක් පැවති දහනක බණ්ඩාර දෙවියන් සඳහා වන පැරණි දේව කන්නලව්වක් ද සිදු කෙරෙනු ඇත.මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් රචනා කරන ලද මෙම ‘ඇත් පිළි රූ‘ගීතයේ තනු නිර්මාණය ලසන්ත අබේපාල ගෙන් වන අතර එය වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ ඇතුළු පිරිස විසින් ගායනා කොට ඇත.
මෙම වැඩසටහනට එක් වන පුරාණ දහනක බණ්ඩාර දේව කන්නලව්ව මේ වන විට සමාජයෙන් ගිලිහී ගොස් ඇති අතර මීට දශක කිහිපයක් දක්වා භාවිතා වූ එම පැරණි දේව කන්නලව්ව නූතන පරපුරට හඳුන්වා දීම මඟින් අතීත ජන සමාජයේ පැවැති වන අලින් සහ සෙසු වන සතුන් හා මිනිසුන් අතර පැවැති සංහිදියාව හා සහජීවන පිළිවෙත යළි එම ප්‍රදේශයේ ජනතාව අතර ස්ථාපිත කිරීම අරමුණු කෙරේ.මෙම වැඩසටහනේ දී මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් ඒ පිළිබඳ සමාලෝචනයක් ද සිදු කරනු ඇත.
ඊට අමතරව මෙම වැඩසටහනට ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන එකමුතුව හා සීමාසහිත දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සංගමය ඉදිරිපත් කරන “ගල්ගමුවේ දිරිය කතුන්ට ධන වරම්” නම් ග්‍රාමීය නිෂ්පාදන සඳහා දේශීය සහ විදේශීය වෙළඳ පලක් ලබා දීමේ අංගයක් ද ඇතුලත් ව තිබේ.මෙම ඇත් පිළිරූ ගීතය දොරට වැඩුම සහ පුරාණ දහනක බණ්ඩාර දේව කන්නලව්ව ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් සංවිධානය කරනුයේ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය මගිනි.මේ එම වැඩ සටහන සම්බන්ධ රූප රාමු කිහිපයකි.