විවිධ ගම් ,නගර සහ ප්‍රදේශ විවිධ කරුණු සම්බන්ධ විශේෂ ප්රසිද්ධියකට පත් වෙයි. ඒ අනුව ගල්ගමුව ප්‍රදේශය යම් කරුණක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ නම් ඒ වන අලින් සම්බන්ධයෙනි. භූමි ප්‍රදේශයට සාපේක්ෂව අප රටේ වැඩිම වන අලිගහනයක් දක්නට ලැබෙනුයේ ගල්ගමුව ප්‍රදේශයෙන් වන අතර ඒ වන අලි සමූහයට සුවිසල් දළකාර සද්දන්තයෝ ද එක්ව සිටිති.
පසුගිය 2010 සහ 2018 යන වසර දෙකේ දී ශ්‍රී ලංකාවේ නම් දරා සිටි ගල්ගමුව ආශ්රතව දිවි ගෙවූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන සද්දන්ත ඇත්තු දෙදෙනා මිනිස් ක්‍රියාකාරකම් මුල් කොට ඛේදනීය අකල් මරණවලට ලක් වූහ. එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් දෙකක්ම ගල්ගමුවෙන් වාර්තා වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් විය. එනම් ශ්‍රී ලංකාවට, ආසියාවට සේම මුලු ලොවටම ආභරණයක් බඳු වූ ඒ සොබා දහමේ අසිරිමත් දායාදයන් දෙකම ගල්ගමුව අවට වන කලාපයන්ට උරුමව තිබීම ය.
මෙලෙස වන අලින් ගේ බහුල වීම නිසාම අලි මිනිස් ගැටුම නම් වන අර්බුදය පිළිබඳ වැඩිපුර තොරතුරු ද ගල්ගමුව ප්‍රදේශයෙන්ම වාර්තා වීම ද අතිශය ස්වභාවික තත්වයකි. එහෙත්, ජන මාධ්‍ය වලින් කරුණු ඉදිරිපත් වන ආකාරයට අප රටේ මහජනතාවට වැටහී ගොස් ඇත්තේ අලි ඇතුන් කෙරෙහි බරපතල වෛරයකින් ද්වේෂයකින් පසුවන ජනතාවක් ගල්ගමුවේ වෙසෙන බවකි. එය මුලුමනින්ම අසත්‍යයක් වන අතර ගල්ගමුවේ තරම් අලි ඇතුන්ට ලෙන්ගතු ජනතාවක් අප රටේ අන් කිසිදු ප්‍රදේශයක නොමැති බව මගේ පෞද්ගලික වැටහීම ය. ගැටුම යනු හුදු විරෝධතාවයක් සේම සහසබඳතා නිරතුරුව පවත්වාගෙන යනු පිණිස ගෙන යන උපාය මාර්ගයක් බව ද මෙහි දී කිව මනා ය.
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දෙවිනුවර ජන්ම ලාභය ලත් මා මුල්වරට ගල්ගමුවට පැමිණියේ හරියට හයක් හතරක් නොදත් 1969 වසරේ දී ය. ඉන්පසුව දඟකාර කොළු ගැටයකුව සිටියදී මගේ මවගේ බාල සොයුරාගේ ව්‍යාපාරික කටයුතු පැවතීම මත 1974 වසරේ සිට අධ්‍යාපනය ලැබීමට ගල්ගමුවේ පදිංචියට පැමිණි මම එදා මෙදා තුර ගල්ගමුව මගේ ගම් ප්‍රදේශය සේ සළකා කටයුතු කරමි. මට සහතික ලෙසම කිව හැකි අන්දමට ඒ කාලයේ අද මෙන් අලි මිනිස් ගැටුමක් තිබුණේ නැත. එවක ගල්ගමුව ප්‍රදේශයේ අද මෙන් ජනගහනයක් නොවූ අතර ජනාවාස ද ඉදිව නොතිබිණි. නමුදු අදට සාපේක්ෂව ගල්ගමුව අවට සැළකිය යුතු වනගහනයක් පැවතීම මත අදට වඩා වැඩි වන අලි ඇත්තු ප්‍රමාණයක් ද මෙහි දිවි ගෙවූහ. ඒ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු මූලාශ්‍ර මගින් ද මනාව තහවුරු වෙයි. නමුත් මෙහි දී විශේෂයෙන්ම කිව යුතු අන්දමට එදා වන අලින් අද මෙන් මෙලෙස ගම් වැදුණේ නැත.ඔව්හු තමන් ගේ සුපුරුදු වාසභවනයන් වන මහ කැළය තුළ ජීවත් වූහ. මිනිස් ජනාවාස වලින් දක්නට ලැබෙන මිනිසුන් ගේ හැසිරීම්,ඒවායින් නැඟෙන මිනිස් කටහඬවල් ඇතුළු අනේක විධ ශබ්ද සහ රාත්‍රී කාලවලට දිස්වන පහන් ආලෝකයන්ට පවා වන අලි අතිශය සංවේදී වූහ. නොඑසේ නම් එවක වන අලි මිනිස් ජනාවාස වෙත එන්නට “කුලෑටි” වූහ. නමුදු ගොවීන් විසින් ගොයම් කපා අස්වැන්න ගෙට ගත් පසු ඉතිරි වන ඉපනැල්ල කෑමට වන අලින් කුඹුරුවලට බැස ඇති බවට සළකුණු පසුදා උදයේ එම බිම් වල පියමං කළ අපට දක්නට ලැබිණ. කොටින්ම එවක වන අලින් ගම් වැදීම කෙතරම් අහඹු සිදුවීමක් විණි ද යත් මෙම ප්‍රදේශවල ගැමියන් එය දුටුවේ දේව කෝපයක ලකුණක් ලෙසිනි.
එහෙත්, පසුකාලීනව දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙන් මෙහි ද ජනහගනය සහ ජනාවාස බහුල වීම, ඊට අමතරව කෘෂි කාර්මික කටයුතු උදෙසා අතිරේක භූමි ප්‍රමාණයක් මිනිසුන් සතු කර ගැනීම ආදී හේතු මත වන අලින් ගේ ස්වභාවික වාසභූමි සහ වන මංපෙත්වලින් කොටසක් මිනිසුන් සතු විය. මෙහි ඊළඟ ප්‍රතිඵලය වූයේ තමන් සතු පාරම්පරික වාස භූමි මිනිසුන් සතු කර ගැනීම මත ඒවා අතහැර යන්නට වන අලින්ට ද නොහැකි වීම ය. ඒ අනුව මෙම සංසිද්ධිය වන අලින් ගම් වැදීමට වඩා මිනිසුන් වල් වැදී අලි ඇතුන් සමාජය හමුවේ නිරාවරණය වීමට සැළැස්වීමක් බව මගේ වැටහීම ය. නමුදු මෙය මිනිසුන් ගේ හෝ වන අලින් ගේ වරදක් අඩුපාඩුවක් නොව කාලීන වශයෙන් මේ දෙපිරිසටම මුහුණ දීමට සිදු වූ එක්තරා අභාග්‍ය සම්පන්න සිදුවීම් දාමයකි. මෙම සිදුවීම ඉතා පැහැදිලිව හා නිරවුල්ව විස්තර කළ හැකි පාරම්පරික ගැමියෝ අදටත් ගල්ගමුව අවට සිටිති.
අලි මිනිස් ගැටුම යන වදන මෙලෙස සමාජ කරලියේ රැව් දුන්න ද අලි මිනිස් සබඳතාවය නමින් විවර කළ හැකි මෙතෙක් බොහෝ දෙනකු නොකියවූ මේ සම්බන්ධ සැඟවුණු පරිච්ඡේදයක් තීබේ. දුරාතීතයේ පැවති තම සුපුරුදු කුලෑටිකම අහිමි කර ගත් වන අලින් මිනිස් වාස භූමි වෙත පැමිණීමේ දී ඔවුන් ඉවත් කරගැනීම පිණිස ගැමියන් යොදන සහනශීලී උපාය මාර්ග සහ වන අලින් ඒවාට අවනතවීම සම්බන්ධ එම අප්‍රකට තොරතුරු දාමය ද සමාජය හමුවේ අනාවරණය වීම ඉතා වැදගත්ය. කොටින්ම ගල්ගමුවේ බහුතර ජනතාව වන අලින් “පුතේ, දරුවෝ” යනුවෙන් ආමන්ත්‍රණය කරන බවක් අදටත් බොහෝ දෙනෙක් නොදනිති.
‘වන අලි ප්‍රහාර’ යන වදන අද මාධ්‍ය කරුවෝ බහුල ලෙස භාවිතා කරති. එහෙත්, ඒ කිසිදු වග විභාගයකින් තොරව ය. ඒ සඳහා ආසන්නම උදාහරණය වනුයේ මීට මඳ කලකට ඉහත අප රටේ ප්රමුඛ පෙළේ කලා ශිල්පියකු පැදවූ වාහනයක් රාත්‍රී නවයට පමණ තලාව, මොරගොඩ ප්‍රදේශයේ දී පාර හරහා ගමන් කරමින් සිටි වන අලියකු ගේ සිරුරේ ගැටී අනතුරකට ලක්වීම ඇතැම් මාධ්‍ය මඟින් වන අලි ප්‍රහාරයක් සේ හඳුන්වා තිබීම ය. කොටින්ම කිසියම් හේතුවක් මත බියපත් වූ වන අලියකු දිවීමට සැරසෙද්දී මිනිසකුගේ සිරුරේ ගැටී ඔහුට යම් කායික හානියක් සිදු වීම ද ඇතැම් මාධ්‍යවේදීන්ට වන අලි ප්රහාරයකි. ඒ, සිරුරේ ගැටීම යන්නෙහි නොමැති ප්රවෘත්තිමය අගයක් ”ප්‍රහාරය” යන වදනේ ගැබ් ව ඇති බැවිනි.
අප දන්නා අන්දමට ශාක භක්ෂක සත්ව කොටසක් වන අලි ඇතුන් ස්වභාවයෙන් ම ප්‍රචණ්ඩකාරී නොවෙති. නමුත් මිනිසුන් අතරේ මෙන්ම ඔවුන් අතරේ ද මුරණ්ඩුකාරයන් ද නැත්තේම නොවේ. ඒ හැරුණු කොට මඳ කිපී සිටින අලි ඇතුන්, තමන් අවට පරිසරය පිළිබඳ නිසි වැටහීමක් නොමැති ගැටවර අලින් සේම ගෙදර හදන කෑමවලට වඩා කඩ කෑම ප්‍රිය කරන අපේ සමාජයේ ඇතැමුන් මෙන් වනයේ ආහාරවලට වඩා ගමේ ආහාරවලට ඇබ්බැහි වූ වන අලින් නිසා ද මිනිස් ජීවිතවලට සහ දේපලවලට හානි වන බව සත්‍යයකි. එහෙත් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් නොදන්නා කතාවක් තිබේ. එනම් මෙම අලි මිනිස් ගැටුම නිසා සිදුවන මිනිස් අලි මරණ අනුපාතය එකට තුනටත් වඩා ඉහළ මට්ටමක පැවැතීම ය.
ශ්‍රී ලංකාවේ වන ගහනය මේ වන විට සියයට දාහතක් තෙක් පහත වැටී ඇති අතර එය සියයට තිහක අගයක පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගනු ලැබූ පියවරක් ලෙස අංක 05/2001 දරන 2001.08 10 දිනැති චක්‍ර ලේඛය නිකුත් කරන ලදී. එමගින් ගැමි ජනතාව පාරම්පරිකව හේන් වගාව සඳහා යොදා ගත් මහ වනය සහ ගම්මානය අතර වූ එතෙක් දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම් වරුන් යටතේ පාලනය වූ බැදි කුට්ටි ද රක්ෂිතයන් ලෙස සීමා මායිම් යොදා වෙන් කරන ලදී.වසරේ මාස හතරක් හේන් වගාව සඳහා යොදා ගත් එම වන තීරුව වසරේ ඉතිරි මාස අට වන අලින් ගේ ගොදුරු කලාප බවට පත් විය.නමුත් ඉහත සඳහන් චක්‍ර ලේඛය මඟින් ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගත් අතර ඒවා නැවත වල් බිහිවීම මත වන අලින්ට ගම්මාන ආශ්‍රිතව නවාතැන් ගැනීමේ අවකශය උදා විය. ඇතැම් ගැමි නිවෙස්වල වැසිකිලි පවා මායිම් ගල් අල්ලා එම රක්ෂිත තුළට ගොනු කොට ඇති අන්දම මෙම ගල්ගමුව ප්‍රදේශයට පැමිණෙන ඕනෑම අයකුට නිරීක්ෂණය කළ හැකිය. අරමුණ කෙතරම් යහපත් වුවත් එම චක්‍ර ලේඛය බලාත්මක වීම මෙම ප්‍රදේශවලට බලපාන ලද්දේ වන අලින් ගම්මාන ආශ්‍රිතව කොටු කිරීමක්;ගාල් කිරීමක් ලෙසිනි. මේ ඇතුළු අද වන විට මෙම ප්‍රදේශයේ ජනතාව සේම වන අලින් මුහුණ දී ඇති ගැටලුවලට තවත් බොහෝ කරුණු හේතු වී ඇති බව කිව යුතුව තිබේ.
අප දන්නා තවත් කරුණක් නම් මෙම වන අලින්ගෙන් මිනිසුන්ට සහ මිනිසුන්ගෙන් වන අලින්ට සිදුවන විපත් ප්රදේශබදව වෙනස් වීම ය.මහනුවර දිස්ත්‍රික්කයට අයත් මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව වන අලින් ගැවසෙන මුත් ඔවුන් ගෙන් ගැමියන්ගේ වගා බිම්වලට සිදුවන හානිය ඉතා අවම බව පැවසෙයි.එම ප්‍රදේශ වල ජනතාව පවසනුයේ ගල්ගමු වැසියන් වන අලින් අනවශ්‍ය ලෙස කුපිත කරවා මෙම අලි මිනිස් ගැටුම නිර්මාණය කරගෙන ඇති බවකි. අප මේවාට ද හේතු විමසා ඒ අනුව පියවර ගත යුතුව තිබේ.
ඒ මේ සියලු තත්වයන් යටතේ ඉහත සඳහන් සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන ඇතුන් ගේ අකල් මරණ හමුවේ ගල්ගමුවේ ජනතාවට ජාතික මට්ටමින් අත් විඳීමට සිදු වූ අපවාදය හුදෙක් නිසරු ප්රලාපයක් බව සනාථ කෙරෙමින් එම ඇතුන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකකින් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභා සීමාව තුළ ඉදි කරවීමට හැකිවීම පොදුවේ ගල්ගමුව ජනතාවගේ සේම මගේ ද පෞද්ගලික වාසනාවක් සහ භාග්‍යයක් වේ.
ඒ අනුව මෙම කාරිය සඳහා 2019 ජනවාරි මාසයේ සිට මෙය ලියන මොහොත තෙක්ම නිරතුරුව අප මුණගැසෙමින් අප හා අත්වැල් බැඳ කටයුතු කරන අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ අධ්යක්ෂ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතාටත් ඔහු අප වෙත සම්බන්ධ කළ ගල්ගමුව සියඹලංගමුවේ ක්‍රිශාන්ත ප්‍රසාද් නන්දසේන මහතාටත් පසුව මෙම කටයුත්ත සඳහා සුවිශේෂ නියාමකත්වයක් හා දායකත්වයක් ලබා දුන් අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ අධ්යක්ෂ මහාචාර්ය නාමල් විජයසිංහ මහතා ප්රමුඛ එහි සමස්ත නිලධාරී මණ්ඩලයටත් මගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි. ඒ මෙම ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දායාද කරගත් සමස්ත ගල්ගමු ජනතාව සමඟ සත්ව අහිංසාව පිළිබඳ උදාර පණිවිඩය සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය වෙතම ලබා දීමේ දැඩි අදිටනින් යුතුව ය.
එච්.කේ විමලරත්න,ගරු සභාපති ප්‍රාදේශීය සභාව,ගල්ගමුව
(ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය පිළිබඳ “අහිංසා”සමරු කළඹෙන් උපුටා ගන්නා ලදී. )