ගසක එල්ලී සිටි දිවියා මිය ගියේ වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන්ද? සොයා බලන්නැයි ඇමති කියයි

හැටන්, සමර්හිල් වතුයායේ තේ වත්තක යුකැලිප්ටස් ගසක එල්ලී සිටිය දී මියගිය දිවියාගේ මරණයට එම සත්වයා මුදා ගැනීමට කටයුතු කළ වන ජීවි නිලධාරින්ගේ නොසැළකිල්ල හේතු වූ බවට පළ වන වාර්තා අනුව එම සතාගේ මරණය සිදු වු ආකාරය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී තිබේ.

දඩයක්කරුවෙකුගේ මන්දකට හසු වී සිටි මෙම දිවියා අසළ තිබු යුකැලිප්ටස් ගසකට නැඟ සිටිය දී එම සත්වයා තම භාරයට ගැනීම පිණිස වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළීම හේතුවෙන් ඊට යට වී එම දිවියා මරණයට පත් වු බව මාධ්‍ය වාර්තා කර තිබිණ.ඒ අනුව වන ජීවි නිලධාරින්ගේ නොසැළකිල්ල සත්වයාගේ මරණයට හේතු වී ඇත්දැයි සනාථ වුවහොත් එම නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් ලබා දී ඇත.

මේ අතර මෙම සත්වයා සම්බන්ධ සිදුවීම මාධ්‍ය මඟින් අනාවරණය වුව ද කඳුකර වනාන්තර වල සිට ගොදුරු සොයා වතු ජනාවාස වලට පැමිණෙන දිවියන් කම්බි යොදා සකස් කළ මන්ද වල් ඇටවීමෙන් මරණයට පත් කිරීම බහුලව සිදුවන පෙන්වා දෙන සත්ව ලෝලීහු ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ හැකි තොරතුරු ලබා දෙන්නවුන් හට මුදල් ප්‍රදානය කරන බවට ප්‍රසිද්ධ කළ හොත් වතුකරයේ ජනතාව ඒ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරනු ඇතැයි පෙන්වා දෙති.එමෙන්ම මෙම මන්ද ඇටවීම් එකම ක්‍රමයකට සිදු වීම මත මෙය කිසියම් සංවිධානාත්මක ක්‍රියාවලියක් විය හැකි බව ද ඔව්හු වැඩි දුරටත් කියති.

 

කාලීන පුවත්