අතීත සමාජයට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ අනාගතය පිළිබඳ බිය සහ අනිනිශ්චිතතාව වේගයෙන් ඉහළ නැංවෙමින් තිබේ.ඒ නිසාම තමන් සහ තම පවුලේ ඥාතීන් ආදිය වෙත හෙට දිනයේ එළඹෙන අවිනිශ්චිතතාවන් පිළිබඳව ජන සමාජය දක්වන අවධානය ද ඉහළ මට්ටමක පවතී.එනිසාම ග්‍රහ අපල සම්බන්ධ භීතිය ද වඩාත් ඉහළ මට්ටමක පවතින බව ඉතා පැහැදිලිව පෙනෙයි. ජ්‍යොතිර්වේදය සම්බන්ධ සත්‍ය කරුණු අභිබවා අසත්‍ය කරුණු සමාජය පුරා වැඩි වශයෙන් වැපිරෙමින් තිබීම ද මෙම ග්‍රහ අපල භීතිකාව සමාජය පුරා ඔඩු දිවීමට හේතු වී ඇති බව පෙනෙයි. එනිසාම එම අපල වලින් අත්මිදීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
එහෙත්, මෙහි සමාජයට දැඩි සේ අහිතකර පක්ෂයක් ද තිබේ. එනම් වර්තමාන සමාජයේ ඇතැමෙකුට තමන්ගේ ග්‍රහ අපල දුරුකර ගැනීම වන කරුණ උදෙසා රුපියල් දහස් ගණන් ඇතැම් විට ලක්ෂ ගණන් පවා වැය කිරීමට සිදුවීම ය. අප මෙසේ පවසනුයේ එබඳු සිදුවීම් නිතර අසන්නට ලැබෙන බැවිනි.එමෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් අති විශාල ලෙස මුදල් විය පැහැදම් කර ගැනීම පිටුපස හිඳින ජ්‍යොතිර්වේදය නම් ඉපැරණි උතුම් ශාස්ත්‍රය විකුණාගෙන කන ජාවාරම් කරුවන් දිනෙන් දිනම ඉහළ නැංවෙන බව ද කිව යුතුය.
අතීතයේ ග්‍රහ අපල නිවාරණය සඳහා යොදා ගන්නා ලද ගුප්ත විද්‍යාත්මක පිළියම වූයේ බලි ශාන්ති කර්මයි. මෙය ඉතා වැදගත් අධ්‍යාත්මික කාරියක්. මනෝ චිකිත්සාවක්
සේම කලාත්මක අංගයක් ද වෙයි. නමුත් වැඩි ප්‍රජා සහභාගිත්වයක් කාලයක් වැය කළ යුතු මෙම බලි ශාන්තිකර්මය අද වන විට සමාජයේ අභාවයට යමින් තිබෙනු දක්නට ලැබේ. උඩරට පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් අනුව සිදුකරන ලද මෙම ශාන්තිකර්ම හා සම්බන්ධ ඇදුරු පරම්පරා ද අද වන විට අභාවයට යමින් තිබෙනු දැකිය හැක.
මේ තත්වය යටතේ වතර්මාන සමාජයේ අපල දුරුකර ගැනීම පිණිස යොදා ගනු ලබන ප්‍රධානතම නිවාරණ ක්‍රමයක් ලෙස නවග්‍රහ පූජාව හැඳින්විය හැක. එහෙත්, ඒ
සම්බන්ධයෙන් පැන නැඟී ඇති අතිශය අවාසනාවන්ත තත්වයක් පිළිබඳව ද කිව යුතු ය. එනම් අද වන විට නව ග්‍රහ පූජා නමින් හඳුන්වන ඇතැම් ක්‍රියාවන් අසරණ ජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් කොල්ල කා ගැනීම් සඳහා ඇතැමුන් විසින් අවභාවිත කරනු දක්නට ලැබීම ය.
මෙම නවග්‍රහ පූජා හෙවත් නවග්‍රහ ශාන්ති යනු හින්දු ආගමේ එන හෝම නම් වන යාතු කර්මය පදනම් වූවකි.ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය ඊට සම්බන්ධ වී ඇත්තේ ගිරයෙන් ගොයම් කැපීමේ කාරියක යෙදෙන ලෙසිනි. ග්‍රහයන් සහ දෙවිවරුන් යනු එකි`නෙකට ඉඳුරාම වෙනස් කොටස් දෙකක් වන අතර ඔවුන් එකි`නෙකාට මිත්‍ර නොවන පාර්ශ්වයන් දෙකක් බව ද කිව යුතු ය.
මෙහිදී වඩාත් බලවත් දෙවියන් ද නැතහොත් ග්‍රහයන් ද යන්න පිළිබඳ අතීත සමාජයේ ප්‍රබල කතිකාවක් පැවැති බව පෙනෙයි. ක්‍රිස්තු පූර්ව දාහත් වැනි සියවසේ මෙරට එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස් නම් බ්‍රිතාන්‍ය නාවිකයා ලියූ කෘතියේ දැක්වෙන අන්දමට “ග්‍රහයා නරක නම් දෙවියෝ මක් කරන්නද?”යන පිරුළක් එවක සමාජයේ තිබී ඇත. එමෙන්ම ඉන්දීය පුරාවෘත්තයක් මත පදනම් වූ විෂ්ණු දෙවියන්ට සෙනසුරා බටකොළ කැවූ කතාවත් දෙවියන්ට වඩා ග්‍රහයන්ගේ බලවත් බව පැවසෙන අදත් සමාජය පුරා පැතිර ගත් කතා ප්රවෘත්තියකි. ඒ අනුව අතීත භාරතයේ නව ග්‍රහ සංකල්පයට අනුව එක් එක් ග්‍රහයන්ට ද දෙවිවරුන්ට මෙන් ආයුධ සහ වාහන තිබූ බව මහනුවර යුගයේ දී ප්‍රචලිතව පැවැති බව දහ නව වැනි සියවසේ මෙරට පාලනය කළ සිවිල් නිලධාරියකු වන හියූ නෙවිල් විසින් සංරක්ෂණය කරන ලදුව දැනට එංගලන්තයේ රාජකීය පුස්තකාලයේ තැන්පත් කොට ඇති “නවග්‍රහ ශාන්ති” නම් කාව්‍ය මාලාව අයත් පුස්කොළ පොතක සඳහන් වේ.
එහි දැක්වෙන අන්දමට ඉන්දියාවේ කළිගු දේශයේ උපන් රවි ග්‍රහයාගේ ආයුධය සිරිවත වන අතර වාහනය අශ්වයාය. සිකුරුගේ ආයුධය සුදු චාමරය වන අතර වාහනය හස්තියා සහ වෘෂභයා ලෙස හඳුන්වා තිබේ. සිකුරුගේ උපන් රට ලෙස සැලකෙනුයේ භෝජ රටය. මධ්‍ය දේශයේ උපන් බව පැවසෙන අඟහරුගේ වාහනය මයුරාය. එම නව ග්‍රහයන් අතරින් පාපී ග්‍රහයකු ලෙස ජන සම්මත රාහුගේ උපන් බිම ලංකාව වන අතර ඔහුගේ ආයුධය රේ මසකු නම් වන මත්ස්‍යයකු වන අතර වාහනය සුදු අශ්වයෙකි. බොහෝ දෙනකු නම ඇසීමට පවා බියක් දක්වන සෙනසුරුගේ උපන් බිම සයුරා රට වන අතර ඔහු නදවත නම් ආයුධයක් දරා කාක වාහනයක් මත හිඳින බව පැවසෙයි. සෞම්‍ය ග්‍රහයකු ලෙස සාමාන්‍ය ජන සමාජයේ පවා ප්‍රචලිත සඳුගේ වාහනය හස්තියා වන අතර ආයුධය මේඛලාව හෙවත් මිණි මෙවුල ලෙස සඳහන් වේ. සඳුගේ උපන් බිම ලෙස හැඳින්වෙනුයේ යමුනා දේශයයි.
මහීෂයකු හෙවත් මීමකු වාහනය කරගත් ඔකඳ දේශයේ උපන් බුධ ගේ ආයුධය සංඛයක් බව පැවසෙයි. සාලින්ද දේශයේ උපන් ගුරු ග්‍රහයාගේ වාහනය රථය ලෙස දක්වා ඇති අතර ආයුධය ඝටය නම් වෙයි. නමුදු මේ කතා ප්‍රවෘත්තීන් වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.
ඉහත සඳහන් විස්තර අනුව සෛද්ධාන්තික ජ්‍යොතිර්වේදයේ එන නව ග්‍රහයන් ඉන්දියාවේ සේම අප ජීවත් වන ශ්‍රී ලංකාවේ ද උපන් බව පැවසීම සිද්ධාන්තමය
ජ්‍යොතිර්වේදයට කෙතරම් පටහැනි ද යන්න අපට සිතා ගත හැක. ඒ තත්වය යටතේ නව ග්‍රහයන් දෙවිවරුන් සේ සලකා ඔවුනට වන්දනා මාන කිරීම සහ පුද පූජා පැවැත්වීම නුසුදුසු බව ද ඔබට වැටහෙනු ඇත.නමුදු නව ග්‍රහයන් උදෙසා යම් පුද පිළිවෙතක් අනුගමනය කළ යුතු යැයි ඔබට හැඟේ නම් එය මහා පරිමානයෙන් නොව ඉතා සරල ලෙස සිදු කළ යුතු ය.
එමෙන්ම මෙහි දී විශේෂයෙන්ම කිව යුතු කරුණක් ද තිබේ. එනම් ශ්‍රී ලංකාව යනු ඉතා පැහැදිලි බෞද්ධ සංස්කෘතික පදනමකින් යුතු රටකි. ඒ අනුව එහි ග්‍රහ වන්දනයට තබා දේව වන්දනයටවත් ඉඩක් නැත. දෙවියන්ට පින් පෙත් පුද දීම එකකි. දේව වන්දනාව අනෙ`කකි.නමුත් අද වන විට අප සමාජය මෙය ද කණපිට හරවා ගෙන ඇති බවක් පෙනෙයි.ග්‍රහ අපල දුරු කර ගන්න කීයක් විතර වියදම් කරන්න වෙයිද? යන අවිචාරවත් අතාර්කික පැනය සමාජයෙන් ඉස්මතු වනුයේ එනිසා ය.
ඒ අනුව ශ්‍රී ලාංකේය ජ්‍යොතීර්වේදියකු සේම බෞද්ධයකු වශයෙන් ග්‍රහ අපල දුරු කර ගැනීම පිණිස ම’විසින් දෙනු ලබන ප්‍රධාන උපදේශයක් තිබේ. එනම් ඒ සඳහා වන හොඳම ක්‍රමය තමන් තුළ පවත්නා කුසල ශක්තීන් වර්ධනය කර ගැනීම බවය. ඒ ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වන විට තමන් වෙත එල්ල වන අයහපත් ග්‍රහ බලපෑම් කෙමෙන් අව ප්‍රමාණ වන බව ඒ තැනැත්තාට වැටහී යනු ඇත. ග්‍රහ අපල දුරු කර ගැනීම පිණිස වන එතරම් සාර්ථක ක්‍රමයක් අන් කිසිදු තැනක නොමැති බව අපගේ විශ්වාසයයි.
හේම ශ්‍රී අමරසිංහ