ගාලු මුවදොර තරුණ අරගලය ද ගාලු මුවදොරට පෙනෙන ඈත අනන්තයට යා යුතු නැත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙස බල කරමින් ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසලට පැමිණි තරුණ ප්‍රජාව ආරම්භ කළ සාමකාමී අරගලයට අද වන විට දින 26 ක් සම්පූර්ණ වෙයි. සාම්ප්‍රදායික අරගලය යන්නට නව මුහුණුවරක් දෙමින් ආරම්භ කළ මෙම අරගලය ජන අරගල ඉතිහාසයේ නව මානයකට පිවිස තිබේ. බොහෝ අය ප්‍රකෝපකාරි අරගලයක් බලාපොරොත්තු වුව ද තරුණ පරම්පරාව එය ඉදිරියට ගෙන ගියේ සාමකාමීව ය.එහි පදනම වූයේ අවි ආයුධ නොව නවීන විද්‍යුත් සන්නිවේදන මෙවලම් හා සයිබර් අවකාශය වෙත පිවිසිය හැකි තාක්ෂණික උපකරණයන් ය.

ඔවුහු එහි සිට දවසේ පැය විසි හතර පුරාම අඛණ්ඩ අරගලයක යෙදුනහ. ඒ අතරෙ ගී ගැයූහ. චිත්‍ර ඇන්දහ.කවී ලීවූහ. උපහාස කතා කීහ.එම විවිධාංගීකරණ ස්වරූපය මින් පෙර කිසිදු ජන අරගලයක නොදක්නා ලදි.එනිසා සමහරු මෙය “කානිවල් පොළ”ක් ලෙස හැඳින්වූහ.මෙම අරගල භූමිය තුළ බාහිර සමාජයේ දක්නට ඇති විවිධ තරාතිරම් ලක්ෂණ දක්නට නැත.සෑම තැනකින්ම නැඟෙනුයේ අයියා,අක්කා,නංගී,මල්ලී,නැන්දා,මමා යන හෘදයාංගම ව්‍යවහාරයන් ය.

මේ අපූර්වත්වය නිසාම මෙම අරගලයට උදව් කිරීමට දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ රැසක් එකතුව සිටිති. රැස්ව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් ආහාර පාන සැපයීමට ද පිරිස් උදව් උපකාර කරති.මීට අමතර ඔහුන්ට හදිසි ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් වෛද්‍ය,හෙද හෙදි කණ්ඩායම් ද එහි වෙති,නොමිලයේ නීති උපදෙස් සැපයෙන නීති ආධාර කඳවුරක් ද තිබේ.එම අරගලයට එක් වන තරුණ තරුණියන්ට පොත පත කියැවීම පිණිස ගෝටාගෝගම පුස්තකාලයක් ද ස්ථාපිත කොට තිබේ.මෙම බහු විධ කරුණු මුල් කොට ගෝටාගම කේන්ද්‍රීය ජන අරගලය මෙරට පමණක් නොව මුලු ලෝකයේම ජන අරගල සංස්කෘතියේ නව හැරවුම් ලක්ෂයක් බව නිසැක ය.ජාති ආගම් භේදයෙන් තොරව මෙය ඉදිරියට යාම බොහෝ පිරිසකට ඇසේ කටු අනින්නක් විය.

එහි සිටින භික්ෂූන් වහන්සේලාට දන් පැන් පිළිගැන්වූයේ කතෝලික කන්‍යා සොයුරියන් ය. මවුලවිවරුන් ය. ආගමික ජාතික විරසකය තුළින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඒකීයත්වය කුඩු පට්ටම් කොට බලයට පැමිණි ආණ්ඩුවකට එය උහුලා ගැනීමට නොහැකි බව අපි පිළිගනිමු.ඒ බව ඔවුන්ගේ හැසිරීමෙන් මොනවට පැහැදිලි වේ.ඒ අනුව ඔවුන් අප රටේ බහුතරය හමුවේ මවා පෑ වඳ කොත්තු,වඳ බ්‍රෙසියර්,වඳ නිකර් වැනි ගොබ්බ කතා පුහු පඹයන් බව මෙරට සාමාන්‍ය ජනතාව වටහා ගනු ඇතැයි ආණ්ඩුව බිය වී සිටියි.
ලෝක ජන අරගල සංස්කෘතියට නව මංපෙතක් පාදමින් තවමත් ක්‍රියාත්මක වන මෙම තරුණ අරගලය ලෝකය පුරා පැතිර යාමත් සමඟ ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට පවා සිදුවිය.

අවසානයේ ජනාධිපති වරයා ඇමති මණ්ඩලය වෙනස් කොට තරුණ පිරිසකට ඇමතිධූර පිරිනැමුවේය.ඒ මීයන් ඇල්ලීමට මැටි බළලුන් යෙදවීමේ න්‍යායට අනුව ය.ඒ අතරේ ඇමති මණ්ඩලය අඩු කළේය. අගමැතිවරයාට ඉවත් වෙන ලෙස බලපෑම් එල්ල විය. අගමැතිධූරයෙන් ඉල්ලා අස් නොවන බව කියා සිටි අගමැතිවරයා පවා 113 පෙන්වන ඕනෑම කෙනෙකුට අගමැති ධූරය පිරිනමන බවක් ප්‍රකාශ කරන තැනට පත්විය.

මෙම තරුණ අරගලය හේතුවෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවා අගමැතිවරයාට ඉල්ලා අස්වී අලුත් ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ.එමෙන්ම කිසිදු දේශපාලනඥයකු හමු නොවන බව කියා සිටි මල්වතු මහ නා හිමියන් ඊයේ මල්වතු මහා විහාරයට පැමිණි මෙම අරගලයේ නියෝජිත පිරිසක මුණගැසීමට තරම් මෛත්‍රී සහගත වූහ.පසුගිය කාලයේ මෙම අරගල භූමිය ව්‍යාප්ත කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිටට ද තරුණ පිරිස් ගමන් කොට එම ස්ථානය ද අරගල භූමියක් බවට පත් කළෝය. අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය නොයෙක් උපාය උපක්‍රම යෙදුව ද එය සාර්ථක වූයේ නැත. පොලීසිය නීති විරෝධී ලෙස බස් රථ නවතා පදික වේදිකාව හරස් කළහ. කුඩාරම් ගලවා ඉවත් කළහ. අරගලකරුවන්ගේ පියවි කටභඬ යටපත් කොට ශබ්ද දූෂණය ඇති වන සේ අරලියගහ මන්දිරයෙන් යකඩ කටින් පිරිත් විසුරුවා හැරියේ ද නීති විරෝධී ලෙසිනි.අපගේ ගැමි සමාජය මේවා හඳුන්වන්නේ “තුට්ටු දෙකේ වැඩ”ලෙසිනි.

එහෙත්, අරගලකරුවෝ ඉන් ඉවත් නොවූහ ගෝටාගෝ ගමට පසුව අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපිත වූ මයිනාගෝගම තවත් සවිමත් විය.තරුණ අරගලයට නිසි විසඳුමක් දෙන තුරු ඉන් පිටව නොයන බව ඔව්හු කියති. ආණ්ඩුව ද තරුණ කණ්ඩායම එයින් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ ජනාධිපති මන්දිරයේ කටයුතු අඩපණව ඇති බැවිනි. එහෙත් මාධ්‍යය ද නිතර එහි රැඳී සිටින බැවින් හා නිරතුරුවම නීතිඥ ප්‍රජාව ද තරුණ පෙළ සමඟ සිටින බැවින් එය ද අසාර්ථක ව ඇත.

මෙහි යම් බලයක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරන බවක් පැහැදිලි වේ. ඔවුන් ඒ වෙනුවෙන් අලුත් සටන් පාඨයක් හදුන්වා දී තිබේ. එනම් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලය ලෙස ය. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත. එහි ඇත්තේ ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව තුළින් නියෝජනය වන බවකි.

අරගල කරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තැනට තල්ලු නොකළ යුතු ය.එවිට ආණ්ඩුව ඉතා පහසුවෙන් එහි “අස්වැන්න” නෙළා ගනු ඇත. සාමකාමි අරගලය දිගටම පවත්වාගත යුතු ය. එහෙත්, අරගලයට අරමුණක් ඉලක්කයක් තිබෙන බව තවත් අපහැදිලි ය. කලක් මේ තරුණ රැල්ලේ නියාමක වරයකු ලෙස කළ පැතුම් කර්නර් නැමැති වෛද්‍යවරයා එංගලන්තයේ සිට පැමිණ අරගලයේ නායකත්වය ගැනීමට සැසසෙන බවට තරුණයන් අතරේ යම් සැකයක් පිබිද වූ බැවින් එම තරුණ පිරිස් විසින් සාමකාමී ලෙස ඔහු ඉන් ඉවත් කරන ලදී.තරුණයන් පවසනුයේ මෙම අරගලය සාමූහික නායකත්ව ක්‍රියා දාමයක් බවය.ඔවුන් ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය( Artificial intelligence )නම් නවීන උපාය මාර්ගය යොදන බව ද සමහරෙක් කියති.

මේ වන විට තරුණ අරගලයේ ජයග්‍රහණ රැසක් පැවැතිය ද එහි අනාගත අරමුණු හා ඉලක්ක ගැන ජනතාව ඇත්තේ බියකි. ජනතාව අපේක්ෂා කරනුයේ ලේ වැගිරීමකින් තොර ජයග්‍රහණයකි. අරගලකරුවන් කමින් බොමින් ගී ගයමින් සිටිනා බව පමණක් පිටතට පෙනෙයි. අභ්‍යන්තරයේ අරමුණක් ඇත් නම් එය ජනතාව දැනගත යුතුය.

අරගලය පවතින්නේ ඉමක් කොනක් නොපෙනෙන මහාසාගරයට මුහුණ ලා ඇති ගාලු මුව දොර පිටියේය. නමුදු එහි සිට මහ මුහුද දෙස බලන විට පෙනෙනුයේ අනත්තය තෙක් පැතිර ගත් මහ සයුර පමණි.එහෙත් ගාලු මුවදොර තරුණ අරගලය එසේ අනන්තය තෙක් විහිද යා යුතු නැත.එය ජනතාව වත්මන් නිරුදක කතරෙන් කෙම්බිමක් වෙත යොමු කරවන වඩාත් නිවැරදි පොදු දිශානතියක් වෙත යොමු කරවීම ගැනීම ඊට එක් වන තරුණ ප්‍රජාවේ පොදු “සාමූහික නායකත්ව” වගකීමකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර