කාන්තාවක් සිය ජීවිතයේ දී ලබන සුන්දරම අත්දැකීම මව් පදවිය ලැබීමයි. මේ නිසා තමන්ගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත් පසු ඒ දරුවා ආරක්ෂා කරගන්න මව දරන වෑයම සහ ඒ වෙනුවෙන් කරනු ලබන කැපවීම සුළුපටු නෑ.
ඩිම්බයක සහ ශුක්‍රාණුවක සංසේචනයෙන් පසු මුල් තුන් මාසය කියන්නේ මව ඉතා ප්‍රවේශම් විය යුතු කාලයක්. හේතුව, ඒ කාලයේදී තමයි කළලයේ සෛල බෙදී අවයව සෑදීම සිදු වන්නේ.
මෙම සංසේචන ක්‍රියාවලියෙන් පසු මුලින්ම හැදෙන්නේ මිදි පොකුරක් වැනි බෝල සහිත සෛල පොකුරක්. මේ සෛල පොකුර මුලින්ම කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් වැදෑමහ සහ පටක හැදෙන සෛල.
අනෙක් කොටස කළලයේ අවයව හැදෙන සෛලයි .
වැදෑමහට මෙහිදී විශාල කාර්යයක් පැවරෙනවා. ඒ කළලයට අවශ්‍ය ආහාර සහ ඔක්සිජන් ලබා දෙන අතරේ මවගේ ශරීරයට ලැබෙන හොඳ දේවල් කළලයට ලබාදෙන්නටත් මවගේ ශරීරයට එන අහිතකර වූ බාහිර බලපෑම්වලින් කළලය ආරක්ෂා කිරීමටත් යන මේවායි. මවට වෛරස් උණක් හැදුණත් කළලයට නොහැදෙන්නේ වැදෑමහෙන් ලැබෙන මේ ආරක්ෂාව නිසයි.
නමුත් වැදෑමහට මේ කාර්යය කරන්නට අපහසු වෙන අවස්ථා ද තිබෙනවා. විකිරණ, බෙහෙත් වර්ග රසායන ද්‍රව්‍ය, මවට වස විස ශරීරගත වීම වගේම සමහර වෛරස් වර්ගත් මවගේ ශරීරයට ඇතුල් වන විට එයින් කළලයට හානි සිදුවන්නට පුළුවන්. එවැනි අවස්ථාවන්වලදී වැදෑමහට කිසිවක් කළ හැකි නොවුණත් සාමාන්‍යයෙන් අනෙකුත් බොහෝ බැක්ටීරියා රෝග ඇතුළු විවිධ උපද්‍රවවලින් කළලය ආරක්ෂා කරන්නේ වැදෑමහයි.
පළමු තුන් මාසයේ දී කළලයේ සියලු ඉන්ද්‍රියයන් සහ අවයව නිර්මාණය වෙනවා. මෙසේ කළලය විභජනය වෙන අවස්ථාවේ මවගේ ශරීරයට විකිරණ ඇතුළු වීම, අනවශ්‍ය හෝමෝන සහ ඖෂධ වර්ග පාවිච්චිය, ආහාරවල අඩංගු විෂ සහිත දේවල් ශරීරගත වීම, විවිධ රසායන ද්‍රව්‍ය ශරීරගත වීම, පිළිකා රෝගවලට දෙන ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර වැනි අහිතකර බලපෑම් ඇති වුණොත් කළලයට හානි සිදුවීමේ හැකියාවක් තිබෙනවා.
හානිය ඉතා සුළු නම් කළලයේ ඉන්ද්‍රියයන් සහ අවයව ආදියට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවන්නට පුළුවන්. හානිය ඊට වඩා ටිකක් වැඩි නම් ඉන්ද්‍රියයන් හැදීමේදී ගැටලු මතු වී දරුවා ආබාධිත වන්නට ඉඩකඩක් පවතිනවා. හානිය ඉතාමත්ම වැඩිනම් කළලය ගබ්සා වී යනවා.
සාමාන්‍යයෙන් කළලයක් පිළිසිඳ ගත් පසු මුල් මාස තුන ඇතුළත එය ගබ්සා වීමට 30% ක පමණ හැකියාවක් තිබෙනවා . මීට වඩාත්ම බලපාන්නේ වර්ණදේහවල විකෘතිතා. ඊට අමතරව ඉහත කී හේතු බලපෑවොත් විභජනය වෙමින් පවතින කළලයේ සෛලවලට එම අවදානම් සහගත තත්වයන්ට මුහුණ දීම අපහසුයි. ඒ නිසා තමයි විවිධ ආපදා ඇති වන්නේ. ඒ , ඒවා ඉක්මනින් විභජනය වෙමින් පවතින සෛල වීම නිසයි.
ඒ අනුව ඉහත කී තත්ත්වයන් වලදී ගබ්සා වීමට තිබෙන හැකියාව වැඩියි. කෙසේ වුවත් ගබ්සා වූ කළල හොඳින් විශ්ලේෂණය කර බැලුවොත් මින් බොහොමයක් ඒවා ප්‍රශ්න සහිත කළල බව පෙනී යාවි. ඊට හේතුව නරක සහ වැඩකට නැති ඒවා සොබාදහම විසින්ම ඉවත් කර දැමීමයි. හොඳ කළල ගබ්සා වීම අඩුයි. මෙසේ මුල් තුන් මාසය තුළ කළලයේ අවයව බෙදී අවසන් වූ පසු කළලයට හානි වීමට තිබෙන හැකියාව අඩුවී යනවා.
මේ අනුව බලන විට කාන්තාවකට දරුවකු පිළිසිඳ ගත් පසු මුල් තුන් මාසය තුළ ප්‍රවේශම් වීම වැදගත් බව ඔබට පැහැදිලි ඇති. අනවශ්‍ය ඖෂධ ගැනීමෙන් වැළකීම, වෛරස ආසාදනවලින් බේරී සිටීම, එක්ස්රේ වැනි කිරණ පරීක්ෂණවලට මුහුණ නොදී හිඳීම, පරණ වූ හෝ නරක් වූ ආහාර මෙන් ම රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටීම කළලයේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යයි.
ගර්භනී කාලයේ මුල් තුන් මාසය තුළ පැරසිටමෝල් පෙත්තක්වත් ගැනීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් දෙන්නේ මේ නිසයි. නමුත් දියවැඩියාව, ආතරයිටිස්, අපස්මාරය, හෘදයාබාධ, මානසික රෝග වැනි දිගු කාලීනව හෝ සදාකාලිකව ප්‍රතිකාර ගත යුතු රෝගවලට ලක්වී හිඳින කාන්තාවන්ටත් දරුවකු බිහි කිරීමේ දැඩි ආශාවක් හා අවශ්‍යතාවයක් දැනීම ස්වභාවිකයි.
එවැනි කාන්තාවක් දරුවකු බිහි කිරීම සුදුසුද නැද්ද යන්න තමාගේ රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා වෙතින් විමසා ඒ සම්බන්ධ උපදෙස් ලැබීම ඉතා වැදගත්.
ගැබ් ගැනීමෙන් පසු ඕනෑම කාන්තාවකට පළමු තුන් මාසයේ දී කායිකවත් මානසිකවත් තමා තුළ විශාල වෙනස්කම් රැසක් ඇති වන ආකාරය අත්විඳින්නට ලැබෙනවා. වැදෑමහෙන් එන හෝමෝන සහ මවගේ ශරීරයෙහි ඇති වන හෝමෝන හේතුවෙන් ශාරීරිකව සහ මානසිකව ඇති වන මේ වෙනස්කම් නිසා කෑම අරුචිය, වමනය, වෙනදා නොකෑ අන්දමේ ආහාර වර්ග ගැනීමට ඇති වන ආශාව, ක්ලාන්ත ගතිය වැනි විවිධාකාර ලක්ෂණ මුල් තුන් මාසය තුළ ඇති වෙනවා.
දොළදුක යනුවෙන් හඳුන්වන විවිධ කෑම වර්ග ගැනීමට තිබෙන ආශාව මවකට ඇති වන්නේ විශේෂයෙන්ම මානසික වෙනස්කම් මතයි. අපේ සංස්කෘතිය, තමන් ජීවත් වන පරිසරය, සැමියාගේ ආදරය සහ අවධානය වැඩියෙන් අපේක්ෂා කිරීම වැනි විවිධ දේ මීට හේතු වන අතර රැකියාවක නියුතු කාර්යබහුල මවකට මේ තත්ත්වය බොහෝවිට අඩු වන්න පුළුවන්.
එසේම අවිවාහක කාන්තාවක් ගැබ් ගත් විට ඇය ඒ තත්ත්වය සමාජයෙන් සඟවාගෙන සිටීමට වෙර දැරීම සහ දරුගැබ නිසා ඇය තුළ ඇති වන තදබල මානසික පීඩනය වැනි හේතු මත දොළදුක් ආශාවන් යටපත් වීමට තිබෙන ඉඩකඩ වැඩියි.
මුල් තුන් මාසය ගත වූ පසු මේ තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් අඩු වී යන අතර දෙවන තුන්වන ආදී වශයෙන් වන ඊළඟ දරු පිළිසිඳ ගැනීම්වලදීත් මේ ලක්ෂණ බොහෝ දුරට අඩු වෙනවා.
ඊට හේතුව ගැබ් ගැනීම යන්න ඒ කාන්තාවගේ ශරීරයට හුරු අත්දැකීමක් බවට පත්ව තිබීම නිසයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. බී. ඒකනායක
ඉන්දු පෙරේරා