ගැබිනි සමයේ කාන්තාවගේ ශාරීරික සෞඛ්‍යය සේම මානසික සෞඛ්‍යය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරේ. මෙහිදී ඇගේ මුඛ සෞඛ්‍යය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ එය කුසේ සිටින දරුවාටද බලපාන බැවිනි.
මුඛ සෞඛ්‍යයට අහිතකර තත්වයන් ඇති කරන ප්‍රධාන කරුණු තුනක් වේ.
* මෙකල ශරීරයේ ඇතිවන හෝමෝන අසමතුලිතතාවය
* නිතර ඇතිවන ඔක්කාර ගතිය
* ආහාර රටාවේ ඇති වන වෙනස්කම්
හෝමෝන අසමතුලිතතාවය
හෝමෝන අසමතුලිතතාවය විදුරුමස් පටකයට බලපෑම හේතුවෙන් විදුරුමස් ඉදිමී රතුවීම, විදුරුමස්වල වේදනාව සහ ලේ ගැලීම වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇත.
ඔක්කාරය සහ වමනය
ගැබිනි සමයේ මුල් මාස තුන ඇතුළත උදෑසන ඔක්කාරය සහ වමනය ඇතිවීම සාමාන්‍ය ලක්ෂණයකි. මේ නිසා ආමාශයික යුෂ මුඛ කුහරය තුළට පැමිණෙයි. මෙහිදී මුඛයේ ආම්ලිකතාවය එක්වරම වැඩිවේ. වැඩි ආම්ලිකතාවයකින් යුතු අම්ල එකවර වැඩියෙන් මුඛයට පැමිණීමෙන් දතේ එනැමලය සෘජු දිය වීමකට ( dental erosion ) ලක් වීමට
ඉඩ ඇත.
ආහාර රටාවේ වෙනස්කම්
ඇඹුල් රසැති ආහාර වලට බොහෝ සෙයින් යොමු වීම, ඔක්කාරය නිසා වතුර වෙනුවට පැණි බීම වැනි බීම වර්ග පානය කිරීම ගැබිනි සමයේ සුලභව දක්නට ලැබෙන ආහාර රටාවේ වෙනස්කම් වෙයි. මෙවැනි ආහාර සහ පාන වර්ගවල තිබෙන ආම්ලිකතාවය නිසා මුඛයේ ඇති ආම්ලික තත්ත්වය තවත් වැඩිවේ. මේ නිසා දන්ත විඛාදනයට මෙයින් බලපෑම් ඇතිවිය හැකිය.
මව නිරෝගී මුඛ සෞඛ්‍යයකින් යුතු වීම දරුවාගේ නිරෝගී මුඛ සෞඛ්‍යය සඳහා ද වැදගත් වන බව විද්‍යාත්මකව සනාථ වී ඇති දෙයකි. එසේම මව විදුරුමස් රෝගවලින් පෙළෙන විට නොමේරූ හෝ අඩු උපත් බර සහිත දරුවකු බිහි වීමටත් හැකියාවක් තිබෙන බවද පිළිගත් මතයකි.
දන්ත පර්යේෂණ මගින් සනාථ වී ඇති කාරණයක් වන්නේ දත් දිරායාම බෝවන රෝගී තත්ත්වයක් බවයි.අලුත උපන් දරුවකුගේ මුඛයෙහි තරලය තුළ දන්ත ව්‍යසනයට හේතුකාරක වන බැක්ටීරියා ඇත්තේ නැත. ඒවා දරුවාගේ මුඛයට ඇතුළු වන්නේ විශේෂයෙන් දරුවාගේ උපතේ සිට වයස අවුරුදු 3 දක්වා පමණ වන කාලයේදී දරුවා ළඟින්ම ඇසුරු කරන අයගෙනි. සාමාන්‍යයෙන් මෙම කාලයේ දී දරුවා ළඟ වැඩිපුරම සිටින්නේ මවයි. මේ හැර පවුලේ අනෙකුත් අයද නිතර දරුවා සමීපයේ සිටින්නට පුළුවන. එසේම නිතර වැඩිහිටියන් කුඩා දරුවන් සිප වැළඳ ගන්නා විට එමගින් ද දරුවාගේ මුඛයට බැක්ටීරියා ඇතුල් වීමේ හැකියාවක් තිබේ. මේ ආකාරයට දරුවාගේ මුඛයට බැක්ටීරියා ඇතුළු වන තවත් එක ක්‍රමයක් වන්නේ දරුවාට සකස් කරන ආහාරය දරුවාට කවන හැන්දෙන්ම මව හෝ වෙනත් වැඩිහිටියකු පළමුව රස බැලීම තුළිනි. එසේ රස බලා එම හැන්ද නැවත සෝදා පිරිසිදු කිරීමකින් තොරව දරුවාට කෑම කැවීම සඳහා යොදා ගන්නා විට එමගින් ද දරුවාගේ මුඛයට බැක්ටීරියා ඇතුළු විය හැකිය.
මේ අනුව බලන විට පැහැදිලි වන්නේ ගැබිනි මවකට දත් දිරායාමේ තත්ත්වය පවතින්නේ නම් ලැබෙන දරුවාට ද ඒ තත්ත්වය ඉක්මනින් හට ගැනීමේ හැකියාවක් තිබෙන බවය. එබැවින් දරුවාගේ මුඛ සෞඛ්‍යය රැක ගැනීම සඳහා ගැබිනි මව තම දත් දිරා යාම පාළනය කරගෙන නිරෝගී මුඛ සෞඛ්‍යයක් තබා ගැනීම වැදගත් වේ.
එසේනම් ගැබිනි මවක් තම මුඛ සෞඛ්‍යය යහපත්ව තබා ගන්නේ කෙසේද ?
නුදුරු කාලයේ දී තමන් ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් තම මුඛ සෞඛ්‍යය දන්ත වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරවා ගෙන දත් රෝග තිබේනම් ප්‍රතිකාර ලබා ගත යුතුය. දැනටත් ඔබ ගැබිනි මවක් නම්, දත් රෝගත් තිබේ නම්, දන්ත වෛද්‍යවරයකු හමුවී එම වී එම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අහිතකර වන්නේ නැත. යම් ලෙසකින් ඔබ ගැබිනි සමයේ මුල් අවදියේ පසුවන්නේ නම් දන්ත වෛද්‍යවරයකු වෙත ගිය විට ඔබේ ගැබිනි බව හෙළි කිරීම අනිවාර්ය බව සැලකිය යුතුය.
මේ අතර පහත දැක්වෙන උපදෙස් පිළිපදින්න.
* ඔක්කාරය හෝ වමනයෙන් පසු හොඳින් කට සෝදන්න. නැත්නම් වතුර ටිකක් පානය කරන්න. එවිට මුඛයේ ආම්ලිකතාව නැති වී යයි. හැකිනම් මුඛය හොඳින් සේදීමෙන් පසු ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප ස්වල්පයක් ඇඟිල්ලට ගෙන දත් මත යන්තමට තවරන්න.
* උදෑසන දත් මදින විට ඔක්කාරය ඇති වන්නේ නම් දවසේ වෙනත් ඕනෑම වෙලාවක දත් මදින්න. නිතර නොයෙක් දේවල් ආහාරයට ගන්නා බැවින් අවම වශයෙන් දිනකට තුන් වරක්වත් දත් මැදීම සුදුසුය.
* කුඩා හිසක් හා මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් භාවිතා කර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මදින්න.
* දත්වල බැඳී තිබෙන දන්තපථ ඉවත් වීම සඳහා නිවැරදි ක්‍රමයට දත් මදින්න. එසේම විදුරු මස හා දත් අතර දාරය ද හොඳින් මදින්න.
* පැණිබීම භාවිතය අවම කර හැකිතාක් පලතුරු ආහාරයට ගන්න. ඇඹුල් රසැති කෑමක් ගත් හැම විටෙක ම හොඳින් කට සෝදන්න. නැත්නම් වතුර ටිකක් බොන්න.
* දරු ගැබට සති 6 ක් ගතවූ පසු දරුවාගේ විදුරු මස තුළ දත් වර්ධනය වීම ආරම්භ වන බැවින් මව කැල්සියම් අඩංගු ආහාර ගත යුතුය. කුඩා මාළු හා පලා වර්ග ගැනීම ඉතා සුදුසුය.
* දරුවා බිහි වූ පසු දරුවාට කවන පොවන හැන්ද, කෝප්පය ආදිය වෙන්කර තබන්න. ඒවායින් දරුවාගේ ආහාරයේ රස පරීක්ෂාකළ කර බැලීම ඔබ විසින් නොකළ යුතු අතර වෙනත් කෙනෙකුට එය කිරීමට ද ඉඩ නොතබන්න.
ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ නිලන්ත රත්නායක
ඉන්දු පෙරේරා