ගැබිණි සමයේදී ඇතැම් ආහාර වර්ග නුසුදුසු ඇයි? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

බොහෝ විට ගැබිනි මව්වරුන් ආහාර වර්ග ගන්නේ තෝරා බේරා ගෙනය. සමහර ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්නේ ඒ කෙරෙහි රුචියක් නොමැතිකම නිසාය. නමුත් තවත් සමහර ආහාර වර්ග ගැබිනි මවට රුචි වුවත් වැඩිහිටියන් කන්නට දෙන්නේ නැත. එමගින් කුසේ සිටින දරුවාට බලපෑමක් ඇතිවේවි යැයි බියක් ඔවුන් තුළ පවතින නිසාය. එවැනි ආහාර වර්ග කිහිපයක හිතකර අහිතකරභාවය කුමක්දැයි සොයා බලමු.

පැපොල්

පැපොල් හෙවත් ගස්ලබුවල පැපේන් (papain) නැමති එන්සයිමයක් අඩංගු ය. මේවා බහුල වශයෙන් ගැබිනි මවගේ ශරීරගත වූවොත් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වීමේ හැකියාවක් පවතී. කුසේ සිටින කළලයට මින් බලපෑමක් ඇතිවීමට පුළුවන. නමුත් මෙම එන්සයිමය අඩංගු වන්නේ අමු සහ බාගෙට ඉදුණු පැපොල්වල ය. එසේ වුවද හොඳින් ඉදුණු පැපොල් වුවත් ගැබිනි මව්වරුන් වැඩිපුර ගැනීම සුදුසු නැත.

අන්නාසි

අන්නාසිවල අඩංගු ප්‍රොස්ටග්ලැන්ඩින් (prostaglandin) නම් සංයෝගය නිසා ගැබිනි මවගේ ගර්භාෂයේ සංකෝචන ඇතිවීමේ අවකාශය ඇත. මේවාද සුලභව පවතින්නේ අමු සහ බාගෙට ඉදුණු අන්නාසිවල නිසා ගැබිනි සමයේ විශේෂයෙන් මුල් තුන් මාසය තුළ අන්නාසි අමුවෙන් සේම පිස ව්‍යංජනයක් ලෙස ගැනීමෙන් පවා වැළකීම සුදුසුය. කෙසේ වුවද මේවා සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ සිදුවෙමින් පවතී.

බල මාළු

බල මාළු ඇතුළු කළු පැහැති මාළුවල හිස්ටමින් (histamin) සංයෝගය අධික ලෙස අඩංගු ය. මේවා නිසා ගැබිනි මව තුළ අසාත්මික රෝග තත්ත්ව ඇතිවීමට ඉඩ තිබේ. සිරුර කැසීම, ඇඟ දැවිල්ල, සිරුරේ පළු හට ගැනීම, සිරුරේ උෂ්ණ ගතිය, හිස කැක්කුම වැනි අපහසුතා මේ අතරින් ප්‍රධාන වෙයි. එබැවින් ගැබිනි මව්වරුනට සුදුසු සුදු පැහැති මාළු වේ.

ඉස්සන් සහ කකුළුවන්

මේවායෙහි තිබෙන අසාමාන්‍ය ප්‍රෝටීන වර්ග නිසා සමහර අයට අසාත්මිකතා (allergies) ඇතිවීමට පුළුවන. මේ අසාත්මිකතාවන් අතර බඩ බුරුල් වී යාම හෙවත් පාචන තත්ත්වය, හුස්ම ගැනීම අපහසු වීම වැනි තත්ත්වයන් පවා හට ගැනීමට ඉඩ තිබේ. එනිසා ගැබිනි සමය අවසන් වනතුරු සේම බිළිඳාට කිරි දෙන සමයේදීත් මෙබඳු ආහාරවලින් වැළකී සිටින තරමට යෝග්‍ය ය.
මේ ආහාර ගැබිනි මවක් ගත් පසු එහි ඇති අසාමාන්‍ය ප්‍රෝටීන් වර්ග කුසේ සිටින දරුවාගේ සිරුරට ඇතුල්වීම හේතුවෙන් දරුවා බිහිවූ පසු, පසුකාලීනව හේතුවක් නැතිවම දරුවාට අසාත්මිකතා හටගැනීමට හැකි බවද අනාවරණය වී තිබේ. එනිසා මෙබඳු ආගන්තුක ප්‍රෝටීන් වර්ග සහිත ආහාර ගැබිනි මවකට සුදුසු නැත.

දොඩම් තැඹිලි වැනි පාන වර්ග

සීතල ආහාර ලෙස අපේ පැරැන්නන් මෙන්ම ආයුර්වේද හා දේශීය වෙදකමේ ද හඳුන්වන මෙබඳු ආහාර පාන වර්ග නිසා ඇතැම් ගැබිනි මව්වරුන්ට සෙම වැනි අසාත්මිකතා වැඩි විය හැකිය. නමුත් පෙර මෙවැනි පාන වර්ග මගින් එලෙස අසාත්මිකතා ඇතිවී නොමැති නම් එවැනි ගැබිනි මවක් මේවා ගැනීමෙහි වරදක් නැත.

අර්තාපල් නොවන වෙනත් අල වර්ග

කිරි අල මෙන්ම වෙනත් විවිධ කැළෑ අල වර්ග සමහරුන් තුළ කැසීම වැනි අසාත්මිකතා ඇති කරයි. එනිසා මෙවැනි අල වර්ග ගැනීමෙන් ද ගැබිනි සමයේදී වැළකී සිටීම සුදුසුය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

ඉන්දු පෙරේරා

විනිවිද සායනය