ගිහියන් වෙතින් භික්ෂූන් පන්සිල් සමාදන් විය යුතු යුගයක්?

kurudu

’‘මහල්ලෙක් දැක්කොත් අත දෙන්න – ලෙඩෙක් දැක්කොත් පිහිට වෙන්න- මළ සිරුරක් දැක්කොත් ගරු කරන්න. පැවිද්දෙක් දැක්කොත් පරිස්සම් වන්න” ඉහත සඳහන් ව ඇත්තේ මේ දිනවල සමාජ ජාල ක්‍රියාකාරීන් විසින් පතුරුවා හරිනු ලබන පණිවිඩයකි. බැලූ බැල්මටම මෙය මෙරට භික්ෂු සමාජය වෙත එල්ල වූ උපහාසයක් හෝ නිගරුවක් සේ ඇතැමකු හට පෙනී යා හැක. එහෙත්, එහි සත්‍ය තත්වය එය නොවේ. එම වදන වත්මන් භික්ෂු සමාජය සම්බන්ධයෙන් වේගයෙන් පැතිර යන පොදු ජන ආකල්පය විහිදා දැක්වෙන හරස්කඩකි.එය අකමැත්තෙන් වුව අප පිළිගත යුතුම ය.

ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ හට ගෙන ඇති මෙම පරිහානිය දිගු කලෙක සිට අවිච්චින්න ව සිදු වන්නකි. නමුදු ගත වූ දශක කිහිපය තුළ එය කෙතරම් ශීඝ්‍රාකාරව සිදුවන්නේ ද යත් වර්තමානයේ එය “ඔඩු දුවා” ඇති තත්වයක් පෙන්නුම් කෙරෙයි. මෙය ශාසනික වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් බලන විට පවා දරුණු ඛේදවාචකයකි.

ඊට හේතුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස නිල වශයෙන් හඳුන්වන අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා බුද්ධාගම ආරක්ෂා කිරීම සම්බන්ධ වගන්තියක් ගැබ්ව ඇති බැවිනි.
වර්තමානයේ අප රටේ බුදු සසුන සම්බන්ධයෙන් පැන නැගී ඇති දුර්භාග්‍ය සම්පන්න කල දසාව නිසා මේ වන විට කුල දරුවන් පැවිදි බිමට පත් වීම් අතිශය සීමාසහිත වී තිබේ. මීට දශක කිහිපයකට පෙර අප රටේ මධ්‍යම පාන්තික කුල දරුවන් පැවිදි බිමට පත් වීම මේ වන විට ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වී ඇති අතර අද වන විට පැවිදි බිමට පත් වන දරුවන් ගෙන් වැඩි පිරිස දැඩි සමාජමය ගර්හාවට සේම අන්ත අසරණ පවුල් පරිසරයන්ට අයත් වූවෝ වෙති.ඊට හේතුව ළාබාල වියේ දී පැවිදි බිමට පත් වන දරුවන් වැඩිහිටි භික්ෂූන් වෙතින් අපයෝජනයට ලක් වීම “ප්‍රසිද්ධ රහසක්” ව තිබීම ය. එවන් කටුක පීඩාකාරී ගිහි හෝ පැවිදි ළමා වියක් උරුම කර ගත්තවුන් වෙතින් ජීවිතයේ යොවුන් සහ වැඩිහිටි අවදීන් හිදී නොයෙකුත් පෞරුෂ විෂමතා සහ පෞරුෂ ආබාධ එළිදැක්වෙන බව මනෝ විද්‍යාත්මකව තහවුරු වී ඇති සත්‍යයකි.එහි ප්‍රායෝගික ප්‍රතිඵල දැන් අපි සමාජමය වශයෙන් අත්දකිමින් හිඳිමු.

බුදු සසුනේ ආයු කාලය වසර පන්දහසකට සීමා වන බවත් ඒ කාලය තුළ අධිගම,ප්‍රතිපත්ති,පර්යාප්ති යන අවදි වශයෙන් ශාසනික පිරිහීම් දක්නට ලැබෙන බවත් ශ්‍රී ලාංකේය බෞද්ධයෝ විශ්වාස කරති. එහෙත්, එවැනි බුද්ධ භාෂිතයක් ත්‍රිපිටකයේ හතර මායිමකවත් නැත.එය බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාවේ සඳහන් අත්තනෝමතයකි.එහෙත්, එය තමන් ගේ විනය පිරිහීම සම්බන්ධයෙන් එදා මෙදා තුර භික්ෂුහු තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් ලෙස යොදා ගනිති. කොටින්ම එය තමන් දුසිල්වත් වන්නේ ද “බුදු බණේ හැටියටමය” කියා අහිංසක බෞද්ධයන් ගොනාට ඇන්දවීමකි.

වර්තමාන අධි පරිභෝජනවාදී සමාජය තෘෂ්ණා භරිත ය. බුදු දහමට අනුව කිවහොත් වර්තමානයේ ඇත්තේ කෙලෙස් භරිත සමාජයකි. එහෙත්, ඒ ක්ලේශ භරිත බවින් ගිහියන් මුදා ගැනීමේ ශාසනික වගකීමක් දරන භික්ෂු සමාජයේ සැළකිය යුතු පිරිසක් අද වන විට ගිහියන් ද අබිබවා කෙලෙස් ගොහොරුවේ ඇලී ගැලී සිටිති.මෙය ද අප අකමැත්තෙන් හෝ පිළිගත යුතු සත්‍යයකි. පේරාදෙණිය සහ කැලණිය විශ්ව විද්‍යාල වල බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය දිවංගත ඩබ්ලියු. ඒ. ඒ කරුණාරත්න සූරීන් මූලික බුදු සමය සහ ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ ගමන් මඟ අතර පවත්නා මෙම පරස්පරතාව විස්තර කරන ලද්දේ “මේ විදිහට ගියොත් කවදා හරි අපේ හාමුදුරුවරු පන්සිල් සමාදන් කරවන්න වෙන්නෙත් ගිහියන්ටම තමයි” යන ආන්දෝලනාත්මක ප්‍රකාශය මගිනි. නමුදු එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත් වන දිනය වැඩි ඈතක නොවන බව අපගේ අවංක වැටහීම ය.

එමෙන්ම එදා මෙදා තුර බුදු දහම ලෙසින් නරුම මත පළ කරන්නවුන් වටා ජනතාව එක් රොක් වනුයේ ද වර්තමාන භික්ෂු සමාජයේ ක්‍රියාකාරකම් මත හට ගෙන ඇති ආධ්‍යාත්මික සා පිපාසාව නිසා ය. බුද්ධ කාලයේ විශාලා මහනුවර කලන්දක නමැති ගමෙහි විසූ සුදින්න භික්ෂුව විසින් ගිහි කල බිරිඳගේ ඉල්ලීම මත සිය පරපුර ඉදිරියට ගෙන යාම සඳහා ඇය ගැබ් ගැන්වීම පිණිස ලිංගික සංසර්ගයේ යෙදුණි. එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම විනය ශික්ෂා පදය පණවා වදාළහ. එතැන් සිට ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද පැණවීම සිදු කෙරිණි. භික්ෂූන් වහන්සේලාගේ හික්මීම සඳහා පණවන ලද විනය ශික්ෂාපද මාලාව ප්‍රාතිමෝක්ෂය යි. මුල් අවධියේ දී බුදුන් භික්ෂූන් පාලනය කොට ඇත්තේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙනි.හෙවත් අවවාදයෙන් හික්මවීමෙනි. විනය ශික්ෂාපද පැණවීම සිදුවන්නේ ඉන්පසුව අවශ්‍යතාව පරිදි ය. එය හඳුන්වන්නේ ‘ආණා ප්‍රාතිමෝක්ෂය’ යන නමිනි.

බුද්ධත්වයෙන් පසු මුල් විසි වස තුළ එසේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ නමුත් බුදු සසුන තුළ භික්ෂූන් සංඛ්‍යාත්මක ව ඉහළ නැංවීම භික්ෂූන් කෙරෙහි එල්ල වන සමාජයීය බලපෑම් ඉහළ නැංවීම ආදී හේතූන් මත භික්ෂූන් පාලනයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රමාණවත් නොවීය., ඒ සඳහා ශික්ෂාපද පැණවීමට සිදුවීමටත් ප්‍රධාන හේතුව සතර ආසවට්ඨානීය ධර්ම පහළවීමයි. ඒවා නම්,සංඝො රත්තඤ්ඤු මහත්තං පත්තො හොති (භික්ෂූන් පැවිදි වී දිගු කලක් ගත වූ මුත් මාර්ග ඵල ආදියට නොපැමිණීම )සංඝො වේපුල්ල මහත්තං පත්තො හොති (සංඝ සමාජය විශාල වීම)සංඝො ලාභග්ග මහත්තං පත්තො හොති ( භික්ෂූන්ට බෙහෙවින් ලාභ සත්කාර ලැබීම) සංඝො බාහුසච්ච මහත්තං පත්තො හොති (බහුශ්‍රැතයන් හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය වැඩිවීම)යන කරුණු ය. ශාසනික බ්‍රහ්ම චරියාවෙන් පිටස්තර ක්‍රියාවන්ට නැඹුරු වූ අය භික්ෂු සමාජය තුළ දැකගත හැකි වූයේ මෙම කරුණු සතර නිසා ය.නමුදු අද වන විට භික්ෂූන් බැඳ තිබූ එම ශාසනික වර පට ලිහී යාම නිසා ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවේ බහුතරට ශාසනික සේම සමාජයීය වශයෙන් ද ඉබාගාතේ “වැඩම කරති”.මේ සම්බන්ධ සමාජමය සංවාදයකට එළඹෙන භික්ෂූන්ට වත්මන් භික්ෂු සමාජය තුළ යහපැවැත්මක් නැත.එය හරියට නග්න සමාජයක ඇඳුම් ඇඟලා ගත්තවුන් උපහාසයට කල් වන්නාක් මෙනි.

ඉහත සඳහන් ශාසනික ,සමාජ ඛේදවාචකය හමුවේ ශ්‍රී ලාංකේය ගිහි සමාජයට ද පැත්තකට වී බලා සිටීමට නොපුළුවන. වත්මන් සමාජයේ පැතිර පවත්නා බරපතළ මිථ්‍යා දෘෂ්ටික අදහස් ද මීට හේතු වී තිබේ. ‘මොනවා වුණත් ඉතින් බුද්ධ චීවරේට ගරු කරන්න එපායැ’ යන්න එක් මුග්ධ අදහසකි.නමුත් එය බුදු දහමට සපුරාම එරෙහි වූවකි.සිවුරු පොරවාගත් පමණින්, පන්සල්වල සිටි පමණින් භික්ෂූන් වහන්සේ නමක් සේ සලකා යම් යම් පුද්ගලයන්ට ගරු සැලකිලි දැක්වීම බුදුදහමට පටහැනි ය.එසේ නම් සිවුරක් හෙවත් බුද්ධ චීවරයක් හැඳ සාපරාධී ක්‍රියාවල යෙදීමට ද හැකියාව තිබිය යුතුය.සංයුක්ත නිකායේ සුචිලෝම ආදී සූත්‍ර වලින් දැක්වෙන අන්දමට ඒ තැනැත්තා ශ්‍රමණ ප්‍රතිරූපකයෙකි.එහි අදහස “භික්ෂුවක සේ පෙනී සිටින්නෙකු” යන්න ය. නමුත් සැබෑ භික්ෂූව කවුද යන්න තේරුම් ගෙන නොසිටීමේ ප්‍රතිඵලය වශයෙන් අද භික්ෂූන්ගෙන් බහුතරය අයථා ලෙස, අධාර්මික ලෙස පරිභෝග කරන පිරිසක් බවට පත් ව තිබේ.

මජ්ජිම නිකායේ මහාගෝපාලක සූත්‍රයට අනුව තමන් ගේ යැපීමට වැඩි ප්‍රමාණයක් සිව් පසය ලබා ගැනීම ද බුදු සසුනේ පරිහානියට හේතුවකි.එහෙත් අද එය පිළිපදින භික්ෂූන් අතලොස්සකට වඩා නැති බව පෙනෙයි. භික්ෂුව යනු සෛද්ධාන්තික වශයෙන්ම ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වන්නකි.නමුදු අද වන විට සමාජයේ ජනකාන්ත බවට පත් ව හිඳින භික්ෂූන් ගෙන් කොටසක් ගිහියන්ගේ ලෞකික අභිමථාර්ථ සපුරාලනු වස් මහා පරිමානයෙන් ශාන්තිකර්ම ගණයේ පුද පූජා පවත්වති.ඒ අනුව ඔවුන් ශ්‍රමණ බවින් අත් මිදී පූජක කම් වලට, කපු කම් වලට යොමු වී ආධ්‍යාත්මික ජාවාරම් වල නිරත වෙති.මේවා මඟින් සමාජය තුළ පවත්නා තෘෂ්ණාභරිත බව තව තවත් ඉහළ යනු ඒකාන්ත ය. මේ සියළු කරුණු වලින් මනාව පසක් වනුයේ වත්මන් බුදු සසුන ශ්‍රමණ ප්‍රතිරූපකයන් ගෙන් පිරී පවතින බවත් සොර සිතැති, වංචාකාරී, මනුෂ්‍යඝාතක, සුරාසොඬ දූෂිත ඇතැම් පුද්ගලයන් පැවිද්දන් ලෙස පෙනී සිටිමින්, මහ ජනතාව රවටමින් ශාසනය විනාශ කිරීමේ වැඩ පිළිවෙලක් සිදුකරගෙන යන බවත් ය. මේ තත්වයට වහ වහා පිළියම් යෙදිය යුතුව තිබේ.නො එසේනම් එය සමස්ත ජාතියේම නස්පැත්තියට හේතු වනු නිසැක ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ