මෑත කාලයේ ලෝක ඉතිහාසය තුළ කැපී පෙනෙන දේශපාලන නායකයකු වූ මිඛායෙල් සර්ගයේවිච් ගොර්බචොෆ් අද (03) අවසන් ගමන් යයි. දශක කිහිපයකට පෙර ලොව සුපිරි බලවතකු වූ සෝවියට් සංගමයේ අවසන් නායකයා වූ ගොර්බචොෆ් පසුගිය 30 වැනි දින ජීවිතයෙන් සමුගත්තේ 91 වැනි වියෙහි සිටියදී ය. පසුගිය කාලයේ ඔහු බරපතල ලෙස අසනීප වී සිටි බව සඳහන් වේ. දරුණු වකුගඩු ආබාධයකින් ද ගොර්බචොෆ් පෙළෙමින් සිටි බව සඳහන් වන අතර නිතර රෝහල්ගත වෙමින් ප්‍රතිකාර ගැනීමට සිදුව තිබිණි.
අද ගොර්බචොෆ්ගේ අවමගුල් උත්සවය පැවැත්වෙන්නේ මොස්කව් හි පිලර් හෝල් (Pillar Hall) නැමැති ශාලාවේ යි. එය මහජනයා වෙනුවෙන් විවෘත අවමගුල් උත්සවයක් වනු ඇත. අනතුරුව ඔහුගේ දේහය මොස්කව් හි නොවොඩිවිචි සුසාන භූමියේ මිහිදන් කිරීමට නියමිතය. ගොර්බචෝෆ් ගේ අන්තිම කැමැති පත්‍රයට අනුව දේහය මිහිදන් කරනු ඇත්තේ ඔහුගේ බිරිඳ රේසා ගේ සිරුර මිහිදන් කර ඇති ස්ථානය ආසන්නයේම ය. රේසා තිතරෙන්කෝ මිය ගියේ 1999 වසරේ යි. ඒ ලියුකේමියා රෝගයට ගොදුරු වීමෙනි.
මිඛායෙල් ගොර්බචොෆ් සෝවියට් ඉතිහාසය තුළ අතිශයින් වැදගත් චරිතයක් වුවත් රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඔහුගේ අවමගුලට සහභාගි නොවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කාරණයක් විය. පුටින්ගේ රාජකාරී කටයුතු යෙදී ඇති ආකාරය නිසා ඔහුට ඒ සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබිණි. මේ අතර ගොර්බචොෆ්ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිත අවමගුල් උත්සවයක් නොලැබෙනු ඇති බව ද මාධ්‍ය අනාවරණය කර තිබිණි. මේ අතර ලෝක නායකයන් බොහෝ දෙනෙකුට ද මෙම අවමගුලට සහභාගි වීමට අවස්ථාව නොලැබෙනු ඇත. රුසියාව මේ වනවිට මෙවැනි නායකයන් රැසකට රුසියාවට පැමිණීම තහනම් කර ඇති බැවිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ ඊට එරෙහිව බටහිර රටවල් බොහොමයක් සම්බාධක පැන වූ අතර රුසියාව මෙම රටවල නායකයන්ට තම රටට පැමිණීම තහනම් කළේ ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් මෙන්ම යුරෝපා සංගමයේ, ජපානයේ, කැනඩාවේ නායකයෝ ද මෙම ලැයිස්තුවේ සිටිති.
පුටින් සහ ගොර්බචෝෆ් යනු බොහෝ මතභේද පැවැති නායකයන් දෙදෙනෙකි. පසුගිය කාලයේ ඔවුන් එකිනෙකා විවේචනය කරගත් අවස්ථා බොහොමයක් විය. පුටින් වරක් පවසා තිබුණේ ‘සෝවියට් සංගමයේ බිඳ වැටීම මෙම සියවසේ ලොකුම භූ දේශපාලනික ඛේදවාචකය’ බවයි. සෝවියට් සංගමයේ බිඳ වැටීම සම්බන්ධයෙන් බොහෝ දෙනා වගකීම පටවන්නේ ගොර්බචෝෆ් මත බව රහසක් නොවේ. මේ අතර ගොර්බචොෆ් ද පුටින් ගේ බොහෝ ප්‍රතිපත්ති විවේචනය කළේය. එක් අවස්ථාවක ඔහු පවසා තිබුණේ පුටින් රට තුළ ක්‍රියාත්මක වූ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ආපසු හරවමින් සිටින බව ය. එමෙන්ම සෝවියට් යුගය සිහි ගන්වන සමහර මර්ධනකාරී ප්‍රතිපත්ති නැවත හඳුන්වා දෙමින් සිටින බවට ද ඔහු පුටින්ට ෆදාස් පැවරුවේය.
ගොර්බචොෆ් සෝවියට් සංගමයේ බිඳ වැටීමට වගකිව යුතු නායකයා බව පැවසෙද්දී පුටින් සැලකෙන්නේ නැවත අලුත් ආකාරයක ‘සෝවියට් සංගමයක්’ ගොඩ නැගීමට උත්සාහ කරන නායකයකු වශයෙනි. යුක්රේන ආක්‍රමණය වැනි සිදුවීම් ද මීට උදාහරණ ලෙස ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පුටින්ට ගොර්බචොෆ් ගැන විවේචන තිබුණත්, ගොර්බචොෆ්ගේ අවමගුලට සහභාගි නොවුණත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා මොස්කව් හි මධ්‍යම සායනික රෝහල වෙත ගොස් තිබිණි. එහි දී ඔහු රතු රෝස මල්කළඹක් තබා සිය අතීත නායකයාගේ දේහයට ගෞරව දැක්වූයේය. ඒ අතර පුටින් ගොර්බචොෆ්ගේ අභාවය ගැන සිය ශෝකය පළ කරමින් පණිවුඩයක් ද නිකුත් කර තිබේ. ගොර්බචොෆ් ලෝක ඉතිහාසයට විශාල බලපෑමක් කළ නායකයකු බව ඔහු එහි සඳහන් කර ඇත. ඉතා සංකීර්ණ ආර්ථික සහ සමාජයීය අභියෝග පැවැති කාලයක ගොර්බචොෆ් සෝවියට් සංගමයට නායකත්වය දුන් බව ද පුටින්ගේ ප්‍රකාශයෙහි සඳහන් ය.
ගොර්බචොෆ් සෝවියට් සංගමයේ නායකත්වයට පත් වූයේ 1985 වසරේ යි. 1991 වසර දක්වාම ඔහු එහි නායකත්වය දැරීය. සෝවියට් සංගමය බිඳ වැටුණේ ද 1991 වසරේ යි. ඔහු බලයට පත් වෙද්දී සෝවියට් සංගමය දරුණු ආර්ථික අර්බුදයක ගිලී පැවතිණි. එරට ආර්ථිකය රජයේ මධ්‍යගත පාලනයට යටත් වූ ආර්ථිකයක් විය. ගොර්බචොෆ් ඊට නව පණක් දීමේ අපේක්ෂාවෙන් යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. ඔහුගේ ප්‍රතිසංස්කරණ හැඳින්වුණේ පෙරෙස්ට්‍රොයිකා (Perestroika) යන නමිනි. එමෙන්ම සමාජය තුළ ද යම් දුරකට විවෘතභාවයක් (glasnost) ඇති කිරීම සඳහා ඔහු පියවර ගත්තේය. රජය විවේචනය කිරීම සඳහා පවා මේ තුළ පෙරට වඩා අවකාශයක් විවෘත විය. මෙම තත්ත්වය තුළ සෝවියට් සංගමයට ඇතුළත් වූ විවිධ කලාපවල ජාතිකවාදී ව්‍යාපාර ආදිය වර්ධනය වන්නට පටන්ගත් අතර එය සෝවියට් සංගමයේ ස්ථාවරභාවය දෙදරුම් කවන්නක් වූ බව විශ්වාස කෙරේ. 1991 වසරේ සෝවියට් සංගමයේ බිඳ වැටීම සිදු වූයේ මෙවැනි පසුබිමක් තුළ යි. නමුත් එය ගොර්බචොෆ් හිතාමතා කළ දෙයක් නොව ඔහුගේ ප්රතිපත්තිවල අතුරු ඵලයක් ලෙස සිදුවූවකි. කෙසේ නමුත්, එය වලක්වා ගැනීමට ඔහුට නුපුලුවන් විය.
මේ කාලය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරත්, සෝවියට් කඳවුරත් අතර දරුණු සීතල යුද්ධයක් පැවැති කාලයකි. එය ලෝක සාමයට දැඩි තර්ජනයක් එල්ල කර තිබූ කාරණයක් විය. ගොර්බචොෆ් සිය විදේශ ප්‍රතිපත්ති හරහා මෙම ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ නායකයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහු බොහෝ දෙනාගේ පැසසුමට ලක් වන බව රහසක් නොවේ. 1990 වසරේ නොබෙල් සාම ත්‍යාගය ගොර්බචොෆ් වෙත පිරිනමනු ලැබුවේ ද ඔහුගේ මෙම දායකත්වය නිසා ය.
නිහාල් පීරිස්