හේතු කාරණා කුමක් වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ සමස්ත ගොවි ජනතාවම තමන් ගේ ජීවන වෘත්තියට එල්ල වී ඇති බරපතල අවිනිශ්චිත බවක් හමුවේ දැඩි මානසික පීඩනයකට නතු වී සිටිති. රජයේ බලධාරීන් විසින් පවසන අන්දමට ගොවීන් මුහුණ දෙන මෙම අර්බුදයට හේතුව රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් රජය විසින් ගනු ලබන තීන්දු තීරණ කිහිපයකි.
එහෙත්, කවර හෝ හේතුවක් මත මේ රටේ සමස්ත ගොවි ජනතාව මෙලෙස තදබල මානසික පීඩාවට පත් වීමට ඉඩ හැරීම කිසිදු කෙනෙකු විසින් කෙසේ වත් නොකළ යුතු ක්‍රියාවකි.
ශ්‍රී ලංකාව කෘෂි කේන්ද්‍රීය ශිෂ්ටාචාරයක් සහිත රටකි. දැනට පිළිගෙන ඇති අන්දමට ඒ සඳහා වසර දෙදහස් පන්සීයකටත් වැඩි පැහැදිලි ඉතිහාසයක් තිබේ.
අප රටේ සාම්ප්‍රදායික ආර්ථිකය සේම ආගමික, සංස්කෘතික පදනම, සභ්‍යත්වය, කලාව යන සකලවිධ මානව සමාජ ධර්ම රෝපණය වීමත් වර්ධනය වීමත් සිදුව ඇත්තේ කෘෂිකර්මයපදනම් කර ගනිමිනි.
ඒ අනුව ප්‍රායෝගික වශයෙන් එතරම් වැදගත් නැතැයි යමකුට තර්ක කළ හැකි වුව ද ශ්‍රී ලාංකේය සමාජ ධාරාවේ කේන්ද්‍රීය වෘත්තිය කෘෂිකර්මය බව සමාජ විද්‍යාත්මකව සනාථ කළ හැකි සාධක බොහොමයකි.
ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් බහුතරය සිංහල ජාතියට අයත් වන අතර ඔවුන් ගෙන් බහුතරය බෞද්ධයෝ වෙති. ඒ අතුරිනුදු බහුතරය ගොවි වංශිකයන් වන අතර එය අප සමාජය කෘෂි කේන්ද්‍රීය ශිෂ්ටාචාරයක් සහිත රටක් බව සනාථ කළ හැකි සරල නිදසුනකි.වර්තමාන සමාජයේ ‘ගොවි-කම්කරු” යන්න යුගල පදයක් ලෙස ව්‍යවහාර කෙරේ.
එහෙත්, මෙම යුගල පදය හුදෙක් නූතන ව්‍යවහාරයකි. අප සමාජයේ නූතන කම්කරු ප්‍රජාව වර්ධනය වීම අප රට කාර්මිකකරණයට සහ නාගරීකරණයට ලක්වීමත් සමඟ සිදු වූවකි.අතීතයේ මෙහි පැවැති රාජාණ්ඩු ක්‍රම යටතේ මෙරට විසූ සේවා කුලිකයන් ගෙන් යුතු දාස භාවය එම රාජාණ්ඩු ක්රමයන් සමඟ බිඳ වැටී ඉකුත් යටත්විජිතවාදී සමය තුළ නව කම්කරු පැලැන්තියක් බිහිවිය.
ඒ ඉහත සඳහන් සේවා කුල පදනම ද මුළුමනින්ම බිඳ දමමිනි. එමෙන්ම පසුකාලීනව රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායකත්වයන් සඳහා වැටුප් පදනම යටතේ තම ශ්‍රමය ලබා දුන් කම්කරුවෝ එය ප්‍රමාණවත් නොවීම සහ තම වෘත්තීන් සම්බන්ධයෙන් අත් විඳින නොයෙකුත් දුෂ්කරතා හමුවේ පාලකයන් සමඟ ගැටුම් ඇති කරගත්හ.
ලෝකයේ සෑම ජන සමාජයකම ප්‍රචලිත කම්කරු අරගල නම් සමාජ ප්රපංචය සම්බන්ධ කෙටි හැඳින්වීම එයයි. නමුත් ගොවියා යනු හුදෙක් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යවසායකත්වයන් සඳහා වැටුපට ශ්‍රමය වගුරවන්නෙක් නොවේ.
ඔහු තම ශ්‍රමය වගුරනුයේ ස්වයං ජීවනෝපායක් වෙනුවෙනි. ඒ අනුව බලන විට ගොවිතැන එක්තරා නිදහස් ජීවනෝපායක් සේ යමකුට හැඟෙන්නට පුළුවන. එහෙත්, ඒ බාහිරව දකින්නකුට පමණි.
අප රටේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය ඉතා සරල චාම් දිවි පැවැත්මකට තුඩු දුන් ජීවනෝපායකි. ඒ තත්වය තුළ යමකු කෘෂිකර්මාන්තයෙන් වැඩි මුදලක් උපයා වැඩිපුර ධනයක් ඒකරාශී කරගත්තේ නම් ඒ එය ව්‍යාපාරික පදනමකට යොමු කරගැනීමෙන් පමණි.
මෙරට සාමාන්‍ය ජන ජීවිතය අතිශය සරල, චාම්, නිහඬ ස්වරූපයක් ගැනීමට හේතුව ඔවුන් එම කෘෂිකාර්මික කටයුතු වලින් ලත් ජීවන අත්දැකීම් බවට සැක නැත.අප රටේ සාම්ප්‍රදායික ගොවි ජනතාව තරම් අතිශය සානුකම්පිත, කාරුණික,සහනශීලී වෙනත් ජනතාවක් ලෝකයේ වෙනත් රටක සිටියේ ද යන්න සැක සහිත ය.
තමන් හේන් හෝ කුඹුරු නැතහොත් ගොඩ හෝ මඩ ගොවිතැන් සඳහා ලබා ගන්නා භූමියේ නෛසර්ගික උරුමය සොබා දහමට අනුව තමන්ට පමණක් හිමි නොවන බව අතීත ගොවි ජනතාව මනාව දැන සිටියහ. එනිසා ඔවුන් හේන් කුඹුරු සඳහා වනපෙත හෙළි කරන ලද්දේ ද අතිශය ආචාර විද්‍යාත්මක ශික්ෂණයකින් යුතුව ය.
කැළෑ හෙළි කිරීමට පෙර, හේන් ගිනි තැබීමට පෙර ඔවුන් දෙවියන් බුදුන් සිහි කරගෙන තමන් කිරීමට යන එම කාරිය සම්බන්ධයෙන් යාදිනි මගින් ඒ වන පෙත් වල හිඳින කුරා කුහුඹුවන් ගෙන් පවා සමාව අයැද සිටි අන්දම විමසා බලන විට ඕනෑම හැඩි දැඩි සිතක් ඇත්තකුගේ හදවත උණු වී යනු නිසැක ය.
ගොවිතැන් කිරීම පිණිස තමන් තෝරා ගන්නා වන පෙතේ සිටින වන සතුන්, පක්ෂීන්,කෘමීන් ගෙන් පවා ඉල්ලා සිටිනුයේ තමන් බඩ වියත රැක ගැනීම පිණිස ගන්නා වූ එම උත්සාහය ගැන සිතා එම හේන් කුඹුරු එළිපෙහෙළි කිරීමට, ඒවා ගිනි තැබීමට පෙර ඒවායින් ඉවත්ව යන ලෙස ය. නුවර කලාවියේ ජනතාව අතර ප්‍රචලිත එම කෘෂි යාතු කර්මවල ඇති උත්තරීතර මිනිසත් බව වත්මන් සමාජයේ බොහෝ දෙනෙකුට සිතා ගන්නට පවා නොහැකි බව අපගේ වැටහීම ය.
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික කෘෂිකර්මය යල සහ මහ කන්න දෙක මත රඳා පවතී. එම කන්න දෙකේ ප්‍රධාන සාධකය නිරිත දිග සහ ඊසාන දිග මෝසම් වර්ෂාව ය.
සොබා දහමේ එම අවසරයෙන් එම කන්න දෙකේ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන ගොවියාට සොබා දහමේ එම අවසරය හිමි වූයේ ඉතා සීමිත ලෙසිනි. ඊට හේතුව අධික වර්ෂාව, නියඟය ආදී අකල් දේශගුණික බලපෑම් සහ සුළි සුළං වැනි කාලගුණික අතවර වලින් එම කන්න තුළ දී වුව කෘෂිකාර්මික කටයුතු මුළුමනින් වැනසී යාමට තිබූ පහසු හැකියාවකි. එම තත්වය හමුවේ අප රටේ ගොවි ජනතාව නිරතුරු බියෙන් හා සැකයෙන් පසු වූ බව පෙනේ.
ගොවියා එය දුරු කරගත්තේ තම කෘෂිකාර්මික කටයුතු තුළට ආධ්‍යාත්මික සංකල්ප පිවිසුවීමෙනි. අප රටේ වී ගොවිතැනේ කටයුතු දෙවියන් ගේ බුදුන් ගේ නියමය පරිදි සිදුවිය යුතු බව ගොවීහු විශ්වාස කළහ. ඒ අනුව තම කෘෂිකර්මය හා සම්බන්ධ සකල විධ කටයුතුම පාරිශුද්ධ බවින් යුතු බවක් ද ඔවුහු විශ්වාස කළහ.
කෙත කමත ගොවියාට ශුද්ධ භූමි විය. කෘෂි උපකරණ සේම කෘෂිකර්මයේ යෙදෙන ගව මහේෂාදීහු ද ගොවියාට උතුම් වස්තූන් වූහ. නමුදු මේ සියලු තත්වයන් යටතේ කිනම් හෝ ස්වභාවික ආපදාවන් හමුවේ අස්වනු පාළු වී අටු කොටු වැනසී ගිය ද එය අට ලෝ දහම බව සිතා ඒ සියලු විපත් වලට මුහුණ දීමේ විස්මිත හැකියාවක් මෙරට ගොවියා තුළ තිබිණ.
එමෙන්ම එහි වඩාත් විස්මය වූයේ ඊළඟ කන්නයේ දී පිරිපහදු වූ සිතින් යුතුව නැවත සුපුරුදු කෘෂිකාර්මික කටයුතු වල යෙදීමට තරම් සුපහන් ප්‍රභාෂ්වර මනැසක් මෙරට ගොවි ජනතාව තුළ තිබීම ය. සැබැවින්ම මෙය මෙරට හෝ ලොව අන් කිසිදු රටක කම්කරු හෝ වෙනයම් වෘත්තීය ක්ෂේත්රයක් තුළ නොමැති උතුම් වාසනා ගුණයකි.
රාජාණ්ඩු සමයේ මෙරට පැවැති දාස ක්‍රමයට අයත් විවිධ වෘත්තීන්ට එම කුල හෙවත් ජන කොටස් වලට අමතර වෙනත් ජන කොටස් අවතීර්ණ වී සිටිති.
මෙරට ඇඳුම් සෝදා පිරිසිදු කර දෙන ලොන්ඩ්‍රි කර්මාන්තය පවා අද වන විට රාජාණ්ඩු ක්‍රමයට අයත් යල් පැන ගිය කුල ක්‍රමයෙන් නිදහස්ව නවීන තාක්ෂණය හා මුසු වූ යහපත් ආදායම් ගෙන දෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත්, කෘෂිකර්මය සම්බන්ධයෙන් කීමට ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් තත්වයකි.
මෙරට කෘෂිකාර්මික කටයුතු බොහොමයක් තවමත් පාරම්පරික උරුමයන් ගෙන් පැවැත එන්නවුන් විසින් සිදුකරන ලබන අතර වී ගොවිතැනේ දී ඒ ලක්ෂණය වඩාත් කැපී පෙනෙයි.
ඉංග්‍රීසි යුගයේ අරඹන ලද මෙරට ගොවි ජනපද ව්‍යාපාරවල කෘෂිකාර්මික කටයුතුවලට සම්බන්ධ වූවන් ගෙන් බහුතරය පවා පාරම්පරික කෘෂිකර්මය හා සම්බන්ධ වූවන් බව සනාථ වී තිබේ.
නමුදු මීට දශක කිහිපයකට සාපේක්ෂව වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු වල යෙදුණු බොහෝ පිරිස් මේ වන විට ශීඝ්‍රයෙන් ඉන් ඉවත්ව වෙනත් වෘත්තීන් වලට පිවිස සිටිති. ඊට හේතුව නූතන පරිභෝජනවාදය මුල් කොට ගත් අතීරණාත්මක සමාජ තරඟයට මුහුණ දීම පිණිස සාම්ප්‍රදායික කෘෂිකාර්මික අස්වැන්නෙන් ලබන ලාභය කෙසේවත් ප්‍රමාණ නොවීම ය.
ඒ අනුව කවර කරුණු කාරණා පදනම් කර ගෙන හෝ තමන් වර්තමානයේ මේ බැට දෙමින් සිටිනුයේ මෙරට සකල විධ වෘත්තීන් අතරින් උතුම්ම වෘත්තීය ප්‍රජාවට බව රජයට නොදැනුවත් කමින් අමතක වී හෝ ඔවුන් හිතා මතා අමතක කොට ඇති බවක් පෙනේ.
මෙය මෙරට මානව ඉතිහාසයේ අතිශය බැරෑරුම් තීරණාත්මක සේම නිශේධනාත්මක සංසිද්ධියක් බව අප රජයට දැඩිව අවධාරණය කරනුයේ එබැවිනි. ඒ සඳහා වැඩි විස්තර දැක්වීම පසෙක ලා අපි එය කෙටියෙන් මෙසේ දක්වමු.
‘යම් සිරුරකට එල්ල කරනු ලබන පිහි පහර සහ ඒ සිරුරේ හදවතට එල්ල කරනු ලබන පිහි පහරක වෙනස බලධාරීන් දැන් වත් තේරුම් ගත යුතුය’.
සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර