ගෝඨා පණ පිටින් වළ දමා තිබියදී යළි ගොඩ ගත් සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය

ගෝඨාභය ජනපතිවරයාගේ පාලන සමයේ නතර කරන ලද කොළඹ කොටුව සහ මාලඹේ අතර සැහැල්ලු දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට රජය සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ. කොටුව සහ මාලඹේ අතර දුර කිලෝමීටර් 16ක් පමණ අතර මේ ස්ථාන දෙක අතර දුම්රියපොළ 16ක් ඉදිකිරීමට ද යෝජනා වී තිබේ. මේ ස්ථාන 16 වනුයේ අයි.ටී. පාර්ක්, මාලඹේ, තලාහේන, ලුම්බිණි විහාරස්ථානය, ජාතික රෝහල, බොරැල්ල, කොටා පාර, රාජගිරිය, වැලිකඩ, සෙත්සිරිපාය, බත්තරමුල්ල, පාලම් තුන, රොබට් ගුණවර්ධන මාවත, කොළඹ කොටුව, ප්‍රවාහන මධ්‍යස්ථානය සහ සා. ජෝශප් විද්‍යාලය යන ඒවා ය. සම්පූර්ණ දුර කිලෝමීටර් 16 කි. මේ සැහැල්ලු දුම්රිය මගින් කොටුව සහ මාලඹේ අතර මිනිත්තු 30 කින් ගමන් කල හැකි යැයි පැවසේ.

මෙය 2017 වසරේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ ආරම්භ කරන්නට යෝජනා වී තිබුණු අතර ‘ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය’ (Japan International Cooperation Agency – JICA) හෙවත් ජයිකා ආයතනය හරහා ඉතාමත් අඩු පොලී අනුපාතිකයක් යටතේ අප රටට ලැබුණු ව්‍යාපෘතියකි. අප රටට තනි විදෙස් ආයතනයකින් ලැබුණු දැවැන්ත ම ආයෝජනය මෙය වූ අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක වටිනාකමකින් යුක්ත විය. මෙය 0.1% ක පොලියක් යටතේ වසර 40 කින් ගෙවා අවසන් කරන පදනම යටතේ ජයිකා ආයතන මගින් ලබා දී තිබුණේ වසර 12 ක ණය ගෙවීමේ සහන කාලයක් ද සමගිනි. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන රජයෙන් පසුව පත් වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය තනි තීරණයක් ක්‍රියාත්මක කරමින් මෙය එකවරම නවතා දැමූ ආකාරය බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. මේ තීරණය නිසා ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති හොඳ හිත දැඩි පලුදු වීමකට ලක් වූ අතර ගෝඨාභය රජයට වෙනත් කිසිදු ආකාරයක තාක්ෂණික ආධාර සැපයීම නවතාලීමට ද ජපාන රජය තීරණය කළේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ කළ සංචාරයේ දී එරට රජය සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස නැවත ආරම්භ කරන්නට සැලසුම් කරන්නේ එවන් ඉරණමක් අත් වූ ව්‍යාපෘතියකි.

සැහැල්ලු දුම්රියක් යනු කුමක් ද?

මෙය ඉංග්‍රීසි බසින් Light rail transit – LRT ලෙස හඳුන්වනු ලබන අතර අප රටට ලැබුණු ව්‍යාපෘතිය ද හඳුන්වනු ලැබුයේ ඒ නමින් බව ඔබගේ මතකයේ තිබෙනවාට සැක නැත. ඇතැම් අය මෙය අධිවේගී විදුලි දුම්රියක ස්වභාවයක් සිතේ මවා ගෙන සිටින මුත් සැහැල්ලු දුම්රියක් යනු එවැන්නක් නොවේ. මේවා ලෝකයේ බොහෝ රටවල නාගරික ප්‍රදේශ අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා භාවිතයේ පවතින අතර මේ සඳහා යොදා ගන්නේ අප සාමාන්‍යයෙන් දකින පෙට්ටි ගණනාවකින් යුක්ත දුම්රියක් නොවේ. අප රටේ බ්‍රිතාන්‍ය පාලනය සමයේ පැවති ට්‍රෑම් රථ පිළිබඳ ඔබ අසා ඇත්නම්, එවැන්නක ඡායාරූපයක් හෝ දැක ඇත්නම් සැහැල්ලු දුම්රියක ස්වභාවය පිළිබඳ අදහසක් සිතේ ඇතිකරගත හැකිය. ට්‍රෑම් රථවල ද බොහෝ විට ඇත්තේ මැදිරි දෙකකි. සැහැල්ලු දුම්රියවල ද ඇත්තේ මේ ආකාරයට මැදිරි කිහිපයක් පමණි. අපේ රටේ සාමාන්‍ය දුම්රිය ඩීසල් බලයෙන් ධාවනය වුව ද සැහැල්ලු දුම්රිය සඳහා බොහෝ විට බලය සැපයෙන්නේ විදුලියෙනි. සැලකිය යුතු තරම් වේගයකින් නාගරික ප්‍රදේශ අතර ඉක්මනින් මගීන්ට ගමන් පහසුව සැලසීම සඳහා පමණක් මේ දුම්රිය සේවය භාවිත කෙරේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙය භාවිතයට නො ගැනෙන අතර ගෝඨාභය රාජපක්ෂ රජය පැවති සමයේ මේ ව්‍යාපෘතිය අතහැර දමන්නට එක හේතුවක් ලෙස ඇතැම් ‘විද්වතුන්’ පෙන්වා පෙන්වා දුන්නේ ද භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ දුම්රිය සේවයෙන් ප්‍රයෝජනයක් නො ලැබෙන නිසා මෙය අතහැර දැමිය යුතු බව ය. මෙය පොළොව මට්ටමේ සිට මීටර් 6 ක් ඉහළින් ඉදි කරන ලද මාර්ගයක් මත ගමන් කරන ආකාරයට සැලසුම් කොට තිබූ අතර මේ එසවීම සඳහා වැය වන මුදල ද අතිවිශාල බව හුවා දක්වමින් මෙය නතර කරන්නට දැමීම සඳහා කරුණු ඉදිරිපත් කරනු එසමයේ දකින්නට ලැබිණි.

ගෝඨාභය ජනපතිවරයා විසින් එකල මේ ව්‍යාපෘතිය නතර කිරීම නිසා ඒ ව්‍යාපෘතිය පමණක් නොව එකී ව්‍යාපෘතිය වෙනුවෙන් උපදෙස් සේවා සැලසූ ආයතන සඳහා වන්දි ගෙවීම නිසා තවත් රුපියල් බිලියන 6 ක් පමණ ද ශ්‍රී ලංකාවට අහිමි විය. මෙය නැවැත්වීම නිසා රජයට එල්ල වූ දෝෂාරෝපණවලින් ගැලවීම පිණිස රජය පවසා සිටියේ මෙය නවත්වා නැති බවත් වෙනස්කම් සහිත ව සිදු කරන බවත් ය. නමුත් 2022 වසරේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවකින් තහවුරු වී තිබුණේ ගෝඨාභය ජනපතිවරයා සිය ඒක පාර්ශ්වීය තීරණයකින් මෙය සහමුලින්ම අවලංගු කොට තිබූ බව ය.

මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මගින් කොටුව – මාලඹේ අතර පමණක් නොව කැලණිය – මොරටුව (කි.මී. 28.6), රාගම – කිරුලපන(32.4), සහ හුණුපිටිය – කොට්ටාව (21.5) යන නගර අතර ද දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරන්නට යෝජනා වී තිබිණි. මේ ව්‍යාපෘතියට වැයවන පිරිවැයට සාපේක්ෂව දීර්ඝකාලීනව මෙයින් ලැබෙන වාසි කිහිපයක්ම පෙන්වා දිය හැකි අතර මෙය අවලංගු කොට දැමීමේ දී මේවා පිළිබඳ කිසිදු තැකීමක් සිදු නොවූ බව පෙනෙන්නට තිබේ. සාමාන්‍යයෙන් කොළඹ කොටුව සහ මාලඹේ අතර බස් රථවලින් ගමන් කරද්දී ගතවන කාලය, මුදල, වාහන තදබදය, බස් රථ තුළ ඇති වන මගී තදබදය වැනි හේතු ශ්‍රම ඵලදායිතාවට ඍජුව ම බලපෑම් එල්ල කරයි. රැකියාවන් සඳහා කොළඹ නගරයට ගමන් කරන මගීන් තුළ යහපත් මානසික තත්ත්වයක් ඇති කරන්නට මෙවැනි දුම්රිය සේවයකින් ලැබෙන පිටිවහල අතිමහත් ය. එය රටේ ශ්‍රම ඵලදායිතාව කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන්නට හේතු වේ ලෝකයේ සෑම දියුණු රටකම නගරාශ්‍රිතව මෙවැනි සැහැල්ලු දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන්නේ මේ නිසාය. අනෙක මෙවැනි සේවයක් නිසා පුද්ගලික වාහන කොළඹ නගරයට පැමිණීම ද සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකිය. එමගින් රටක් වශයෙන් ඉතිරි කරගත හැකි ඉන්ධන, පුද්ගලික වාහන අඩු වීම නිසා පරිසරයට එක්වන වාහනවලින් නිකුත්වන විෂ දුමාරය පහත යාම ද විශේෂයෙන් සඳහන් කළ හැකි ය. එබැවින් දීර්ඝ කාලීනව මේ ව්‍යාපෘතිය ඔස්සේ රටට ලැබෙන්නේ වාසිදායක තත්ත්වයකි. එබැවින් කුමන රජයකින් සිදු කළ ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරවා ගැනීම ජනතාව මෙන්ම රටක් ද ලබන ජයග්‍රහණයකි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර