ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතුයි – ජනපති

දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා ගෝලීය පුරවැසියන් ලෙස අප එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ලෝක රාජ්‍ය සමුළුවේදී ය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද කීවේය.

‘‘මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටිමින්, පෙර නොවූවිරූ ගෝලීය සහයෝගීතාවක් ඉල්ලා සිටින මොහොතක පැවැත්වෙන මේ සුවිශේෂී සමුළුව ඇමතීමට ලැබීම ඉමහත් සතුටක්. මගේ රට අපූර්ව ඉතිහාසයකිනුත්, අනාගතය පිළිබඳව සුභ සිහින දකින වර්තමානයකිනුත්, පුළුල් දේශපාලන සහ සමාජ දැනුමකින් සන්නද්ධ පුරවැසියන්ගෙන් සමන්විත සුන්දර දිවයිනක්. ලෝකයේ ඕනෑම රටක සිදුවන සිදුවීමක් පිළිබඳව සහකම්පනයක් මගේ රටේ ජනතාවට තිබෙනවා. ඔවුන් සම්ප්‍රදායට ආදරය කරනවා සේම, වෙනස් විය යුතු තැන ඉතා සබුද්ධිකව වෙනස්වීමට තරම් පුළුල් සමාජ දැනුමකින් පිරිපුන්. ඒ වගේම ඔබ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් මේ මොහොතේ අන්තර්ජාලය පරීක්ෂා කර බැලුවොත් ‘ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට කුමක්ද?’ කියා ඔබට හමුවන්නේ ඉන්දීය මහාද්විපයේ කෙළවර තියෙන මා නියෝජනය කරන රට. ඒ ශ්‍රී ලංකාව.

එවැනිම පරාර්ථකාමී, උණුසුම් හදවත් තියෙන පුරවැසියන් ජීවත්වෙන රටක් නියෝජනය කරමින් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම පිළිබඳව මගේ රටේ පුරවැසියන්ගේ නාමයෙන් මම ආඩම්බර වෙනවා.

මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපාය මාර්ග සහ සැලසුම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා ඉවහල් වෙතැයි මා විශ්වාස කරනවා. වර්තමානයේදී අප රටවල් මට්ටමෙනුත්, කලාපීය මට්ටමෙනුත්, ලෝක මට්ටමෙනුත් මුහුණ දෙන ගැටලු අති විශාලයි. ඒ වගේම සංකීර්ණයි.

මේ ප්‍රශ්න මායිම් නොකරන සමහරු, තමන්ගේ ආත්මාර්ථකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදෙකලා ප්‍රශ්න හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න බවට පත්වන විට තම තමන්ගේ හුදෙකලා චාරිකාව අවසන් වෙනවා. ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව යළි යළිත් අවධානයට යොමු කරනවා.

එමනිසා මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සාමුහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සහ ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍යයි.

පාලනයේ වගවීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අනාගත ලෝකය වෙනුවෙන් අත්‍යාවශ්‍ය වෙනවා. එය පුරවැසියන් තනි තනිව සාමුහික ප්‍රයත්නයක් දක්වා රැගෙන ඒමට හුරුකළ යුතු දෙයක්.

රාජ්‍ය ආයතන ව්‍යුහය සහ නිලධාරී තන්ත්‍රය තම ක්‍රියාවලියන් ගැන වගකීමේ සහ වගවීමේ අවශ්‍යතාව අනාගත ලෝකයට තීරණාත්මකව බලපානවා.

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යයකට මෙන්ම කෘතහස්ත ලෝකයකට බෙහෙවින්ම වැදගත් වෙනවා. ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීමත්, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීමත්, නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩප්‍රස්ථා සැලසීමත් ඉතා වැදගත් වෙනවා.

1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහ නව අයිතිවාසිකම් සහ වෙනස්වන දේශපාලන පද්ධති මතුවීම මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාව මේ මොහොතේ සිහිපත් කරනවා.

තිරසාර වටිනාකම් මත පදනම් වූ ලෝක ප්‍රජාවක් ගොඩනැගීමේදී ලෝකයේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් සඳහා ගෞරවය පවත්වා ගැනීම වැදගත් වෙනවා.

දුප්පත්ම රටවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් ණය අර්බුදයක හෝ ණය අර්බුදයේ ඉහළ අවදානමක සිටින තත්ත්වයක් තුළ අනාගතය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව බරපතළ සුසුමක් හෙළනවා. ගෝලීය මූල්‍යකරණ කොන්දේසි දැඩිවීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණදීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමග, ගෝලීය දැක්ම අතිශයින්ම ගැටලුසහගත වී තිබෙනවා. නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපාගත හැකි මුල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීම ඉතාම වැදගත් කරුණක් වෙනවා.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමිවීම සහ දැඩි දූෂණය වැනි පාලනයකින් තොරව සිදුවන කාර්මික වර්ධනයේ දරුණු ප්‍රතිවිපාක වෙත මේ ග්‍රහලෝකය ගමන් කරමින් තිබෙනවා. එය පෘතුවිය වෙත ආලෝක වර්ෂ ගණනක වේගයෙන් එන බිහිසුණු ග්‍රාහකයකට වඩා බියජනකයි.

බොහෝවිට ඇතැම් සංවර්ධිත රටවල් ​ඓතිහාසිකව කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් හතරෙන් තුනකට දායක වී ඇතත්, ඒවා දේශගුණික විපර්යාසවල බලපෑමට නිරාවරණය වන්නේ ඉතා අඩුවෙන්. සංවර්ධනයේ කිරුළ බොහෝ දුර වුවත්, ස්වභාවිකව සුන්දර යම් යම් අඩු ආදායම්ලාභී රටවල් රැසකම චමත්කාරය වෙනත් පාර්ශ්වයන්ගේ අපද්‍රව්‍යවලින් වැනසී යමින් තිබෙනවා. එවැනි රටවල් සහ දූපත් සතු සුන්දර වෙරළ තීරයන් ඒ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්ව තිබෙනවා. ජීවිතයේ යම් දිනක ඔබ අපේ රටේ සංචාරය කළහොත් රට වටා ඇති මුහුදු තීරය පිළිබඳව ඔබ විශ්මයට පත් වෙනවා.

ඩිජිටල් විප්ලවය දැනටමත් මිනිසුන් ජීවත් වන ආකාරය, වැඩ කරන ආකාරය සහ සන්නිවේදනය කරන ආකාරය වෙනස් කර තිබෙනවා. බිලියන සංඛ්‍යාත ජනතාවට සතුටින්, සෞඛ්‍ය සම්පන්නව සහ වඩාත් ඵලදායී ජීවිත ගත කිරීමට උපකාර කිරීමේ හැකියාව ඇති එම තාක්ෂණයන්ම ලොව පුරා පුරවැසියන්ට සහ රජයන්ට නව අභියෝග නිර්මාණය කරන බවත් අපට අමතක කරන්නට බැහැ.

ඉතාම සරලව පරිගණක වෛරසයක් ගැන සිතන්න. එය තුවක්කු බැරලයකින් වෙඩි තබන්නේ හෝ ගුවන් යානයකින් පරමාණු බෝම්බ හෙළන්නේ හෝ, මිසයිල විදිනයකින් ප්‍රහාර එල්ල කරන්නේ හෝ නැහැ. එහෙත් ඉකුත් සමයේ න්‍යෂ්ටික ප්‍රහාරවලට වඩා බරපතළ තර්ජනයක් සයිබර් ප්‍රහාර හරහා සිදුව තිබෙනවා. ආයුධ සහිත සම්ප්‍රදායක යුද්ධවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැනි දේවලට එරෙහිව ජාත්‍යන්තර නීති සංග්‍රහ කර තිබෙනවා. සයිබර් යුද්ධවලට එවැන්නක් කොහෙද? එබැවින් ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවිය යුතු වෙනවා.

මේ අතර ඉදිරි දශක දෙක තුළ ජනගහන වර්ධනය, නාගරීකරණය සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හේතුවෙන් සෞඛ්‍ය අභියෝග කිහිපයක් දිගටම පැවතීමට සහ පුළුල් වීමට ඉඩ තිබෙනවා.

මිනිසුන් වශයෙන් අපි නොවැළැක්විය හැකි ලෙස අන්තර් සබඳතා පවත්වනවා. වසරකට වැඩි කළක් වයිරසයක් විසින් ග්‍රහලෝකයක අති බහුතරයක් මානවයින්ගේ මුහුණු, මුව ආවරණ මගින් වසා දමන්නට කටයුතු කළා. එය ලෝකයේ බලවත්ම රාජ්‍යයේ සිට දුප්පත්ම රාජ්‍ය දක්වා බරපතළ පීඩනයක් ඇති කළා.

2024 දී බෝවන රෝග කිහිපයක වැඩිවීමක් හෝ නැවත පැමිණීමක් දක්නට ලැබුණා. බෝ නොවන රෝග අතර පිළිකා රෝගය ජීවිතවලට අසාමාන්‍ය බලපෑමක් සිදුකර තිබෙනවා. මේ මොහොතෙත් ජීවිතය සහ මරණය අතර සැරිසරන මිලියන ගණනක පිළිකා රෝගීන් සිටිනවා. හෘද රෝග දේශසීමා නොතකා ජීවිතවලට කඩා වදින අතර එය බිහිසුණු ව්‍යසනයක් වී තිබෙනවා. 2030 වර්ෂය වන විට දී ලොව පුරා මානසික රෝග සඳහා වන ආර්ථික පිරිවැය ඩොලර් ට්‍රිලියන 16 ඉක්මවිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රක්ෂේපණය කරනවා.

දේශගුණික අර්බුදය හේතුවෙන් 2050 වන විට තවත් මරණ මිලියන දාහතරයි දශම පහක් (14.5)ක් විය හැකි බවට පුරෝකථනය කරනවා.

ඩිජිටල් සෞඛ්‍ය, නව තාක්ෂණ සහ නවීන සෞඛ්‍ය උපකරණ, පාරිසරික සෞඛ්‍ය හා තිරසාරභාවය, ආර්ථිකව අවදානම් සහිත රටවල් සඳහා සෞඛ්‍ය මූල්‍යමය සහයෝගය පිළිබඳව මූලිකව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් ක්‍රමවත් කිරීම සහ වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා.

මානව වර්ගයා විසින්ම සිය ප්‍රගමනයට නිර්මාණය කළ දේ, ඇතැම් විට අපගමනයට හේතු වන අභියෝගකාරී බව අප ඉදිරිපිට තිබෙනවා. එම අභියෝග ජයගැනීම අප විසින්ම කළයුතු දෙයක්.

ඔබ ඇතැම්විට මැදපෙරදිග නියෝජනය කරනවා වෙන්නට පුළුවන්. ඇතැම්විට අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර නියෝජනය වන්නට පුළුවන්. එහෙත්… අපි සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න වගේම අපේ හදවත්වල ‘ලබ් ඩප්’ නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනගමු යන ආයාචනයයි.

‘අපි සහෝදරයන් ලෙස එකට ජීවත්වීමට ඉගෙන ගත යුතුයි’ කියා මාර්ටින් ලූතර් කිං පවසා තියෙනවා. එසේ නොවුණහොත් සිදුවනදේත් ඔහු පවසා තිබෙනවා.

අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ ‘ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්’ හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා.

මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා ‘අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක්’ නිර්මාණය කරමු.

කාලීන පුවත්