මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ මහත් ආන්දෝලනයට ලක් වූ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක ද වන සුධර්මා නෙත්තිකුමාරගේ රාජගිරියේ, කුරේ මාවතේ රෝයල් නිවසේ සේවය කළ රාජ්කුමාරි නම් කාන්තාවකට මොට ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව මේ වන විට බොහෝ දෙනෙක් දන්නා අතර ඒ පිළිබඳ විද්‍යුත්, මුද්‍රිත මෙන් ම සමාජ මාධ්‍යවල ද බොහෝ පුවත් පළ විය. මේ පුවත පළ කිරීමේ දී මෙකී සෑම ජනමාධ්‍යයක් ම පාහේ ඝාතනයට ලක් වූ කාන්තාව පිළිබඳ සඳහන් කොට තිබුණේ ‘මෙහෙකාරිය’ (Servant) නමිනි. යමෙකුට මෙහි වරදක් ඇත්තේ කොතැනක ද යන්න එකවර අවබෝධ නොවිය හැකි ය. සැබවින්ම වරද ඇත්තේ එකී යෙදුමේ ම ය. කෙසේ නමුත් බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දන්නේ නැත. එසේත් නැත්නම් වැඩිදුර ඒ පිළිබඳ සිතන්නේ නැත. අප ඒ පිළිබඳ කතා කළ යුත්තේ එබැවිනි.
වර්තමාන ශිෂ්ට සම්පන්න දියුණු ලෝකය තුළ නිවසක සේවය කරන යම් කිසි පුද්ගලයකුට මෙහෙකරුවා හෝ මෙහෙකාරිය නමින් හැඳින්වීමක් කෙරෙන්නේ නැත. මෙහි ඉංග්‍රීසි යෙදුම වූ Domestic House Servant යන්න පවා බටහිර දියුණු රටවල භාවිතයෙන් ඉවත් කොට තිබේ. මේ ‘සේවකයා’ හෝ ‘මෙහෙකාරිය’ (Servant) යන්න ඈත අතීතයේ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල පැවති වහල් ක්‍රමය මත ඇති වූ යෙදුමකි. මේ වහල් සේවය අවසන් කොට එවැනි සේවයක් සඳහා යම්කිසි වැටුපක් ගෙවීමේ ක්‍රමවේදයක් ලෝකයේ ඇති වන්නේ 19 වැනි සියවස තරම් කාලයක ය. යම්කිසි වැටුපක් ගෙවනු ලැබුව ද කරන්නට සිදු වූයේ වහල් සේවයමය. අප අද දකින රැකියාවක දක්නට ඇති කිසිදු ගෞරවනීය ලක්ෂණයක් එහි තිබුණේ නැත. බටහිර රටවල පමණක් නොව අප රටේ ද භාවිත වන Nanny, Housemaid හෝ ‘Domestic Helpers ආදී වෘත්තීන් මේ ඝනයට අයත් වේ. දරුවන් බලා ගැනීම, ගේදොර පිරිසිදු කිරීම, ඉවුම්පිහුම්, වතු වැඩ ආදී නිවසේ සෑම කාර්යයක් ම පාහේ කරන්නට සිදු වූයේ ඔවුන්ට ය. 19 වැනි සියවසෙන් පසු අප රටේ කොළඹ කුරුඳුවත්ත වැනි ප්‍රදේශවල දේශීය වශයෙන් බිහි වූ උසස් පැලැන්තියේ නිවෙස්වල ආයා, කුස්සි අම්මා, අප්පු වැනි වෘත්තීන් බිහිවන්නට විය. මෙයින් කලකට පසුව ‘ගෘහ සේවක’ හෝ ‘ගෘහ සේවිකා’ (Housemaid) යන වෘත්තිය බිහි වූ අතර ඒ සමගම ‘මෙහෙකාරිය’ යන යෙදුම කෙමෙන් භාවිතයෙන් ඈත් විය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිවාසවල සේවය කරන මෙකී පුද්ගලයන් වෙනුවෙන් 2011 වසරේ දී අංක 189 දරණ සම්මුතියක් බිහි කොට තිබේ. ඒ අනුව නිවාසවල සේවයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනු ලබන්නේ House Keeping Assistant නමිනි. එහි සාමාන්‍ය අරුත ‘ගෘහ පාලන සහායක’ වැනි යෙදුමකින් හැඳින්විය හැකි ය. මේ අනුව සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිසුන් අතින් ‘මෙහෙකරුවා’ හෝ ‘සේවකයා’ වැනි වදනක් භාවිත වුව ද, නිල වශයෙන්, සම්මත ලෙසින් හැඳින්වීමේ දී ඔවුන් හැඳින්විය යුත්තේ මේ නමිනි.
කෙසේ නමුත් අවාසනාවකට මොවුන් පිළිබඳ යම් ප්රවෘත්තියක වාර්තා කිරීමේ දී බොහෝ විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යවල යොදා ගන්නේ ‘මෙහෙකරුවා’, ‘මෙහෙකාරිය’ වැනි වදනකි. මෙය සැබවින්ම එසේ භාවිත නොවිය යුත්තක් වන අතර නූතන දියුණු සමාජය තුළ මේ වෘත්තීන්හි යෙදෙන පුද්ගලයන්ට සිදු කෙරෙන යම්කිසි ආකාරයක අපහාසයක් ද වන්නේ ය. වර්තමානයේ වෘත්තීය ජනමාධ්‍ය තුළ පවා එකී වෘත්තියට ගැළපෙන පරිදි භාෂාව භාවිතය කිරීම සම්බන්ධ සම්මතයක් නොමැති වීම ඇතැම් විට මෙවැනි තත්ත්වයකට හේතු විය හැකි ය. එමෙන්ම මේ කාන්තාව පැමිණි වතුකරය වැනි සමාජ පන්තිය පහත් කොට සලකා එවැනි යෙදුමකින් ඇය ව හඳුන්වන්නට උත්සුක වූවා ද යන අදහස ද ඉස්මතු වෙයි. මෙය සිතා මකා නො කළ ද මිනිසුන් අතින් එවැනි දෙයක් සිදුවිය හැකිය. එසේත් නැත්නම් අවට ලෝකයේ සිදු වන වෙනස්කම් පිළිබඳ සැලකිල්ලක් නො දැක්වීම ද මෙයට හේතුවක් විය හැකිය. කෙසේ නමුත් මාධ්‍යවේදියකු අතින් එවැනි දේ සිදුනොවිය යුතු ය. අතීතයේ සිටි වෘත්තීය මාධ්‍යවේදීන් අද තරම් තොරතුරු ලබාගැනීමේ පහසුවක් අත්නොවින්ද ද සෙසු ලෝකයේ සිදු වන වෙනස්කම් මත සිය දැනුම යාවත්කාලීන කර ගනු දක්නට ලැබිණි. නමුත් අද එවැන්නක් දක්නට ලැබෙන්නේ නැත. සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑම අයෙකුට මාධ්යකරණට පිවිසීමේ අවකාශය බිහි වී තිබීම නිසා එවැනි බොහෝ දෙනෙක් තුළ මාධ්‍ය සදාචාරයක් දකින්නට ලැබෙන්නේ ම නැත. කෙසේ නමුත් අඩුම තරමේ වෘත්තීය මාධ්‍යවේදීන්වත් මේ පිළිබඳ සැලකිලිමත් වීම සිදු කළ යුතු දෙයකි.
සමාජයට නිසි මග පෙන්වා දීම මාධ්‍යවේදීන්ගේ වගකීමකි. එබැවින් ඔවුන් තුළ සාමාන්‍ය ජනතාවට වඩා දියුණු මානසිකත්වයක් වර්ධනය කර ගත යුතුය. සාමාන්‍ය පිළිගැනීම වන්නේ, මාධ්‍යවේදීන් ජනතාවට වඩා ඉදිරියෙන් සිටීම වුව ද, අද සිදුව ඇත්තේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජනතාවට ද වඩා පසුපසට ගමන් කිරීමය. ජනතාවට නිවැරදි දේ පෙන්වා දීම සෑමවිටම ජනමාධ්‍යවේදීන් අතින් සිදුවූ කාර්යයකි. ජනතාවට නො පෙනෙන සත්‍යය, නිවැරදි දෙය පෙන්වා දීම ඔවුන්ගේ වගකීම සහ යුතුකම වන්නේ ය. කෙසේ නමුත් සුධර්මා නෙත්තිකුමාරගේ සිදුවීමේ දී ඇගේ නිවසේ සේවය කළ කාන්තාව හුදෙක් ‘මෙහෙකාරිය’ නමින් හැඳින්වීම නො කළ යුතුව තිබිණි. නූතන දියුණු සමාජයේ සිදු වන වෙනස්කම් පිළිබඳ ඔවුන් දැනුම්වත් ව සිටියා නම් එවැන්නක් සිදු වන්නේ නැත. එබැවින් ඒ සම්බන්ධයෙන් අප ඉදිරියේ ඉතිරි වන්නේ ගැටලුවකි. සිය වෘත්තීය වගකීම, යුතුකම, දැනුමින් සන්නද්ධ වීම පිළිබඳ වෘත්තීය මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යකරණයේ නියුතු සියලු දෙනා නැවත සිතා බැලිය යුතු කාලය එලැඹ තිබෙන බව සඳහන් කළ යුතුව ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක