චණ්ඩි දෙවියන් තුළ සැඟවුණු උපාසක දෙවියෝ

sinigama

හික්කඩුව සීනිගම දේවාලය බොහෝ දෙනකු හඳුනා ගෙන ඇත්තේ විවිධ පුද්ගලයන් විසින් තම සතුරන්ට පලි ගැසීමට ශාප කිරීමට දෙස් දෙවොල් තැබීමට අවලාද නැඟීමට යොදාගන්නා ස්ථානයක් ලෙසිනි.

එහෙත්,එම යාතුකර්ම කරන ස්ථානයේ සර්වඥ ධාතු මන්දිරයක් තැනීමට දරන උත්සාහයක් නිසා පසුගිය කාලයේ ඒ සම්බන්ධ විරෝධතා පැන නැඟිණ.

එහෙත් මෙම දෙවොලට අධිපති දෙවොල් දෙවියන්ගේ දේවත්වය තුළට අවශෝෂණය වී හිඳින සත් ගුණවත් උපාසක දෙවියකු පිළිබඳ අප්‍රකට පුරාවෘත්තයක් ගොනු කර ගැනීමට මට පසුගිය කාලයේ අවකාශ ලැබිණ. කොළඹ, ගාලු පාරේ කහව දුම්රිය ස්ථානය අද්දරින් වමට හැරී තරමක දුරක් ගිය විට මීටියාගොඩ කඩමණ්ඩිය හමු වේ.

වේරගොඩ නම් වන පැරණි ගම්වරය ඇත්තේ මෙම මීටියාගොඩට නුදුරිනි. මෙම වේරගොඩ අතීතයේ තිබූ බෞද්ධ ස්ථානයක් හෙවත් වෙහෙරක් මුල් කොට ‘වෙහෙරගොඩ’ යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. නමුදු මෙම ප්‍රදේශය ආශ්‍රිතව පවත්නා වේරගොඩ දෙවියන් පිළිබඳ සංකල්පය අද වන විට මුළුමනින්ම පාහේ සිඳී ගොසිනි.

ඒ පසු කාලීනව මෙම වේරගොඩ දෙවියන් පිළිබඳ සංකල්පය ද ඊට නොදුරින් පිහිටි සීනිගම දී අදහනු ලබන දෙවොල් දෙවියන් පිළිබඳ විශ්වාසය තුළ ගිලී යාම නිසා ය. සැර පරුෂ ගති ලක්ෂණ පෙන්වන දෙවොල් දෙවියන් යනු එක් දෙවියකු නොව දෙවියන් සත් කට්ටුවක් බවත් වේරගොඩ දෙවියන් ද ඒ සත්කට්ටුවට අයත් එක් දෙවියකු බවත් වේරගොඩ දෙවියන් සම්බන්ධ ජනප්‍රියම විශ්වාසයයි.

එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසුම් කළ මා හට මෙම වේරගොඩ දෙවියන් සම්බන්ධ ඊට වෙනස් ජනශ්‍රැති කිහිපයක් ද උකහා ගැනීමට සිදු විය.

මෙම වේරගොඩ දෙවියන් යනු කන්ද උඩරට රාජධානි සමයේ වේරගොඩ විසූ දානපතියෙකි. ඉඩම් හිමි වැවිලිකරුවකු වන ඔහු ඉතා දැහැමි දිවි පෙවෙතක් ගත කළ උපාසකයකු විය. එමෙන්ම බුදු ගුණ බලයෙන් සෙත් ශාන්ති කිරීම සම්බන්ධයෙන් ඔහු තුළ වූ හාස්කමට මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙම දානපතියාට තඹ සන්නසකින් වේරගොඩ ගම්වරය ප්‍රදානය කළ බවට ජන විශ්වාසයක් තිබේ.

පසුව එම දානපතියා මියගිය පසු ගම්වැසියන් ඔහු දේවත්වයෙන් අදහන්නට පටන් ගත් බවත් ඔහු සඳහා වෙනම දෙවොලක් ඉදි කළ බවත් අද ද එම ප්‍රදේශය දේවාල වත්ත නමින් හැඳින්වෙන බවත් කියනු ලැබේ.

මෙම වේරගොඩ දෙවියන් සම්බන්ධ ජනප්‍රවාද විමැසීමේ දී ඔහුට ‘මානහාමි’ නම් නැගණියක සිටි බවට වන ප්‍රවාදය ද මෙම දේවත්ය දෙවොල් දෙවියන්ගේ දේවත්වයෙන් වෙන්කොට දැක්වීමට කදිම සාක්ෂියක් සේ දැක්විය හැක.

වරක් මෙම මානහාමි තම බුලත් මඩිස්සලයෙන් ගත් හුණු අතරේ වූ කුඩා ගල් කැටයක් විසි කළා ය. එවිට කිසියම් හාස්කමකින් එය ලියලන්නට පටන් ගෙන පසු කාලීනව පර්වතයක් බවට පත් විය. මෙම පර්වතය මත වළවල් හතක් ඇති බව ද පැවසේ.

එමෙන්ම පසුව දෙවොල් දෙවියන්ගේ හාස්කමක් වශයෙන් ප්‍රකට වූ මුහුදු වැලි සහල් බවට පත් කොට අසරණයන්ට බෙදා දීම මෙම වේරගොඩ දෙවියන් සම්බන්ධ පුරාවෘත්තයක් බවට පිළිගැනීමට හේතු සාධක තිබේ.

මෙම වේරගොඩ දෙවියන් නමින් හඳුන්වන ලද දානපතියාට විශාල කුඹුරු යායක් හිමිව තිබූ අතර ඔහු කිසිදු ලෝබකමකින් තොරව එහි අස්වැන්න ප්‍රදේශයේ අසරණයන් අතර බෙදා දුන් බවත් ඔහු එසේ බෙදා දී ඇත්තේ මුහුදු වැලි බෙදන්නාක් මෙන් නිර්ලෝභීව බවත් කියනු ලැබේ.

දෙවොල් දෙවියන් සම්බන්ධව තිබූ ජන විශ්වාස තුළට එක් වූ මුහුදු වැලි සහල් බවට පත් කිරීමේ හාස්කමේ මූලෝත්පාදක කතාව වේරගොඩ දෙවියන් සම්බන්ධ ඉහත පුරාවෘත්තය විය හැකි බවත් සිතිය හැක.

දෙවොල් දෙවියන් සම්බන්ධ පුරාවෘත්තවලට අනුව එතුමා පසු කලෙක වේරගොඩ, උග්ගල්පිටිය සහ උණවටුන යන ප්‍රදේශවලත් වැඩ වාසය කොට තිබේ. මෙම වේර‌ගොඩ දෙවොලේ දෙවො‍ල් දෙවියන් වැඩවෙසෙන බවට ජන සම්මත වූයේ ඒ අනුව යැයි සිතිය හැක.

එම වේරගොඩ ප්‍රදේශයට ආසන්න ගම්වරයක ජන්ම ලාභය ලැබූ පැවිදි පඬි රුවනක් වන අපවත්වී වදාළ පූජ්‍ය තිරාණගම රතනසාර හිමියන් විසින් රචිත (1957) ‘දර්ශන පියස’ නම් කෘතියෙහි මෙම වේරගොඩ දේවාලය පිළිබඳ මෙසේ සඳහන් කොට තිබේ.

‘කොළඹ සිට ගාලු පාරේ සැතපුම් පනස් හතක් ගිය විට හන්දියක් හමු වෙයි. එතැනින් වමට හැරී සැතපුමක් පමණ ගිය විට වේරගොඩ දේවාලය හමු වෙයි. දැන් නම් (1957 හෝ ඊට පෙර) දේවාලයක් නැත. ඇත්තේ පන්සලකි. එම භූමියේ අඩි හයක් පමණ උස ගල් කනු කිහිපයක් ඇත. ගල් පිහිල්ලක් ද වෙයි. පැරණි අරලිය ගස් දෙකක් ද දක්නට ලැබේ. අඩි අසූවක් පමණ උස අඩි දහ අටක් පමණ වට ඇති හෝලු ගස යනුවෙන් හඳුන්වනු ලබන රුකකි. ඒ අසල හඳුන් ගලගාන ගලකි. මේ දේවාලයේ මූලික වශයෙන් සිදු වන්නේ කිසිවකුට අලාභයක් වූ විට අවලාද කිරීමයි. මෙකල ද එය එසේම සිදු කෙරේ.’

රතනසාර හිමියන්ගේ එම ප්‍රකාශය මගින් පැහැදිලි වනුයේ දෙවොල් දෙවියන් හා සම්බන්ධ යාතුකර්මයක් වූ අවලාද කීම හෙවත් පළිගැසීම මෙම වේරගොඩ දේවාලය තුළ සිදු වූ බවකි. එමෙන්ම බැලූ බැල්මටම වුව අබෞද්ධ සේම බෞද්ධ විරෝධී සමාජ විද්‍යාත්මකව ගත් විට කළු අභිචාර (black magic) යනුවෙන් හැඳින්වෙන මෙම යාතුකර්ම මුල්ම වේරගොඩ දෙවියන් හා සම්බන්ධ ‌නොවූ පසුකාලීන චාරිත්‍ර විධි බව පැහැදිලිය.

එමෙන්ම සිංහල ශබ්දකෝෂයේ එන අන්දමට දෙවොල් දෙවියන්ගේ සත්කට්ටුව දෙවොල් සාමි, අලුත් බණ්ඩාර, මන සාමි, ඉරු රැස් සාමි, සඳ රැස් සාමි සහ ගලේ මහ බණ්ඩාර යනුවෙන් දක්වා තිබීම තුළ මෙම වේරගොඩ දෙවියන් පසුව අලුත් බණ්ඩාර වශයෙන් දෙවොල් සත් කට්ටුවට එක්ව තිබේද යන්න දෙවොල් දෙවියන් සම්බන්ධ කන්නලව්, යාදිනි, කංකාරි ආදී වැඩිදුර විමැසීමෙන් සොයා ගත හැක.

ඒ කෙසේ වුව ද බෞද්ධ ග්‍රාම නාමයක් වන වෙහෙරගොඩ හෙවත් වේරගොඩ මුල්කොට අතීතයේ විසූ උපාසක දිවි පෙවෙතක් ගත කළ ප්‍රභූවරයකු පසුව දේවත්වයට පත්ව පසු කාලීනව වඩාත් චිර ප්‍රසිද්ධ දෙවොල් දෙවියන්ගේ දේවත්වය තුළට සම්ප්‍රේෂණය වී ඇති බව අපගේ වැටහීමයි.

එමෙන්ම මීටියාගොඩ ප්‍රදේශයේ වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇති දෙවොල් දේවාලය තුළ මෙම වේරගොඩ දෙවියන් සම්බන්ධ වෙනම යාදිනි කන්නලව් ආදී කිසිවක් නැති වීමට හේතුව ද මෙම දෙවොල් දෙවියන්ගේත් වේරගොඩ දෙවියන්ගේත් ‘ඒත්මීය වීම’ බව මාගේ වැටහීමයි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය