චරිතාංග නළුවෝ බැඳලද? ලිහලද? කියලා ප්‍රේක්ෂකයො බලන්නෙ නෑනෙ මට ඕනෙ එහෙම නළුවෙක් වෙන්න “කොළඹ ඉතාලියේ” අජන්තා;ජෙනට් ඇන්තනී

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගත් ටෙලි නාට්‍යයක් තමයි “කොළඹ ඉතාලිය”. වර්තමානයේ අපේ රටේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කාර්යභහුලම හා ජනප්‍රියතම අධ්‍යක්ෂ වරයා ලෙස නම් කළ හැකි ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන, කොළඹ ඉතාලියෙ හි අමතක නොවන සුවිශේෂී රංගනයක යෙදෙන ජෙනට් ඇන්තනී ව අද අපේ කතා බහට එකතු කර ගත්තා.

* ජෙනට්, ඔයා මේ දවස් වල කොළඹ ඉතාලියේ පෙනී සිටින්නේ අජන්තා නමින්. මං ඔයාට අජන්තා කියලා කතා කළොත් කැමතිද?

අපෝ ඕක මොකද්ද?

හැබැයි මේ අජන්තා ඊට කලින් තවත් නම් දෙකකින් පෙනී සිටියා. ඒ නාට්‍යයේ මගේ සැබෑ පිරිමි චරිතය අජිත්. ඊට පස්සේ සැලෝන් එකේදි මම අජී වුණා. දැන් මගේ මිතුරා කුමාරගේ බිරිඳ අජන්තා

* ජෙනට් සැලෝන් එකේදී රඟපෑවේ ගැහැනු කෙනෙකුට වඩාත් සමීප වූ පිරිමියකුගේ චරිතයක්. දැන් ඔයා ටෙලිනාට්‍යයේ ඔයාලගෙ කුලී නිවස තුළදී ඔයාගේ සැබෑ චරිතය වූ අජිත් ලෙසත්, නිවසින් බැහැරව සිටින විට අජන්තා නමින් කාන්තාවක ලෙස හරිම අපූරු රංගනයක යෙදෙනවා. මේ විදිහට ක්ෂණිකව කටහඬ මාරු කරමින් කතා කරන්න ඔයා ඒ සම්බන්ධ පුහුණුවීමක යෙදුණද?

මං පුංචි කාලේ ඉඳලම විවිධ කටහඬවල් අනුකරණය කරන්න බොහොම කැමතියි. ඇත්තටම පුංචි කාලේ ඉඳලම මට ඒ දක්ෂතාවය තිබුණා.

* මේ නාට්‍යයේදී හිටි හැටියේ තත්පර ගණනක නිමේෂයක් තුළ පුංචි දෙබස් ඛණ්ඩයකින් සහ කට හඬින් ඔයා අජන්තාව අජිත් වෙත මාරු කරනවා. එහිදී තමන් අජිත් මිස අජන්තා නොවන බව ප්‍රේක්ෂකයන් වන අපට ද සිහි ගන්වා යළිත් සුපුරුදු අජන්තා වෙත ඔයා මාරු වෙනවා. ඒක රංගන ශිල්පියකු සතු සුවිශේෂී හැකියාවක්.

ඝාතනයකට සම්බන්ධ වීම නිසා නීතියේ ඇසට හසු වීම වළක්වා ගන්න තමයි අජිත්, අජන්තා ලෙසින් වෙස් වලාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ. නමුත් මෙහිදී මමත්, අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්තයත් කතාබහ කරලා මම කාන්තාවක නොවන බවත්, මම අජිත් බවත් ප්‍රේක්ෂකයන්ට අඟවන්න විවිධ දේවල් ක්ෂණිකව කරනවා. ශිවගුරුනාදන් කියන්නේ නිතරම අනෙක් අයගේ අදහස්වලටත් කන් දෙන, ඒ අදහස් වඩා හොඳ නම් එය නාට්‍යයට ඇතුළත් කරන්නට පසුබට නොවන මානුෂීය ගුණාංගයන් සහිත නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම හැකියාවන් ඇති නවකයන්ට අත දී මේ ක්ෂේත්‍රයට එන්න මග හෙළි පෙහෙළි කර දෙන ගුණ යහපත් මනුස්සයෙක්.

* ඔයාගේ පෞද්ගලික විස්තර කොහොමද ?

මගේ ගම දෙහිවල.ඉස්කෝලේ ගියේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට.මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, නංගියි, මල්ලියි, ආච්චියි, සීයයි.

* ගොඩක් අය රංගන ක්ෂේත්‍රයට එකතු වෙන්නේ මුලින්ම පාසල් වේදිකාවෙන්. ඔයාටත් එවැනි අත්දැකීම් තිබෙනවා ද?

ඊටත් කලින් මම ගමේ වෙසක් නාට්‍යවල රඟපෑවා.මගේ අම්මා සහ තාත්තා ඒවාට සම්බන්ධ වෙලා හිටියා. තාත්තාම තමයි මාවත් වෙසක් නාට්‍යවලට යොමු කළේ. ඊට පස්සේ මම උසස් පෙළ පංතියේදී විෂයක් ලෙස නාට්‍ය හා රංග කලාව තෝරා ගත්තා. ඒ කාලේ මගේ දක්ෂතාවයන් හඳුනාගත් මගේ නාට්‍ය හා රංග කලා ගුරුවරුන් වන අසංක එදිරිසිංහ ⁣, චන්දන දාබරේ යන මහත්වරුන් සහ සුජානි චන්ද්‍රිකා ගුරුතුමියත් මට විශේෂයෙන් අත දුන්නා.

* ජෙනට් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ කොහොමද?

මම පාසල් අධ්‍යාපනය හමාර කළාට පස්සෙ ජාතික තරුණ සේවා සභාවේ රංගන පාසලට ඇතුළත් වෙලා රංගනය පිළිබඳව හැදෑරුවා. එහිදී මට මුණගැසුණු හිතවතෙක් තමයි රොහාන් විජේතුංග. ඒ කාලයේදී මට චාමික හත්ලහවත්ත හමුවුණා.

* ඔහු ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කරපු කෙනෙක්?

ඔව්. ඔහුගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන අතරතුරේ දී මට ජෝශප් ජෙරමිගේ “පාරමි” ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. ඔය කාලයේ දී ම තමයි රොහාන් මාව සද්ධාමංගල සූරියබණ්ඩාර සහ චාමර සමරවික්‍රම මහත්වරුන් දෙදෙනාට හඳුන්වා දුන්නේ. ඒ මාර්ගයෙන් ශිවගුරුනාදන් මහත්තයව හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. මට ඔහුගේ කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ රඟපාන්නට ලැබුණේ ඒ අනුවයි. එහි මගේ චරිතය නිර්මාණය වූයේ මගේ නමින්මයි. ඒ කියන්නේ කවුරුත් මාව හඳුන්වන “ජෙනා” නමින්.

* ඉන්පසුව දිගටම ශිවගුරුනාදන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ජෙනට් ට අවස්ථාව ලැබුණද?

කෝටිපතියෝ එකෙන් පස්සේ ශිවගුරුනාදන් මහත්තයාගෙ අමුතු රසිකයා, අග්නි පියාපත් ටෙලිනාට්‍යවල රඟපෑවා. ඊට පසුව තමයි මට කොළඹ ඉතාලියේ මේ චරිතය කරන්න ලැබුණෙ.

* ජෙනට් මේ චරිතය ගැන තෘප්තිමත්ද ?

සත්තකින්ම.

* වඩාත් තෘප්තිමත් අජිත් ගැනද, අජී ගැනද එහෙමත් නැත්නම් අජන්තා ගැනද?

අජී සහ අජන්තා මං හිතන්නෙ නළුවෙකුට අඩුවෙන් රඟපාන්න ලැබෙන චරිත. කොහොම වුණත් මේ තුළ විවිධාංග චරිත නිරූපණයක් කරන්න තියෙනවනේ. ඒක රංගන ශිල්පියෙක් ලබන භාග්‍යයක්

* ජෙනට් විවාහකද?

තවම නෑ

* දැන් වයස කීයද?

විසි අටයි

* විවාහ වෙන වයසට තව ඇවිත් නෑ කියල හිතනවද ?

මං ලබන අවුරුද්දේ විවාහ වෙනවා

* කවුද ඒ වාසනාවන්තිය?

බුද්ධිකා කාවින්දි

* ඇය රංගනය⁣ට සම්බන්ධයිද?

රඟපාන්නේ නම් නෑ. නමුත් ඇය නර්තන ගුරුවරියක්. ඇය ඇගේම කලායතනයක් පවත්වාගෙන යනවා. පාසල් යන කාලෙ තමයි අපි මුණ ගැහුණෙ.

* සාමාන්‍යයෙන් බොහොමයක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමන් විවාහ වෙන්න යන බවක් හඟවන්නෙත් අන්තිම මොහොතේ. ඒක හෙළි කිරීම ජනප්‍රියත්වයට බාධාවක් වෙයි කියල ඔවුන් විශ්වාස කරනවා.

මගෙයි බුද්ධිකාගෙයි සම්බන්ධය වසර නවයක් පැරණි එකක්. ඇයි මම ඇය ගැන වසන් කරන්නේ ? මං වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන ඇයට මං කරන අසාධාරණයක් නේද ඒක? සමහරදාට මට එයත් එක්ක කතා කරන්න තරම්වත් වෙලාවක් නෑ. ඒත් මගේ යහපත, මගේ සතුට වෙනුවෙන් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගෙන සිටිනවා. අනෙක මම කැමති චරිතාංග නළුවෙක් වෙන්න. එතනදි ප්‍රේක්ෂකයන් බලන්නෙ ඒ නළුවගේ ප්‍රතිභාව,කුසලතාව දිහා. ඒ මිසක් නළුවා බැඳලද?, ලිහලද?, නළුවට ළමයි කී දෙනෙක් ඉන්නවද? වගේ කාරණා නෙවෙයිනේ.අන්න ඒ වගේ ප්‍රේක්ෂක පිරිසක් ගොනු කර ගැනීම තමයි මගේ බලාපොරොත්තුව

  

ඉන්දු පෙරේරා

රසගඟුල