චාල්ස් රජු ගේ පිළිකාව නරක අතට ?

මේ වනවිට පිළිකා රෝගයට ගොදුරු වී සිටින බි‍්‍රතාන්‍යයේ චාල්ස් රජු ගැන මේ දිනවල මාධ්‍ය තුළ පළවන්නේ එතරම් සතුටුදායක ආරංචි නොවෙයි.

ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් මුලින්ම හඳුනා ගත්තේ 2024 ජනවාරි මාසයේ යි. එයින් වසරකට පසු මේ වනවිට ඇතැම් මාධ්‍ය තුළ පළවෙන වාර්තාවලින් කියැවෙන්නේ චාල්ස් රජුගේ තත්වය වඩාත් නරක අතට හැරී ඇති බවයි. ඔහුගේ පිළිකාව දැන් බරපතල තත්වයට පත්ව ඇති බවත්, ඔහුට ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයක් බවත් වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර ඇති බවකුත් මේ වාර්තාවලින් කියැවෙනවා. චාල්ස් රජුගේ බිරිඳ,එනම් කැමිලා බිසව නිතර විලියම් කුමරු සහ හැරී කුමරු සමග කතා කරමින් චාල්ස් රජුගේ තත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කරන බවත් මේ වාර්තා සඳහන් කරනවා.

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය මුලින්ම නිවේදනය කළේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ යි. වෛද්‍යවරුන්ට පිළිකාව හඳුනා ගන්නට හැකිව තිබුණේ ඔහු ප්‍රොස්ටේට් ග‍්‍රන්ථියේ ඉදිමුමක් සඳහා ප‍්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ අවස්ථාවක යි.

නමුත් චාල්ස් රජුගේ පිළිකාව ඇත්තේ ප්‍රොස්ටේට් ග‍්‍රන්ථියේ නොවන බව බකිංහැම් මාලිගය ප‍්‍රකාශ කළා. එහෙත් පිළිකාව ඇති වී තිබෙන්නේ කොහේද යන්න ඔවුන් ප‍්‍රසිද්ධියට පත් කළේ නැහැ. රජ පවුලේ සාමාජිකයන් ගේ සෞඛ්‍යයට අදාළ මෙවැනි තොරතුරු ප‍්‍රසිද්ධියට පත් නොකිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායක්.

කෙසේ නමුත් පසුගිය දිනවල සමහර මාධ්‍ය සඳහන් කර තිබුණේ චාල්ස් රජුට වැළඳී ඇත්තේ අග්න්‍යාසයේ පිළිකාවක් බවයි. නමුත් මේ කිසිවක් බකිංහැම් මාළිගය තහවුරු කර නැහැ.

චාල්ස් රජුගේ සෞඛ්‍ය තත්වය මේ ආකාරයෙන් පිරිහෙමින් ඇත්නම් ඉදිරියේ දී ඔහු රජකම අත්හරීවි ද? ඔහුගේ වැඩිමල් පුතු වන විලියම් කුමරුට කිරුළ භාර දේවි ද? මෙවැනි කාරණා ගැනත් මේ දිනවල මාධ්‍ය තුළ යම් කතාබහක් ඇති වී තිබෙනවා. නමුත් රජ පවුලේ සම්ප‍්‍රදායන් ගැන හොඳින් දන්නා විශේෂඥයන් පවසන්නේ එවැන්නක් සිදුවනු ඇතැයි සිතිය නොහැකි බව යි.

චාල්ස් රජුගේ මව වූ දෙවැනි එළිසබෙත් රැජින ද ඇගේ ජීවිතයේ අවසන් කාලයේ සිටියේ ඉතාම දුර්වල තත්වයක බව රහසක් නොවෙයි. නමුත් ඇය වුවත් රජකම චාල්ස්ට භාර දී විශ‍්‍රාම ගත්තේ නැහැ. මිය යන තුරුම සිහසුනේ රැඳී සිටියා.

එළිසබෙත් රැජිනත් ඒ කාලයේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි බවට ඇගේ මරණයෙන් පසු තොරතුරු පළ වීමට පටන් ගත්තා. බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ බොරිස් ජොන්සන් ඔහුගේ ජීවිත මතක සටහන් එක්කොට ලියූ Unleashed පොතේත් මේ ගැන සඳහන් වුණා. එමෙන්ම මහ රැජිනගේ ජීවිත කතාව ඇතුළත් කර ගයිල්ස් බ‍්‍රැන්ඩෙ‍්‍රත් ලියූ Elizabeth: An Intimate Portrait නැමැති ග‍්‍රන්ථයේත් මේ පිලිබඳව ලියා තිබෙනවා.

එළිසබෙත් රැජිනට වැළඳී තිබුණේ අස්ථි සම්බන්ධ පිළිකාවක් බවයි පැවසෙන්නේ. අස්ථි පිළිකා ඉතා වේදනාකාරී පිළිකා විශේෂයක් බවත් සඳහන්. මෙම වේදනාවන් දරාගෙන වුවත් ඇය දිගටම සිහසුනෙහි රැඳී සිටියා. ඒ ආකරයෙන්ම චාල්ස් ද රජකමෙහි රැඳී සිටිනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

චාල්ස් රජු ශාරීරිකව පෙරට වඩා දුර්වල වී ඇති බව පැවසුණත් ඔහු සිය නිල කටයුතු හැකි උපරිමයෙන් ඉටු කිරීමට උත්සාහ ගනිමින් සිටින ආකාරයත් දැකිය හැකියි.

කෙසේ වෙතත් මෙයට සති කිහිපයකට පෙර ඔහු හදිසියේ රෝහල්ගත කිරීමටත් සිදු වී තිබුණා. ඒ පසුගිය මාර්තු 27 වැනි දින යි. මෙයට හේතු වී තිබුණේ ඔහුට ලබා දෙන පිළිකා ප‍්‍රතිකාර නිසා හටගත් අතුරු ආබාධයක්. කෙසේ නමුත් වැඩි කාලයක් ඔහු රෝහලේ රැඳී සිටියේ නැහැ.
එහෙත් ඔහුගේ ඇතැම් නිල කටයුතු අවලංගු කිරීමටත්, සමහර කටයුතු කල් දැමීමටත් සිදුව තිබුණා.

ඔහුගෙන් යම් විඩාපත් ගතියක් පළවන ආකාරයක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වූ චාල්ස් රජුගේ ඡුායාරූපවලින් දැකිය හැකි වුණා.

මේ අතර රජ පවුලේ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කරන්නේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය ඔවුන්ගේ අනාගත වගකීම් භාර ගැනීම සඳහා වඩ වඩාත් සූදානම් වෙමින් සිටින බවයි. කේට් කුමරිය ද පසුගිය කාලයේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි බව රහසක් නොවෙයි. මේ වනවිට ඇය බොහෝ දුරට සුවය ලබා ඇති බව සඳහන්. තමා කීමෝ ප‍්‍රතිකාර අවසන් කළ බව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ කේට් කුමරිය ප‍්‍රකාශ කළා.

චාල්ස් රජුගේ බාල පුතු වන හැරී කුමරු ජීවත් වන්නේ ඇමරිකාවේ යි. ඔහුත්, විලියම් කුමරුත් අතර කාලයක සිටම තිබෙන විරසකය තවමත් අවසන්ව නැහැ. නමුත් චාල්ස් රජුගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට වඩාත් පිරිහෙමින් ඇත්නම් ඉදිරියේදී මේ අයිය මලෝ දෙදෙනා අතර යම් සමාදානයක් ඇති වීමට ඉඩ තිබෙනවා.

පසුගිය දිනවල හැරී කුමරුත් ලොකු ගැටලූවකට මුහුණ දී තිබුණා. ඔහුව ඇමෙරිකාවෙන් පිටුවහල් කරාවිද යන සැකයක් පවා ඇති වී තිබෙනු දැකගන්නට ලැබුණා. ඒ ඇමරිකාවේ පදිංචියට යද්දී ඔහු ඉදිරිපත් කළ වීසා අයදුම්පත‍්‍රය සම්බන්ධ ගැටලූවක් නිසයි.

තමා කලක් මත්ද්‍රව්‍ය භාවිත කළ බව හැරී කුමරු පවසා තිබෙනවා. නමුත් මේ බව ඔහු සිය වීසා අයදුම්පතේ සඳහන් කර තිබෙනවාද යන ප‍්‍රශ්නය යි මතු වුණේ. මේ කාරණය ගැන නිශ්චිතව දැන ගැනීම සඳහා එක්තරා පාර්ශ්වයක් අධිකරණය හමුවටත් ගියා. එ් හැරී කුමරුගේ වීසා අයදුම් පත ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලමින්.

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සාමාන්‍යයෙන් ඇමරිකාව වීසා නිකුත් කරන්නේ නැහැ. මේ තත්වය තුළ හැරී කුමරු වීසා ලබා ගත්තේ බොරු තොරතුරු සැපයීමෙන් ද යන ප‍්‍රශ්නය බොහෝ දෙනා තුළ මතු වුණා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර