චිතකයක දැවෙන කුමරියකට පණ දී සරණ පාවා ගත් බොක්සැල් දෙවියෝ

දේව හාස්කම් පිළිබඳ පුරාවෘත්ත අප කොතෙකුත් අසා තිබේ. එහෙත්,චිතකයක දැවෙන රජ කුමරියකට පණ දී ඇය සරණ පාවා ගත් දෙවි කෙනකු පිළිබඳව ඔබ මෙතෙක් අසා තොතිබෙන්නට පුළුවන.

අද සමාජයේ බොහෝ දෙනකු නම් වශයෙන් වත් බොක්සැල් දෙවියෝ එවැන්නෙකි.

මහනුවර යුගයේ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිවරයා විසින් රචනා කරන ලද වදන් කවි පොතේ ‘සිද්ධ කිහිරැලි සමන් බොක්සැල් විබීසන සිව් වරම් රජපති’ යන කවියෙන් පැවසෙන බොක්සැල් දෙවියන් අද වන විට මෙරට ජනතාව අදහනු ලබන දේව නාමාවලියෙන් මුළුමනින්ම පාහේ ඉවත් කොට ඇති දෙවි කෙනෙකි. අද වන විට මේ බොක්සැල් සුරිඳුන්ගේ අනන්‍යතාව කොතෙක් ගිලිහී තිබේද යත් බොක්සැල් යනු සමන් සුරිඳුන් හඳුන්වන නමකැයි ද සමහර විද්වතුන් පවසනු අප අසා තිබේ. ඊට හේතුව ඉහත සඳහන් වදන් කවි පොතේ එන කවියෙහි ‘සමන් බොක්සැල්’ යන වදන එක සමීපයේ යෙදී තිබීම නිසා බව අපගේ වැටහීම ය.

ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන පුස්කොළ පොතක එන ‘බොක්සැල් උපත’ නම් කුඩා පද්‍යයක මෙම දෙවියන්ගේ උප්පත්ති කතාව සඳහන් වෙයි. එහි සඳහන් අන්දමට මොහු මහසෙන් නම් රජ කෙනෙකුගේ පුත් කුමරෙකි. නමුදු මෙම බොක්සැල් කුමරුන්ගේ පියා ‘මහසෙන් තෙරිඳු’ යනුවෙන් ඇතැම් තැනක සඳහන් වීම විවාදාත්මක ය. ඊට හේතුව ගිහි ගෙය අතහැර පැවිදි බිමට පත්ව හිඳින තෙර නමකට දරුවකු සිටිය නොහැකි වීම ය. ඒ අනුව මුල් ලේඛනවල සඳහන් ‘මහසෙන් නිරිඳු’ යන්න පසුකාලීන පිටපත් රචකයන් විසින් ‘මහසෙන් තෙරිඳු’ යනුවෙන් වරදවා ලියා ඇති බවක් ද පෙනෙයි.

පසුව බොක්සැල් නමින් දේවත්වයට පත් කුමරා ඉපැදුණු නගරය බොක්සැල් නුවර බවත් පසුව කුමරා අට හැවිරිදිව සිටිය දී අනුරාධපුර වටදා ගෙයකින් වැටී ඉළ ඇට බිඳී මියගොස් යක්ෂ ආත්මයක් ලැබූ බවත් පැවසෙයි. වටදාගෙය යනු ධාතුන් වහන්සේ තැන්පත් කිරීම පිණිස වක්‍රාකාර හැඩයට තනවන ලද මන්දිරයකි. ඒ අනුව මෙම කුමරුන්ගේ පියා කිසියම් යුගයක ජීවත් වූ දුසිල්වත් තෙර නමක විය නොහැකිද? යන අනුමානය ද මුළුමනින්ම බැහැර කිරීමට අපට නුපුළුවන.

මෙසේ වටදා ගෙයකින් වැටී මියගිය කුමරුවකු පසුව වට කුමාර නමින් දේවත්වයට පත් වූ ජනප්‍රවාදයක් ද තිබේ. ‘කුමාර දෙව් උපත’ නම් ජන කාව්‍යයක සඳහන් වන අන්දමට වට කුමාර නම් යක්ෂයාගේ පියා බොක්සැල් නිරිඳු හෙවත් තෙරිඳුන් ය. ඒ අනුව මෙම බොක්සැල් දේව පුරාවෘත්තය වට කුමාර පුරාවෘත්තය හා පටලැවී තිබේ.

දහ නව වැනි සියවසේ අප රටේ පරිපාලන නිලධාරියකු ලෙස සේවය කරන අතරේ මෙරට මානව විද්‍යා විෂය පථයට සුවිසල් මෙහෙවරක් කළ හියු නෙවිල් පවසනුයේ මෙම ‘නිරිඳු තෙරිඳු’ පටලැවීම පුස්කොළ පොත් පිටපත් ලිවීමේ දී ඇති වූ දෝෂයක් බව ය. ඒ නිසා මෙම බොක්සැල් සහ වට කුමාර යන දේවත්වයන් පසු කලෙක ඒකීය දේවත්වයක් බවට පත්ව තිබේ.

මෙම බොක්සැල් යක්ෂයාගේ දේවත්වාරෝපණය සම්බන්ධ රසවත් පුරාවෘත්තය ඇරඹෙනුයේ එතැන් සිට ය.

අනුරාධපුරයේ රජ කුමාරිකාවක පිළිබඳ ආදරයක් ඇති කරගත් මෙම යක්ෂයා ඇය තමන් වසඟයට ගනු පිණිස කදිම උපාය මාර්ගයක් යෙදීය. එනම් ඇය තාවකාලිකව මරණයට පත් කිරීම ය. පසුව එම කුමරියගේ අකල් මරණයෙන් මහත් කම්පාවටත් සංවේගයටත් පත් රජතුමා මෙහෙසිය ඇතුළු රජ පවුලේ සාමාජිකයෝ අනුරාධපුරයේ විසිතුරු චිතකයක් තනා ඇගේ දේහය ආදාහනය කිරීමට සැරසුණහ.

එහෙත්, විශාල පිරිසක් ඉදිරියේ කුමරියගේ දේහය සහිත චිතකය දැවෙන අතරේ කෙමෙන් එහි ගිනි සිළු නිවී යන්නටත්, මියගිය කුමරිය යළි ඉපදී චිතකයෙන් පිටතට පැමිණීමත් නිසා රජතුමා හා මෙහෙසිය ඇතුළු සියලු දෙනාම විස්මයෙන් ප්‍රකම්පනයට පත් වූහ.

පසුව එම කුමරිය සැබැවින්ම නොමළ බවත් තමන් ඇය තාවකාලික මරණයට පත් කළ බවත් ඒ මොහොතේ ඉදිරිපත් වූ බොක්සැල් යක්ෂයා කී අතර ඉන් පසු රජතුමන් ඇතුළු පිරිස එම යක්ෂයා දේවත්වයෙන් අදහන්නට වූහ.

එම පුරාවෘත්තය පී.ඊ.පී. දැරණියගල සූරීන් විසින් සංස්කරණය කරන ලද හියු නෙවිල් විසින් සංරක්ෂණය කළ Ethnology ලිපි කළඹෙහි තිබේ. එම ලිපි කළඹ 1954-1955 යන වර්ෂයන්හි ලංකාණ්ඩුවේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කොට ඇත.

,ප්‍රදේශයේ පවතින අප්‍රකට ජනප්‍රවාදයකට අනුව එම රජ කුමරිය දැවෙන චිතකයෙන් පිබිදෙන කතාවක් සඳහන් නොවේ. එහි දී බොක්සැල් යක්ෂයා විසින් යළි කුමරිය උපදවන ලද්දේ ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ කුමරියගේ භෂ්මාවශේෂ වලිනි.

පසු දා කුමරියගේ භෂ්මාවශේෂ රැස් කිරීම පිණිස දැවී ගිය චිතකය අබියසට ගිය රාජ දූතයන් එහි කුමරියගේ භෂ්මාවශේෂ නොමැති බව දැක අති මහත් පුදුමයට පත්ව තිබේ. බොක්සැල් යක්ෂයා ඉදිරිපත්ව තමන් එම කුමරිය යළි උපදවා තම සහකාරිය බවට පත් කර ගත් බව පවසනුයේ ඒ අවස්ථාවේදී ය.

නමුදු පසු කලෙක ස්ත්‍රීන් උමතු කොට තමන්ට වසඟ කර ගැනීම කෙරෙහි මහත් ලොල් බවක් දැක්වූ මෙම බොක්සැල් දෙවියන් කෙරෙහි මහජනතාව මහත් භීතියෙන් පසු වූ බවත් එනිසාම ක්‍රි.ව. 1698 දී පමණ මෙම බොක්සැල් හෙවත් වට කුමාර දෙවියන්ගේ රූපයක් මහනුවර ඇසළ පෙරහරේ පවා ගෙන යන ලද බවත් කොටගම වාචිස්සර හිමියන් විසින් ලියන ලද ‘සරණංකර සංඝ රාජ සමය’ නම් අනගි කෘතියෙහි ඇතුළත් වේ.

ඒ අනුව පසු කලෙක මෙම බොක්සැල් දෙවියන් වටකුමාර සේම කාන්තාවන් හට වින කරන කළු කුමාර යක්ෂ සංකල්පය සමග ද සම්මිශ්‍රණය වන්නට ඇත.

මහනුවර රාජධානි සමයේ රජ කළ නායක්කර් රජවරුන්ගේ නායක්කර් වංශික බිසවුන් අප රටේ දී විවිධ යක්ෂාවේශයන්ට පත් වූ බව එම රජවරුන් විසින් පල්කුඹුරේ මොහොට්ටාල වැනි සමීපතමයන්ට පවසා පිහිටක් අයැද සිටි අතර එම බිසෝවරුන් ආවේශයට පත් කිරීම බොක්සැල් හෙවත් වට කුමාර විසින් සිදු කරන බවටත් එම සමීපතමයන් රජුට දන්වා ඇති බවත් මහනුවර අස්ගිරි විහාරය සතු පැරණි ලේඛනයක සඳහන් වන බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ ලේඛනයක සඳහන් වෙයි. ඒ කෙසේ හෝ අද වන විට මෙම බොක්සැල් දෙවියන් පිළිබඳ ඇදහීම් මාත්‍රයක්වත් අප රටින් සොයා ගත නොහැකිව තිබේ.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය