චීනය සඳ ගවේෂණයෙ හි තවත් වාර්තාවක් පිහිටුවයි

අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් ගමනක නිරතව සිටින චීනය පසුගිය දා තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සමත් විය. එනම් සඳෙහි කිසිදා පෘථිවියට නොපෙනෙන ’ඈත අර්ධයෙන්’ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒමයි. සඳ ගවේෂණ ඉතිහාසය තුළ මෙවැන්නක් කෙරුණේ පළමු වතාවට ය. මෙයට පෙර රුසියාව, ඇමරිකාව වැනි රටවල් සඳෙහි පස් සාම්පල රැගෙන විත් තිබේ. නමුත් ඒ සෑම සාම්පලයක්ම ගෙන ආවේ පෘථිවියට පෙනෙන අර්ධයෙනි.

සඳෙ හි මෙම ‘ඈත අර්ධය ‘අඳුරු අර්ධය’ නමින් ද හඳුන්වනු ලැබේ. මේ කලාපය එම නමින් හඳුන්වන්නේ එය අන්ධකාරයෙන් වැසීගත් කලාපයක් නිසා නොවේ. කිසි දා පෘථිවියෙහි අපට එය දක්නට නොලැබෙන නිසා ය.

පස් සාම්පල රැගත් යානා මොඩියුලය පෘථිවියට සේන්දු වූයේ පසුගිය 25 වැනි දින යි. එය ගොඩ බැස්සේ චීනයේ ඇතුල් මොංගෝලියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයට ය.

මෙම ඓතිහාසික මෙහෙයුම හඳුන්වන ලද්දේ ‘චැංග්’ ඊ-6’ යන නමිනි. චැංග්’ ඊ යනු චීන පුරාණ කතාවල එන සඳට අධිපති දෙවඟනකගේ නමකි. යානය පෘථිවියෙන් පිටත් වූයේ පසුගිය මැයි 3 වැනි දින යි. මෙම සම්පූර්ණ ගමනට දින 53 ක කාලයක් ගත විය.

චැංග්’ ඊ-6 සඳ මත ගොඩ බැස්සේ ද විශේෂ ස්ථානයකට ය. එම ස්ථානය හැඳින්වෙන්නේ එයිට්කන් ද්‍රෝණිය යන නමිනි. එහි විශේෂත්වය වන්නේ එය සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ආවාටයක් වීම යි. මෙය කෙතරම් විශාල ආවාටයක් ද යත් එහි විශ්කම්භය කි.මී. 2,500 ක් පමණ වන බව සඳහන් වේ. ගැඹුර කි.මී 8 කට ආසන්න ය. මෙය වසර බිලියන 4 කට පමණ පෙර ඇති වූ ආවාටයක් බව ද පැවසේ.

යානය සඳ මත ගොඩ බැස්සේ ජුනි 1 වැනි දින යි. එයින් පසු පස් සාම්පල රැස් කිරීම සිදු වූයේ රොබෝ හැන්දක් සහ විදුම් උපකරණයන් ඇසුරෙනි. මෙම පස් සාම්පල ගෙන තිබුණේ සඳෙහි පෘෂ්ඨය විද මීටර 2 ක් පමණ ගැඹුරෙනි.

2020 වසරේ දියත් කළ චැංග්’ ඊ-5 මෙහෙයුම ද තවත් විශේෂ මෙහෙයුමක් විය. චීනය පළමු වරට සඳේ පස් සාම්පල පෘථිවියට රැගෙන ආවේ මෙම මෙහෙයුම තුළිනි. නමුත් එවර එම සාම්පල ගෙන ආවේ අඳුරු අර්ධයෙන් නොව පෘථිවියට පෙනෙන අර්ධයෙනි.චීනයේ මීළඟ සඳ ගමන දියත් කිරීමට නියමිතව ඇත්තේ 2026 වසරේ යි. චැංග්’ ඊ-7 නැමැති එම මෙහෙයුම සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය ඉලක්ක කර දියත් වන්නකි. මෙම කලාපය මත මේ වනවිට යානයක් ගොඩ බස්සවා ඇත්තේ ඉන්දියාව පමණි.

සඳෙහි පස් සාම්පල අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් සඳ සහ පෘථිවිය ඇතුළු සූර්ය ග්‍රහ මණ්ඩලයේ ආරම්භයත්, විකාශනයත් ගැන බොහෝ දේ දැන ගැනීමට හැකි වන නිසා ය. එමෙන්ම සඳ මත ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වන කටයුතුවලට ද මෙම අධ්‍යයනයන්ගෙන් යම් උදව්වක් ලැබේ. වැඩි කල් නොගොස් සඳ මත විද්‍යාගාර වැනි ඉදි කිරීම් කිරීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. මෙම ඉදි කිරීම් සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කරන්නේ සඳෙහි පස්වලින් ම සාදාගත් ගඩොල් ය. මෙවැනි කටයුතුවලට උදව් වන තොරතුරු ද මෙම පස් සාම්පල අධ්‍යයනයෙන් උකහා ගැනීමට හැකියාව තිබේ.

සඳ ගවේෂණ ක්‍ෂේත්‍රය තුළ චීනය වාර්තාවක් පිහිටු වූ දෙවැනි අවස්ථාවයි මේ. මෙයට පෙර ඔවුන් පළමු වාර්තාව පිහිටුවූයේ සඳේ අඳුරු අර්ධය මත ඉතිහාසයේ පළමු වතාවට යානයක් ගොඩ බස්සවමිනි. චැංග්’ ඊ-4 නමින් හැඳින්වුණු එම මෙහෙයුම දියත් වූයේ 2019 වසරේ ය. ඊට පෙර කිසිදු රටක් මෙම කලාපය මත යානා ගොඩ බස්සවා තිබුණේ නැත.

සඳෙහි ඈත අර්ධය මත යානයක් ගොඩ බැස්සවීම අභියෝගාත්මක කටයුත්තක් ලෙස සැලකේ. එසේ යානයක් එහි ගොඩ බැසීමට යාමේ දී එය සඳට මුවා වීම නිසා යානය සහ පෘථිවිය අතර සන්නිවේදන සබඳතා බිඳ වැටෙයි. චීනය මෙම ගැටලුව ජයගත්තේ විශේෂ සන්නිවේදන චන්දි්‍රකාවක් සඳට ඉහළින් ස්ථානගත කර ඒ හරහා සන්නිවේදන කටයුතු කිරීම මගිනි.

වසර 2030 ට පෙර සඳ මත චීන අජටාකාශගාමියකු ගොඩ බැස්සවීමට ද චීනය බලාපොරොත්තු වෙයි. එය සාර්ථක වුවහොත් සඳ මත මිනිසුන් ගොඩ බැස්සවීමට සමත් වූ දෙවැනි රට බවට චීනය පත් වනු ඇත. මේ වනවිට සඳ මතට මිනිසුන් යවා ඇති එකම රට ඇමරිකාවයි. ඔවුන් පළමු වරට අජටාකාශගාමීන් සඳ මත ගොඩ බැස්සවූයේ 1969 තරම් ඈත කාලයක ය. ඇපලෝ-11 මෙහෙයුම හරහා සඳට ගිය පළමු මිනිසුන් දෙදෙනා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් ය.

2020 වසරේ දියත් කළ චැංග්’ ඊ-5 මෙහෙයුම ද තවත් විශේෂ මෙහෙයුමක් විය. චීනය පළමු වරට සඳේ පස් සාම්පල පෘථිවියට රැගෙන ආවේ මෙම මෙහෙයුම තුළිනි. නමුත් එවර එම සාම්පල ගෙන ආවේ අඳුරු අර්ධයෙන් නොව පෘථිවියට පෙනෙන අර්ධයෙනි.

චීනයේ මීළඟ සඳ ගමන දියත් කිරීමට නියමිතව ඇත්තේ 2026 වසරේ යි. චැංග්’ ඊ-7 නැමැති එම මෙහෙයුම සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය ඉලක්ක කර දියත් වන්නකි. මෙම කලාපය මත මේ වනවිට යානයක් ගොඩ බස්සවා ඇත්තේ ඉන්දියාව පමණි.

වසර 2030 ට පෙර සඳ මත චීන අජටාකාශගාමියකු ගොඩ බැස්සවීමට ද චීනය බලාපොරොත්තු වෙයි. එය සාර්ථක වුවහොත් සඳ මත මිනිසුන් ගොඩ බැස්සවීමට සමත් වූ දෙවැනි රට බවට චීනය පත් වනු ඇත. මේ වනවිට සඳ මතට මිනිසුන් යවා ඇති එකම රට ඇමරිකාවයි. ඔවුන් පළමු වරට අජටාකාශගාමීන් සඳ මත ගොඩ බැස්සවූයේ 1969 තරම් ඈත කාලයක ය. ඇපලෝ-11 මෙහෙයුම හරහා සඳට ගිය පළමු මිනිසුන් දෙදෙනා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් ය.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්