චීන්නු හඳේ ගඩොල් කපන්න සැරසෙති

chinnu

චීනය සඳ මත ගඩොල් තනන්නට සූදානම් වන බවට පළ වූ පුවතක් පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගෙන තිබිණි. සඳේ පස්ම යොදා ගනිමින් ඔවුන් මේ ආකාරයෙන් සඳ මත ගඩොල් සාදන්නට සැරසෙන්නේ ඒවා යොදා ගනිමින් එහි පර්යේෂණ කඳවුරක් ඉදි කිරීමේ අරමුණ ඇතිව ය. මේ සියලු ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ මිනිසුන් විසින් නොවීම ද තවත් විශේෂත්වයකි. චීනය මේ සියල්ල කරන්නට යන්නේ රොබෝවරුන්ගේ ආධාරයෙනි. තව වසර 5 ක් ඇතුළත සඳ මත කඳවුරු තැනීමේ කටයුත්ත ආරම්භ කිරීමට හැකි වනු ඇති බව චීන විද්‍යාඥයන් පවසා තිබේ. මේ සඳහා යොදා ගන්නා රොබෝවරුන් ඔවුන් නම් කර ඇත්තේ ‘චීනයේ සුපිරි පෙදරේරුවන්’ (Chinese Super Masons) යනුවෙනි.

මේ වනවිට ඇමරිකාව, චීනය, ඉන්දියාව, යුරෝපය වැනි පාර්ශ්ව රැසක් සඳ ගවේෂණ කටයුතු ගැන විශාල උනන්දුවක් දක්වමින් සිටියි. සඳ මත ඇති ස්වාභාවික සම්පත් සොයා පාදා ගැනීම මෙම පාර්ශ්වවල අරමුණ යි. ඇමරිකාව ලබන 2024 හෝ 2025 වනවිට නැවතත් මිනිසුන් සඳ වෙත යැවීමට බලාපොරොත්තු වෙයි. ඇමරිකානු අජටාකාශගාමීන් මෙයට පෙර ද සඳ මත පා තබා තිබේ. අවසන් වරට එවැනි චාරිකාවක් සිදු වූයේ 1972 වසරේ යි. ඒ ඇපලෝ- 17 චාරිකාව යි. එයින් වසර 50 කට පසු නාසා ආයතනය නැවතත් අජටාකාශගාමීන් සඳ වෙත යැවීමට සැලසුම් කරමින් සිටියි.

චීනයට අමතරව ඇමරිකාව ද සඳ මත කඳවුරු ඉදි කිරීමට අදහස් කරයි. නමුත් ඒ පිලිබඳ දින වකවානු තවම ඔවුන් ප්‍රකාශයට පත් කර නැත. මේ වනවිට ඇමරිකාව වැඩි උනන්දුවක් දක්වන්නේ මිනිසුන් සඳ වෙත ගෙන යාම පිලිබඳව ය. චීනය ද ඔවුන්ගේ අජටාකාශගාමීන් සඳ මත ගොඩ බැස්සවීමට බලාපොරොත්තු වුවත් ඊට පෙර ඉහත කී කඳවුරේ වැඩ ආරම්භ කිරීමට අදහස් කරන ආකාරයක් පෙනේ.

නවසිය හැට හැත්තෑව දශකවල සඳට ගිය ඇමරිකානු නාසා ආයතනයේ අජටාකාශගාමීන් සඳ මත ගත කළේ ඉතා කෙටි කාලයන් ය. වැඩිම කාලයක් ගත කර තිබුණේ ඇපලෝ-17 න් සඳට ගිය ජීන් සර්නන් සහ හැරිසන් ෂ්මිට් යන දෙදෙනා යි. ඔවුහු පැය 78 කට ආසන්න කාලයක් සඳ මත ගත කළෝය. එය දින තුනකට කිට්ටු කාලයකි. නමුත් ඉදිරියේ දී ඉහත කී ආකාරයේ ස්ථාවර කඳවුරු එහි ඉදි කළ විට අජටාකාශගාමීන්ට මාස ගණන් සඳ මත නතර වී හිඳිමින් විවිධ පර්යේෂණ කටයුතුවල නිරත වීමට හැකි වනු ඇත.

සඳ මත චීන කඳවුරු ඉදි කිරීමේ කටයුත්ත ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගිය දිනෙක වූහාන් නුවර විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වා තිබිණි. එම සම්මන්ත්‍රණය නම් කර තිබුණේ ‘පිටසක්වල ඉදි කිරීම් පිලිබඳ සම්මන්ත්‍රණය’ යනුවෙනි. විද්‍යාඥයන්, අභ්‍යවකාශ කොන්ත්‍රාත්කරුවන්, පර්යේෂකයන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගි වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

චීන ඉංජිනේරු ඇකඩමියේ විශේෂඥයකු වන ඩිංග් ලීයුන් පවසා තිබුණේ ඉහත සඳහන් කළ සුපිරි රොබෝවරුන් නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. 2028 වසරේ පමණ මෙම රෝබෝවරුන් සඳ වෙත යැවෙනු ඇති බව ද ඔහු පවසා තිබිණි. ඒ Chang’e 8 නමින් හැඳින්වෙන අභ්‍යවකාශ ව්‍යාපෘතියක් හරහා යි.

මේ අතර චීනය තවත් වික්‍රමයක් කිරීමට සූදානම් වෙයි. එනම් සඳේ ‘අඳුරු අර්ධය’ නමින් හැඳින්වෙන කලාපයේ පස් සාම්පල පෘථිවිය වෙත රැගෙන ඒම ය. ‘අඳුරු අර්ධය’ ලෙස හැඳින්වෙන අර්ධය කවදාවත් පෘථිවියට පෙනෙන්නේ නැත. එය සදාකල්හිම පෘථිවියෙන් ඉවතට හැරී ඇති අර්ධයකි. මෙයට පෙර කිසිදු රටක් මෙම අර්ධයේ පස් සාම්පල පෘථිවියට ගෙනැවිත් නැත. චීනය එම දස්කම කිරීමට යන්නේ ඉතිහාසයේ පළමු වතාවට යි. 2025 වසරේ මෙම කටයුත්ත සිදු කිරීමට හැකි වනු ඇති බව ඩිංග් ලීයුන් සඳහන් කර තිබිණි. (සඳෙහි ඉහත කී අර්ධය ‘අඳුරු අර්ධය’ ලෙස හැඳින්වෙන්නේ සැබැවින්ම එය අඳුරු නිසා නොව කවදාවත් පෘථිවියට නොපෙනෙන නිසා ය.)

මේ වනවිට සඳ පිලිබඳ උනන්දුව දක්වන සෑම පාර්ශ්වයකම ප්‍රධාන ඉලක්කයක් වන්නේ සඳෙහි ඇති අයිස් වූ ජලය සොයා ගැනීමයි. මෙම අයිස්වලින් ජලය මෙන්ම ඉන්ධන ද, ඔක්සිජන් ද නිශ්පාදනය කිරීමට හැකි වේ. එසේ වුවහොත් අනාගත අභ්‍යවකාශ ගමන්වල යෙදෙන යානාවලට ඉන්ධන ආදිය සපයන නැවතුම් පලක් ලෙස සඳ යොදා ගැනීමට හැකි වනු ඇත. ඉදිරියේ දී අඟහරු ඇතුළු ඈත ග්‍රහලෝක වෙත යානා යැවීමට ඇමරිකාව, චීනය වැනි රටවල් බලාපොරොත්තු වේ.

ඉදිරි වසර පහ හය ඇතුළත සඳ මත කඳවුරු ඉදි කිරීම ආරම්භ කිරීමට චීනය බලාපොරොත්තු වුවත් එම කඳවුරුවල මිනිසුන් කටයුතු කිරීමට පටන් ගනු ඇත්තේ තව වසර 20 කින් 30 කින් පමණ බව ද විද්‍යාඥයෝ සඳහන් කරති.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර