චීන පොහොර සාම්පල් තුන් වන පාර්ශවයක් ලවා පරීක්ෂාවකට එකඟතාවක් නැහැ

දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති නැවේ ඇති චීන කාබනික පොහොර තොගයේ සාම්පල තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දක්වා එකඟතාවකට එළඹී නොමැති බව ලේකම් මහාචාර්ය උදිත්.කේ.ජයසිංහ මහතා කියයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන කාබනික පොහොර තොගයේ ප්‍රමිතිය තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවකට එළඹ තිබෙන බවට චීන තානාපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.එමෙන්ම මතභේදයට තුඩු දුන් චීන නෞකාවේ කාබනික පොහොර තොගය සඳහා කිසිදු ගෙවීමක් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් නැතැයි ද ලේකම් වරයා කීවේය.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව චීන නෞකාවෙන් පොහොර ලබා ගැනීමක් සිදු නොකළ බැවින් පොහොර සඳහා මුදල් ගෙවීමක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද කෘෂිකර්ම ලේකම්වරයා අවධාරණය කළේය.
ක්වීන්ඩාඕ සීවින් බයෝටෙක් සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය දා ඇමරිකානු ඩොලර් මිලියන 41.6ක මුදලක් අලාභ ලෙස ගෙවන්නේ නම් කාබනික පොහොර තොගය රැගත් නෞකාව හරවාගෙන යාමට සූදානම් බවටත්, ඊට අදාළ කොන්දේසි පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් මඟින් දැනුම් දුන් බවටත් කියා සිටියද කෘෂිකර්ම ලේකම්වරයා ලෙස තමන්ට කිසිදු ලිඛිත දැනුම් දීමක් මෙතෙක් සිදු කර නැති බවද හෙතෙම කීය.එමෙන්ම ක්වීන්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ඉදිරිපත් කරන කරුණු කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කිසිසේත් අදාළ නොවන බව ද කෘෂිකර්ම ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්