නූතන සමාජයේ සම්මත නීති සහ සදාචාර විරෝධී ක්‍රියා සිදුකරන භික්ෂුන් හැඳින්වීම පිණිස තම ලේඛන මඟින් ජනමාධ්‍ය කරුවන් සුලබව භාවිත කරන වදනක් තිබේ.
එනම් ‘චීවර ධාරියා’ යන්න ය. වචනාර්ථය වශයෙන් සළකන විට මෙම සංඝ සමාජයේ සෑම භික්ෂුවකටම එක සේගැලපෙන වදනකි. මක් නිසා ද යත් සිල්වත් දුසිල්වත් සෑම භික්ෂුවක්ම සිවුරු දරා සිටින්නෙකු හෙවත් චීවර ධාරියකු බැවිනි.
ඇතැම් සම්මත නීති හා සදාචාර විරෝධී කියාවන් හි යෙදෙන භික්ෂූන් හැඳින්වීමට යොදන චීවර ධාරියා නම් වන සංඥා නාමය යොදා ගනු ලබනුයේ ඒ භික්ෂුව තමන් ගේ භික්ෂුත්වයට නොගැලපෙන කටයුත්තක යෙදී ඇති බව මහජනයාට සන්නිවේදනය කිරීමට ය.
එහෙත්,මෙහි දී බොහෝ ජන මාධ්‍ය කරුවන් වටහා ගත යුතු විශේෂතම කරුණක් තිබේ.එනම් භික්ෂුව යනු ගෞරවනීය ව්‍යවහාරයක් නොවන බව ය.ආයාචනා කිරීමකින් තොරව අනුන් ගෙන් ලබා ගන්නා දෙයින් යැපීම භික්ෂාව නම් වෙයි.
ලෞකිකත්වයෙන් දුරස් ව ආධ්‍යාත්මික අරමුණු තකා අනුන් දෙන දෙයින් යැපෙන්නා භික්ෂුව නම් වෙයි.එය ද වෙද,ගොවි,කම්කරු,සෙබළ වැනි සමාජ තරාතිරමක් අඟවන්නකි.එනිසා භික්ෂුවට ගෞරවාන්විත බවක් ලබා දීමට නම් ඊට “වහන්සේ යන ගෞරවාර්ථ ප්‍රත්‍යය ද එක් කළ යුතුම ය.
මෙහි තවත් වැදගත් දෙයක් තිබේ. ශාසනික වශයෙන් බලන විට එසේ භික්ෂුත්වයට නොගැලපෙන ක්‍රියාවන් යනු ජන සම්මත නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන් පමණක්ම නොවේ.භික්ෂු විනය යනු ඊට වඩා අතිශය පුළුල් ලෙස විග්රහ කළ හැකි ආචාර ධර්ම පද්ධතියකි.
සම්මත නීති සහ සදාචාර ධර්ම වශයෙන් අනුමත වුව ද භික්ෂූන්ට අකැප බොහෝ ක්‍රියාවන් තිබේ.සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ඒවා හැඳින්වෙනුයේ “බුද්ධ නීති”යනුවෙනි.
එම බුද්ධ නීති කඩ කළ දුශ්ශීල භික්ෂුන් බුද්ධ කාලයේ පවා කොතෙකුත් සිටි බව සූත්‍ර විනය පිරික්සීමේ දී පෙනෙයි.
බුද්ධත්වයෙන් විසි වන වසරක් සපිරීමත් සමඟ බුදුන් වහන්සේට භික්ෂුන් සඳහා විනය ප්රඥප්තියක් පැනවීමට සිදු වූයේ එම දුසිල්වත් භික්ෂුන් ගේ අනේක විධ ක්‍රියාවන් පදනම් කර ගනිමින් ඒ දුසිල්වත්කම් මොනවාද? ඒවා සම්බන්ධ ‘ආපත්ති’ හෙවත් ශාසනික හානි මොනවාද? යන්න බෞද්ධ විනය පිටකය සහ එය අටුවා පිරික්සීමෙන් පැවිදි ගිහි ඕනෑම කෙනකුට වටහා ගත හැක.
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ විනය ප්රඥප්තීන් සංග්‍රහය හැඳින්වෙනුයේ ප්රාතිමෝක්ෂ වශයෙනි. ඒ තුළ විනය ශික්ෂා පද දෙසිය විසි හතරක් අඩංගු වී තිබේ. භික්ෂු ප්රාතිමෝක්ෂයෙහි පාරාජිකා නම් වන බරපතලම විනය උල්ලංඝනය කිරීම් සතරකි.
දෙවනුව ඊට පමණක් දෙවැනි වන බරපතල විනය විරෝධී ක්‍රියා සේ සැලකෙන සංසාදිසේස දහ තුනකි. ඒ සම්බන්ධ වැඩි තොරතුරු බෞද්ධ විනය පිටකයේ විස්තර කෙරෙන බැවින් ආර්ය මාර්ගය මත පදනම් වන භික්ෂුවක ගේ භික්ෂුත්වයේ පැවැත්මට සෘජුවම බලපාන පාරාජිකා සතර පමණක් මෙහි දක්වමු.
1. යම් භික්ෂුවක් භික්ෂුන්ගේ අධිශීල ශික්ෂාවන්ට හෙවත් උපසම්පදාවට පත්ව, උපසම්පදා ශීලය ප්‍රතික්ෂේප නොකොට,මිනිස් පමණක් නොව යටත් පිරිසෙයින් තිරිසන් ස්ත්‍රියක සමඟ හෝ ලිංගික සේවනය කළේ නම්, ඒ භික්ෂුව පාරාජිකා වෙයි. භික්ෂුන් සමඟ සහවාසයට නුසුදුස්සෙක් වෙයි.
2. යම් භික්ෂුවක් ගමෙන් හෝ වනාන්තරයෙන් අන්සතු නුදුන් දෙයක් සොර සිතින් ගනී ද,රාජ දණ්ඩනයකයට සුදුසු එබඳු වු සොර කමක දී රජු විසින් සොරු අල්ලා මරා දමයි ද, සිරගත කරයි ද,රටින් පිටුවහල් කරයි ද හේ සොරෙකි. බාලයෙකි. මූලාකරන්නෙකි. අන්සතු දේ ගත්තෙකි යැයි චෝදනා කරයි ද (එබඳු නීත්‍යානුකූල දඬුවමකට සුදුසු වූ) අන්සතු දෙයක් පැහැර ගන්නා භික්ෂුව පාරාජිකා වෙයි. භික්ෂුන් සමඟ සහවාසයට නුසුදුස්සෙක් වෙයි.
3. යම් භික්ෂුවක් දැන දැන මනුෂ්‍ය ශරීරයක් ජීවිතයෙන් තොර කරයි නම් මරණය සඳහා අවි ආයුධ පිළියෙල කොට තබයි නම්, මරණයෙහි අගය වර්ණනා කරයි නම්, මේ පවිටු දුක්බර ජීවිතයෙන් ඔබට ඇති ඵලය කුමක්ද ? ජීවිතයට වඩා මරණය සුදුසු යැයි මරණය සඳහා යමකු උත්සුක කරවයි නම් මරණු කැමති සිත් ඇතිව, කල්පනාව ඇතිව නොයෙක් ආකාරයෙන් මරණයේ ගුණ වර්ණනා කරන්නේ ද, මරණයෙහි උත්සුක කරවන්නේ ? ඒ භික්ෂුව පාරාජිකා වෙයි. භික්ෂුන් සමඟ සහවාසයට නුසුදුස්සෙක් වෙයි.
4. යම් කිසි භික්ෂුවක් (තමන් නොදත් ආර්ය ඤාණ දර්ශනයන් ඇති කරවන සුළු (ධ්‍යාන,මාර්ග ඵල ආදී) ඉතා උසස් මනුෂ්‍ය ධර්ම (උත්තරී මනුස්ස ධම්ම) ලබා ඇති බවක් අඟවමින් , පසු කලෙක දී එම භික්ෂුව තමන් කළ එම වරදින් පිරිසිදු වීම පිණිස වෙනත් කෙනෙකුන් විසින් විමසනු ලබන හෝ නොලබන විට “මම නොදැන දනිමි’යි කියා ද නොදැකම දකිමි’යි කියා ද හිස් වූ බොරු බස් කීවෙමි’යි වශයෙන් අධිමානයෙන් තොරව ප්‍රකාශ කළ ද, ඒ භික්ෂූව පාරාජිකා වෙයි. භික්ෂුන් සමඟ සහවාසයට නුසුදුස්සෙක් වෙයි.
බෞද්ධ විනය පිටකයේ සඳහන් ඉහත සඳහන් සතර පාරාජිකාවන්ට හසු වූ භික්ෂුවකට හිස සුන් මිනිසකුව ජීවත් විය නොහැක්කාක් මෙන් තම භික්ෂුත්වය පවත්වා ගන යා නොහැකි බව විනය අටුවාවන් හි දැක්වෙයි.
එහෙත්, යම් භික්ෂුවක් තමන් විසින් කරන ලද ඉහත සඳහන් වරදක් පිළිගත්ත ද එය එම භික්ෂුව පාරාජිකා වූවකු ලෙස සංඝ සම්මුතියෙන් ප්‍රකාශයට පත් විය යුතුම ය.බෞද්ධ විනයානුකූල ව ඒ දක්වාම ඒ භික්ෂුව තම භික්ෂුත්වයේ හිමි කරුවකි.
එවන් ධර්ම විනය පසුබිමක් තුළ දේශපාලනමය කටයුතු ආදියේ යෙදෙන භික්ෂූන් අතහැර වෙනත් යම් යම් සම්මත නීති හා සදාචාර විරෝධී කටයුතු වල යෙදෙන භික්ෂුන් පමණක් තෝරා ඔවුන් හැඳින්වීම පිණිස මාධ්‍ය කරුවන් යොදන “චීවර ධාරියා” යන්න හුදෙක් හිස් වදනක් බවත් කවර හෝ දුසිල්වත් භික්ෂුවක හෝ භික්ෂු යන සමාජ තරාතිරම් නාමයෙන් හැඳින්වීමේ කිසිදු ශාසනික අවහිරතාවක් නොමැති බවත් එම මාධ්‍ය කරුවන්ට විශේෂයෙන් පෙන්වා දිය යුතුය.
කදුරුපොකුණේ සුමංගල හිමි