මෙරට පිහිටි ඉන්දියානු තෙල් සමාගම නැතිනම් IOC ආයතනය ඉකුත් දා ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූවේය. ඒ ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල ඉහළ යාම කරනකොට බව කියමිනි. තෙල් සංස්ථාව ද ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති උදය ගම්මන්පිල මෙන්ම තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද කියා සිටියේ ඉන්ධන මිල ඉහළ නොදමා සංස්ථාව ඉදිරියට පත්වා ගෙන යා නොහැකි බවකි.
ලෝක වෙළෙද පොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 80 අගයේ පවතියි. ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල ඉහළයාමට සාපෙක්ෂව ලංකාව ඩොලර් අර්බුදයක ද සිරවී සිටියි. එම නිසා තෙල් ආනයනය කිරීීමට මුදල් නොමැති තත්ත්වයක් ද උද්ගතවී ඇත. තෙල් සංස්ථාව මේ වන විට රුපියල් බිලියන 3 ක පමණ ණය අර්බුදයක සිරවී සිටියි. එයින් තුනෙන් දෙකක්ම මෙරට බැංකුවලට ගෙවිය යුතු ණය වේ.
එය කෙසේ වෙතත් මේ ණය හා පාඩු ලැබූවේ මෙරට ජනතාවට නොමිලේ තෙල් ලබාදීමෙන් නොවන බව පැහැදිලි ය. නිදහසින් පසු වසර 72 ක කාලය තුළ බලයට පැමිණි කිසිදු රජයක් ජනතාවට තෙල් නොමිලේ ලබා දුන්නේ නැත. මෙරට අලෙවිකරන ඉන්ධනවලින් 50% ක් පමණ ඇත්තේ බදු ය. එම බදු අඩු නොකරනුයේ රජය යැපෙන්නේ ජනතාවගෙන් අය කරන මේ බදු නිසාවෙනි. දේශපාලඥයන් සියළු සැප සම්පත් භුක්ති විදින්නේද මේ බදුවලිනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරටට ගෙන්වන තෙල්වලින් 70% ක් පිරිපහදු කළ ඉන්ධනය. බොරතෙල් ගෙන්වන්නේ 30% ක් පමණකි. මන්ද මෙරට පිහිරිපහදුව නවීකරණය නොකිරීම හේතුවෙන් බොරතෙල්වලින් ඉන්ධන පිහිපහදු කළ හැක්කේ ඉතා සීමිත ප්‍රමාණයක් බැවිනි. බොරතෙල් ගෙන්වනවාට වඩා පිරිපහදු කළ ඩිසල් හා පෙට්‍රල් ගෙන්වීම මිල අධිකය. අනෙක් කාරණය තෙල් සංස්ථාව පිරිපහදු කළ ඉන්ධන මිලදී ගන්නේ ස්පොට් පර්චෙසින් නැතිනම් විවෘත වෙළෙද පොලේ ක්ෂණික මිලදී ගැනීම් වශයෙනි. එයද ක්ෂණික කොමිස් මුදල් ලබාගත හැකි මිල අධික ගැණුම් ක්රමවේදයකි.
තෙල් නිෂ්පාදිත රටවල් සමග ඇති කර ගන්නා දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් හරහා ඉන්ධන මිලදී ගැනීම මෙම ක්‍රමයට වඩා ලාබදායක ය. නමුත් ශ්‍රි ලංකාව බොරතෙල්වල් එලෙස මිලදී ගන්නේ නැත. ඔවුන් කොමිස් ලබාගත හැකි ක්ෂණික මිලදී ගැනුම් ක්‍රියාවලියක නිරත වී සිටියි. පිරිපහදුව නවීකරණය කොට දැනට පවතින 30% ක නිෂ්පාදනය 60% දක්වා වැඩි කිරීමට සුදානම් වන්නේ 2004 සිට ය. නමුත් තවමත් තෙල් පිරිපහදුව නවීකරණය කර ගැනීමට ඉන් පසු පත්වූ කිසිදු රජයක් සමත් වූයේ නැත.
බොරතෙල් මෙරටට ගෙන්වා පිරිපහදු කිරීම මගින් ගුවන් යානා තෙල්වල සිට භුමිතෙල් හා තාර දක්වාම අතිරේක නිෂ්පාදනයන් රැසක් ලබාගැනීමේ හැකියාව පවතියි. අවසානයේ ගෑස් පවා නිෂ්පාදනයවේ. නමුත් ගුවන් යානා තෙල් සේම ගෑස් ද වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනුයේ පිරිපහදුවේ නිෂ්පාදන ධාරිතාවය පහළ අගයක පැවැතීම නිසාවෙනි.
තෙල් පිරිපහදුව නවීකරණය කරන බවට ඛනිජ තෙල් අමාත්‍යාංශය භාරව පත්වන සෑම ඇමතිවරයෙකුම තමන්ගේ වැඩභාර ගැනීමේ උත්සවයේදී කරන ප්රමුඛ කතාවක් වුවද කල් යත්ම පත්වූ සියළු ඇමතිවරුනට එය අමතකව යන්නේ මන්දැයි සිතා ගැනීම පහසුය.
එය කෙසේ වෙතත් තෙල් අර්බුදය තවමත් විසඳී නැත. ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත සදහන් කරනුයේ තවමත් මෙරටට තෙල් ආනයනය කර නොමැති බව ය. එබැවින් සංස්ථාවේ ගබඩාවල තෙල් ඇත්තේ තව සති දෙකකට පමණක් බව ද ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. එසේම දුම්රිය ධාවනය නොවන්නේ ද මෙම අර්බුදයේ අතුරු ඵලයක් ලෙසින් යැයිද ඔහු සදහන් කළේය.
ආනන්ද පාලිත කියන ආකාරයට ඛනිජ තෙල් සංස්ථාව දුම්රිය දෙපාර්තමේන්තුවට තෙල් නිකුත් කිරීම මේ වන නවතා ඇත. එම නිසා දුම්රිය ධාවනය නවතා දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශයට සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ අන්තර් පළාත් සංචාරණ සිමා පනවා ඇති බැවින් දුම්රිය ධාවනය නවතා දමා ඇති බවකි. නමුත් මීට පෙර අන්තර් පළාත් සංචරණ සිමා පැනවූ අවස්ථාවන්හිදී පළාත් අතර පමණක් දුම්රිය ධාවනය වන්නත් ඉකුත් දිනවල කිසිදු දුම්රියක් ධාවනය නොවන්නටත් හේතුව ඉහත කාරණා සමග සසැදීමේදි පැහැදිලිවනු ඇත.
කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිර ගිය 2020 වසර පුරාම ලෝකයේ තෙල් නිෂ්පාදනයට සාපෙක්ෂව භාවිතය අවමවීම නිසා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහළ ගියේය. බොරතෙල් බැරලයක් ඩොලර් 30 දක්වා පහත වැටණේ කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි ය. එම කාලයේ බොහෝ රටවල් තෙල් මිලදී ගෙන ගබඩා කර ගත්ත ද අප එවැනි මට්ටමකට පැමිණියේ නැත. නමුත් ඉන්ධන මිල අඩු කළේ ද නැත. ඒ වෙනුවෙන් කියන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපූරු කතාවක් ද තිබිණි.
එනම් ඉන්ධන මිලෙහි වාසිය පරිප්පු හා සැමන් මිල අඩු කිරීමෙන් ලබා දෙන බවය. ආණ්ඩුව එසේ කීමේ වාසිය උකහා ගත්තේ ඉන්දියානු තෙල් සමාගමය. ආණ්ඩුව තෙල් මිල අඩු නොකිරීම නිසා ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන මිල අඩු කළේ නැත.
ඔවුන් අධික ලාබ ලබද්දී තෙල් සංස්ථාව තවදුරටත් තමන්ගේ ලාබය මහාභාණ්ඩාගාරයට පුජාකරමින් සිටියේය.දැන් ඉන්දියානු තෙල් සමාගම මිල වැඩි කිරීම මෙම මට්ටමින් පවත්වාගෙන යන්නේ ඒම සැමන් පරිප්පු වාසිය අත්විඳි ජනතාවට සහනයක් සැලසීමට විය නොහැක.
ඉන් නොනැවතුණු ඔවුන් මෙම වසරේ මැද භාගයේදීයළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමූවේ ඉහළ සංඛ්‍යාවන් ගෙනි. නැවත වටයක් ඉන්ධන මිල වැඩි කිරීමට ඔවුන් ඉල්ලා සිටින්නේ ඉහළ අගයන්ගෙනි.
පෙට්‍රල් මිල 30% න් හා ඩිසල් මිල 20% කින් ඉහළ දැමීමට ඉල්ලා ඇත. එසේම භූමිතෙල් මිල ද නැවතත් රුපියල් 15 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ද සංස්ථාව සදහන් කරයි. ඉන්ධන මිල වැඩිකිරීමට අවසර දිය යුත්තේ මුදල් අමාත්‍යාංශය විසිනි. ඉන්ධන මිල වැඩිවීම දැනට නවතාගෙන සිටින්නේ ද මුදල් අමාත්‍යාංශය විසිනි. නමුත් ඉන්දියානු තෙල් සමාගමට එවැනි තත්ත්වයක් බලපාන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය අවස්ථාවේ මිල ඉහළ දැමීමටත් පහළ දැමීමටත් බලය තිබේ.
ඉන්දියානු තෙල් සමාගම මෙවර රුපියල් 5 කින් මිල ඉහළ දැමුවේ ඉකුත් වසරේ ලද අධික ලාභය නිසා ය. කෙසේ වෙතත් තෙල් සංස්ථාවට ඉදිරියේදි මිල ඉහළදැමීමට සිදුවීම අනිවාර්යය කාරණයකි. එය වැලැක්විය හැක්කේ ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල පහළ ගියහොත් පමණකි. මේ අතර ඉන්ධන මෙරටට ආනයනය කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශය ඉන්දියාවෙන් හා ඕමානයෙන් ණය මුදලක් ඉල්ලා තිබේ. එය ලද විගස ඉන්ධන ආනයනය කරනු ඇත.
එය ලැබීම ප්‍රමාදවීම ඉන්ධන හිගයකට හේතුවිය හැකි බව සංස්ථාවේ වෘත්තීය සමිති පවසයි. තෙල් හිඟයක අනියත බිය හේතුවෙන් ඉකුත් දා දැඩි තෙල් පෝලිම් දක්නට ලැබුණි. වාහන හිමියන් ඉන්ධන ප්‍රමාණය ඉක්මවා රැස්කර ගැනීම ද ඉක්මන් තෙල් හිඟයකට හේතුවනු ඇත. කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළයාම සෙසු සියළු භාණ්ඩයන්ගේ මිල නැවත වටයක් ඉහළයාමට හේතුවනු ඇත.
ලසන්ත වීරකුලසූරිය