ජනතාවාදී පුවත් පත් කලාවේදී “සුනිල් අයියා”සදහටම සමුගනියි

ශ්‍රී ලාංකේය පුවත් පත් කලාව තුළ “ජනතාවාදී”යන සන්නාමය ස්ථාපිත කරවීමේ පුරෝගාමියකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ(23) සවස අභාවප්‍රාප්ත විය.සිය පියාණන් වූ කොළඹ යුගයේ විශිෂ්ඨතම කවියකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන මීමන ප්‍රේමතිලකයන්ගේ මඟ අනුව යමින් 1960 මැද භාගයේ ලේකහවුස් ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ඇරඹූ සුනිල් දයාසේන ගුණසිංහ සහ එඩ්මන් රණසිංහ යන ප්‍රවීනයන් විසින් 1981 වසරේ දිවයින පුවත් පත අරම්භ කිරීමත් සමග එක් වී මෙරට සාම්ප්‍රදායික පුවත්පත් කලාව විප්ලවීය වෙනසකට ලක් කිරීමට සමත් විය.ඔහු විසින් සංස්කරණය කරන ලදුව දිවයින පුවත්පතට එක් කළ “08වෙනි පිටුව” අදටත් මෙරට පුවත් පත් කලාවේ විප්ලවීය සන්ධිස්ථානයක් සේ සළකනු ලැබේ.එම පිටුව මඟින් එම පුවත් පතේ ප්‍රකාශන සමාගම පවා විවේච්නය වූ අතර ඒ සම්බන්ධයෙන් කියා සිටියේ තමන් මෙම සංවාදය පවත්වා ගෙන යන්නේ සහෘද පාඨකයන් සමඟ මිස තමන් රැකියාව කරන “කොම්පැනිය”සමඟ නොවන බව ය.දිවයින පුවත්පතෙන් පසු ලක්මිණ, ලක්දිව සහ හිරු පුවත්පත්වල ප්‍රධාන කර්තෘ වශයෙන් තවදුරටත් ඔහුගේ රැඩිකල් මාධ්‍ය භාවිතය ඉදිරියට ගෙන ගිය සුනිල් ඊළඟ පරපුරේ මාධ්‍යවේදීන් විසින්”සුනිල් අයියා”යන ආදරණීය නමින් හැඳින්වෙන ලදී.හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු කෘතීන් කිහිපයක් සිංහලයට පරිවර්තනය කර තිබේ.ඊට අමතරව ඔහු විසින් ලියන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත ප්‍රබුද්ධ සමාජය විසින් මහත් හරසරින් පිළිගන්න ලද්දකි. සුනිල් මාධවගේ රැඩිකල්වාදී චරිතය කේන්ද්‍රගත කර ගනිමින් දයාසේන ගුණසිංහයන් විසින් “අවියක් නැති සෙනෙවියා” යන නමින් කෙටි කතාවක් ද නිර්මාණය කර තිබේ.මිය යන විට හැත්තෑ අට වියැති සුනිල් විවාහක එක් දරු පියෙකි.ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්