ජනතාව යළි කලු කුරුල්ලාගේ අඳුරු පියාපත් යට පොදි ගැසේද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම නැවත වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධය පළ කරන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ කණ්ඩායමක් විසින් එම විරෝධය එල්ල කිරීමට පටන් ගත්තේ ඉකුත් සතියේ සිට ය.ඉකුත් සෙනසුරාදා හා සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේදී හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මෙම විරෝධතාවය එල්ල විය. සෙනසුරාදා පැවැති පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එහි කණ්ඩායමක් ජනපති වරයාගෙන් ඉල්ලා සිටියේ පොහොට්ටුවේ අගමැතිවරයෙකු පත් කරන ලෙසට ය.පොහොට්ටුවේ අගමැතිවරයෙකු පත් කිරීමට ඉල්ලීමක් කරන බව බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන අවස්ථාවේදී ද කියා සිටියේය. මන්ත්‍රීධූරයෙන් ඉවත් වුවද තමන් දේශපාලනයෙන් සමු නොගන්නා බවද ඔහු කියා සිටියේය.

පසුගිය දින කිහිපයේදි බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම පසු බැස සිටියේ ඔහු අසනීපව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා ය. නමුත් දැන් ඔහු සුවය ලබා නිවසට පැමිණ සිටියි. එම නිසා නැවත වරක් ඔහුගේ කණ්ඩායම පක්ෂය තුළ බලවත්ව සිටියි. පළමු පියවර ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විරසකයක් නිර්මාණය කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.එයට මූලික පදනම දමා ඇත්තේ මහ බැංකු අධිපතිවරයා හරහා ය. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමේ සාකච්ඡා ආරම්භ වූ අතර ඊට එරෙහිව බැසිල් පාර්ශවය ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගත්තේය.

එසේම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ දී පවා ප්‍රකාශ කරනු ලැබූවේ මහ බැංකු අධිපතිවරයා තවදුරටත් තබාගත යුතු බව ය. ආචාර්ය නන්දලාල් වීරසිංහට මහ බැංකු අධිපති ධූරයේ පත්වීම ජනාධිපති දී තිබෙන්නේ මාස දෙකක කාලයකට ය. එය මෙම මස 30 දායින් අවසන්වේ. ඒ් මන්ද ඔහු ජනාධිපතිවරයාගෙන් පත්වීම ඉල්ලා ඇත්තේ ද මාස දෙකක කාලයකට වීම නිසා ය.

සාමාන්‍යයෙන් මහබැංකු අධිපති වරයෙකු අවම වශයෙන් මාස හයක කාලයක් වෙනුවෙන් පත් කරනු ලබයි. ඊට වඩා වැඩි කාලයකට වුවද පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතු ය. එහෙත් මාස දෙකක් සඳහා පත්වීම් ලිපිය ලබාගෙන දැන් මාස දෙකක කාලයක් මදියි කියන්නේ ද මහබැංකු අධිපතිවරයාම ය. ජනාධිපතිවරයා තවම මහ බැංකු අධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කර නොමැත.සෙනසුරාදා පැවැති පොහොට්ටු පක්ෂ රැස්වීමේදි මන්ත්‍රී කණ්ඩායම පොහොට්ටුවේ අගමැතිවරයෙකු පත් කළ යුතු බවට පිරිසක් ඉල්ලද්දී ජනාධිපතිවරයා අඟවා ඇත්තේ ද පොහොට්ටු අගමැතිවරයෙකු පත් කිරීමේ අදහසක් තමන් තුළ ද තිබෙන බව ය.

ලබන මාර්තු මාසය වන විට පොහොට්ටුවේ අගමැතිවරයෙකු පත් කරගත හැකි බව ඔහු කියූ බවට දේශපාලන ඕපාදුප වලින් කියැවිණි. එනම් ලබන වසරේ මාර්තු දක්වා අගමැති රනිල් සිටිනු ඇතැයි සමහරුන් කියන්නට වූයේ ඒ් අනුව ය. බැසිල් එම රැස්වීමට නොපැමිණිය ද ඔහුගේ “බළල් අත්” තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඔහුගේ අවශ්‍යතාවය නැවත රටේ පාලනය අවුල් කිරීම බව ද මෙයින් පැහැදිලිවේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව ය. ඔහු දින 52 අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් වූ ලෙසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පත්වූ අයෙක් නොවේ. ඔහු අගමැතිධූරයට පත් වන විට අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක් නොමැතිව දින හතරක් ගතව තිබුණි. එමෙන්ම ඔහුගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ද මේ වන විට ආරම්භ වී තිබේ.ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා චීනය මේ වන විට ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. නමුත් ඔවුන් සියළු දෙනාම සහාය දෙන්නේ අයි.එම්.එෆ් සාකච්ඡාවල ප්‍රගතිය අනුව ය.එය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා වලියක් මිස ඒ රටවල් රනිල් වික්‍රමසිංහට දෙන පෞද්ගලික “අතමාරුවක්” නොවේ. ඒ සාකච්ඡාව සාර්ථක වීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් පැවැතිය යුතුය. නමුත් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වන කාරණාවන්ම ය.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වී කරන වෙනස් කම් පිළිබඳව ප්‍රබල හඬක් නඟන සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න තමන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ධුරය අහිමි කළ “කලු කුරුල්ලා” සතු කරගෙන හිඳින නොනිල පාර්ලිමේන්තු බලයක් ගැන ප්‍රකාශ කළාය.මේ වන විට ඒ කලු කුරුල්ලාගේ බලය තවත් ඉහළ නැඟී අතර ඊට විපක්ෂයේ කණ්ඩායම්වල සහායත් නිතැතින් හිමිව ඇති සෙයක් පසුගිය සතිය පුරා සිදුවු දේ වලින් මොනවට පැහැදිලිවේ. දේශපාලන අස්ථාවරත්වය ඇති කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා බිද වැටුණහොත් ඒහි පලවිපාක විදින්නට සිදුවන්නේ කලු කුරුල්ලාට හෝ ඔහුට සහාය දක්වන විපක්ෂ කණ්ඩායම්වල නායකයන්ට නොවේ. අහිංසක දුප්පත් ජනතාවටය.

මිනිසුන් සාගින්නෙන් පෙළෙන්නේත්, පෝලිම්වල දුක් විඳින්නේත් කලු කුරුල්ලා හා ඔහුගේ කණ්ඩායම ආර්ථිකයට එල්ල කළ ව්‍යසනය නිසාය. ඒහෙත් බැණුම් අසන්නේ අර්බුදය විසදන්නට පැමිණි අගමැතිවරයා ය. ඒ බොරදියේ බාලු බාන්නට සිටි විපක්ෂ කණ්ඩායම්වල සිහින රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරයෙන් බොඳව ගිය නිසාය.රනිල් වික්‍රමසිංහ සතුව ඇලඩින්ගේ පුදුම පහන ඇතැයි කීමට හෝ ඔහුගේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රමෝපායන් සියයට සියයක්ම සාර්ථක වන බවට අනාවැකි කීමට අපට නොපුලුවන.

එහෙත්,ඔහු තමන්ට එය කළ හැකි බව පවසන කාල වකවානු අනුව එදෙස විමසුම් සහගත වීමට අපට පුළුවන.ඉන් පසු ඔහුට හිමි කළ සමා කාලය නිමා වන බව අමුතුවෙන් කිව යුතු නැත.නමුත් ජනතාවට ඇති අසීමිත ආදරය බව පෙන්නුවත් විපක්ෂ කණ්ඩායම් උත්සාහ කරන්නේ බලය ලබා ගැනීමටය. වර්තමානයේ ඔවුන්ගේ හැසිරීම දෙස බලන විට ඔවුන් ආණ්ඩු බලය ගත් පසු නූතන ආර්ථික අර්බුදය විසඳීම පිණිස වන කෙටි කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග ඒ කිසිවකුත් හෙළි කොට නැත.ඒ අතර කලු කුරුල්ලා තම කණ්ඩායම ද සමඟ රට තව දුරටත් කඩා බිඳ දමා බලය සියතට ගැනීමට වෙර දරනුයේ රටට ජනතාවට ඇති ආදරය නිසා විය නොහැකිය.එනිසාම ජනතාව ඒ කලු කුරුල්ලාගේ අඳුරු පියාපත් යට පොදි ගැසෙන්නට මෙරට ජනතාව පෙර මෙන් කැමති නොවනු ඒකාන්තය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර