ජනතා විරෝධය හමුවේ දකුණු කොරියානු ජනාධිපතිට ගෙදර යන්න වෙයි ද?

මේ වනවිට දකුණු කොරියානු දේශපාලන ක්‍ෂේත්‍රය සුළි කුණාටුවකට හසු වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට රට තුළ වූයේ දැඩි ව්‍යාකූල සහ කැළඹුණු තත්වයකි.

මෙම තත්ත්වය ඇති වූයේ එරට ජනාධිපතිවරයා වන යූන් සුක් යෝල් පසුගිය අඟහරුවාදා (03) රාත්‍රියේ හිටිහැටියේ ජනතාව අමතමින් රට තුළ යුද නීතිය (Martial Law) ප්‍රකාශයට පත් කිරීමත් සමග ය. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මෙම පියවර නිසා රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ ද විශාල විමතියක්, කුතුහලයක්, කම්පනයක් ඇති වූ ආකාරයක් දැකිය හැකි විය.

රටක් තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කළ විට ඇති වන්නේ හමුදා පාලනයකට ආසන්න තත්වයකි. ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් , පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය, මාධ්‍ය නිදහස ආදියට මෙයින් දැඩි බලපෑමක් ඇති වේ. එය එක්තරා ආකාරයක ඒකාධිපති තත්වයක් ලෙස ද හැඳින්විය හැකිය.

දකුණු කොරියාව තුළ මෙයට පෙර යුද නීතිය පනවා තිබුණේ 1972 වසරේ යි. එනම් වසර 50 කට පමණ පෙර ය. එවර එම නීතිය පැනවුණේ ඒ වනවිට එරට පාලකයා වූ පාක් චුන්-හී ඝාතනය කිරීමත් සමග යි.

යුන් සුක් යෝල්

ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය අඟහරුවාදා හදිසියේ යුද නීතිය පනවමින් ප්‍රකාශ කළේ යාබද උතුරු කොරියාවෙන් සහ රට තුළ සිටින රාජ්‍ය විරෝධී පාර්ශ්වවලින් රටේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී ඇති නිසා මෙම පියවර ගන්නා බව යි. මෙහි දී ඔහු රාජ්‍ය විරෝධී බලවේග යනුවෙන් හැඳින්වූයේ එරට විරුද්ධ පක්‍ෂ කණ්ඩායම් බවක් පෙනිණි. මෙම රාජ්‍ය විරෝධී පාර්ශ්ව උතුරු කොරියාවට හිතවත් පාර්ශ්ව බවක් ද ඔහු සඳහන් කර තිබිණි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව යනු දිගු කාලයක සිටම පසමිතුරු පාර්ශ්ව දෙකක් බව රහසක් නොවේ. නවසිය පනස් ගණන්වල මෙම දෙරට අතර යුද්ධයක් පවා ඇති විය. මේ වනවිටත් මෙම දෙරට අතර පවතින්නේ දැඩි ආතතිමය තත්වයකි. දකුණු කොරියානු ජනාධිපතිවරයා යුද නීතිය පනවමින් උතුරු කොරියානු තර්ජනයක් ගැන ප්‍රකාශ කරන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

නමුත් ඔහුගේ මේ ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බවට බොහෝ දෙනා අදහස් දක්වා තිබිණි. ඔවුන් පවසන්නේ යූන් සුක් යෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කළේ බාහිර තර්ජනයක් නිසා නොව ඔහුට එරෙහිව රට තුළින් නැග එමින් ඇති අප්‍රසාදය, විරෝධය මැඩ පැවැත්වීම සඳහා බවයි .

විරෝධතාකරුවෝ

පසුගිය කාලයේ රට තුළ පවත්වා තිබූ ජනමත සමීක්‍ෂණවලට අනුව ඔහුගේ වැඩපිලිවෙල අනුමත කරන්නේ රටේ ජනතාවගෙන් සියයට 17 ක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණි. යුන් සුක් යෝල් ගේ බිරිඳට එරෙහිව ද පසුගිය කාලයේ දූෂණ චෝදනා ආදිය එල්ල වී තිබූ අතර විරුද්ධ පක්‍ෂ ඒ පසුපස ද එළවමින් සිටියි.

මේ අතර මෙයට මාස කිහිපයකට පෙර පැවැති එරට මහා මැතිවරණයෙන් විරුද්ධ පක්‍ෂ විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. මේ නිසා ද ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩු පක්‍ෂයේ බලයට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 300 න් 192 ක්ම හිමි කර ගැනීමට විරුද්ධ පක්‍ෂවලට හැකි විය. ජනාධිපතිවරයාගේ ‘ජනතා බලය’ පක්‍ෂයට හිමි වූයේ ආසන 108 ක් පමණි.

පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්‍ෂ බලවත් වීමත් සමග ජනාධිපති සුක් යෝල්ට ඔහුගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම අපහසු වී ඇත.

මෙම පසුබිම තුළ ඔහු පසුගිය අඟහරුවාදා යුද නීතිය ප්‍රකාශයට පත් කර ඒ තුළ රට පාලනය කිරීමට කල්පනා කළත් වැඩි වේලාවක් යුද නීතිය පවත්වාගෙන යාමට හැකි වූයේ නැත. ඔහුගේ තීරණයට එරෙහිව රටේ විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විරෝධයක් එල්ල විය. විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොව ඔහුගේම පක්‍ෂයේ අය ගෙන් පවා මේ ආකාරයෙන් විරෝධයක් පළ වූයේය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුව

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට හමුදාව සහ පොලිසිය යොදවා දැඩි රැකවල් දමා තිබුණ ද රටේ ජනතාව ද දේශපාලනඥයෝ ද පාර්ලිමේන්තුව අසළ රැස් ව විරෝධතා දක්වන්නට පටන් ගත්හ. විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරු ආරක්‍ෂක වැටවල් බිඳ දමමින් පාර්ලිමේන්තුවට ඇතුල් වූහ. එහි දී ඔවුහු ජනාධිපතිවරයා යුද නීතිය පැනවීමට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත්හ. ඒ පසුගිය බදාදා යි.

මේ අතර යුන් සුක් යෝල් ගේ පක්‍ෂය තුළින් ද විරෝධයක් මතු වූ අතර ඇතැමුන් පවසා සිටියේ ඔහු ධුරයෙන් සහ පක්‍ෂයෙන් ඉවත් විය යුතු බව යි.

මේ ආකාරයෙන් ඔහුට එරෙහිව හැම පැත්තකින්ම විරෝධතා නැග එද්දී ජනාධිපතිවරයා යුද නීතිය හකුලා ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව ඔහුගේ යුද නීති ප්‍රකාශය වලංගු වූයේ පැය කිහිපයකට පමණි. බදාදා දිනයේ එය ඉවත් කර ගනු ලැබිණි.

කෙසේ නමුත් මෙම සිද්ධිය නිසා ජනාධිපතිවරයා වෙත එල්ල වූ අප්‍රසාදය සහ විරෝධය තවමත් පහව ගොස් නැත. විරුද්ධ පක්‍ෂ ඔහු ධුරයෙන් පහ කිරීම අරමුණු කරගෙන දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ පිලිබඳ ඡන්ද විමසීම සෙනසුරාදා (07) පස්වරුවේ පැවැත්විණි. මෙම ඡන්ද විමසීම පිලිබඳ කටයුතු පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙද්දී දස දහස් ගණන් ජනයා ඒ අසළ රැස්වී විරෝධතා දක්වමින් සිටිනු දැකගත හැකි විය. ඔවුන් එකහඬින් පවසා සිටියේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ යුතු බවයි.

විරෝධතාකරුවෝ

කෙසේ හෝ වේවා, මේ තරම් විරෝධයක් රට තුළින් එල්ල වුවත් දෝෂාභියෝගයට ජයගත හැකි වූයේ නැත. දෝෂාභියෝගයක් සම්මත වීමට නම් ඊට පක්‍ෂව තුනෙන් දෙකක බහුතරයක් හිමි විය යුතු වේ. එනම් මන්ත්‍රීවරුන් 200 කගේවත් ඡන්දය හිමි විය යුතුය. පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන් සිටින්නේ 192 ක් පමණි. විරුද්ධ පක්‍ෂ මෙන්ම ජනතාව ද බලාපොරොත්තු වූයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද දෝෂාභියෝගයට පක්‍ෂව ඡන්දය දෙනු ඇති බව යි. නමුත් ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු හැර සෙසු අය පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගියහ. මේ නිසා එම අවස්ථාවේ එහි ඉතිරිව සිටියේ මන්ත්‍රීවරුන් 195 ක් පමණි. මේ නිසා ඡන්ද විමසීමක් පැවැත්වීමෙහි තේරුමක් තිබුණේ නැත.

කෙසේ වෙතත්, විරුද්ධ පක්‍ෂ එයින් අධෛර්යමත් වී ඇති බවක් නොපෙනේ. ඔවුන් තවත් දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවක් සඳහන් වේ. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ලබන සතියේ ඒ පිලිබඳ නැවතත් ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බව යි. මෙම කාලය තුළ යුන් සුක් යෝල්ට එරෙහි ජනතා විරෝධය වඩාත් උත්සන්න වුවහොත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් දෝෂාභියෝගයට පක්‍ෂව ඡන්දය දීමට ඉඩ ඇති බව දේශපාලන නිරීක්‍ෂකයන් පවසා තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර