බහු භූතයන් සහ ජෝකර්ලා නොමැති අලුත් ආණ්ඩුවක් රටට දැන් ඕනෑ කර තිබේ. රටේ මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙන යුගයකි මේ. කිලෝ මීටර් ගණන් දුරට පැට්‍රල් පෝලිම් ය. අහස උසට බඩු මිල නඟී. හාල් කිලෝවක්, පරිප්පු ටිකක් ඇතුලු තුනපහ ගන්න රට්ටු අතේ මුදල් නැත. ඔවුන් එදි`නෙදා කරමින් සිටි රස්සා අහෝසි වී ගොස් දැන් මාස දෙකකටත් වැඩි ය. ආණ්ඩුවේ රස්සා කොට ගත්ත පඩියන් අතට එන්නේ සුළු මුදලක් බවට බොහෝ දෙනා මැසිවිලි නඟති. අතිකාල සේවා නවතා සියලු දීමනා කප්පාදු කොට තිබේ. ගත්ත සියලුම ණය වාරික මූලික වැටුපෙන් කැපී අතට ලැබෙන වැටුපෙන් මාසයක් තබා සතියක් ජීවත් වන්නේ ද බොහෝ අසීරුවෙන් යැයි රජයේ සේවකයන් කීප දෙනෙකු මා සමග කීවේ කෝපයෙන් ‘අම්මා..මෝ”නැතිව ආණ්ඩුවට බැණ වදිමින් ය.
එහෙමවත් සොච්චමක් රටේ දස ලක්ෂ ගණන් ජනයා අතට දැන් නොලැබේ. එදිනෙදා වේල පිරිමහ ගන්නට බයිසිකලයෙන් හෝ අත් කරත්තයෙන් මාලු විකිණූ, එළවළු විකුණූ මිනිසුන්ට මොනවද සිද්ධ වුණේ කියලා කියන්න දෙයියෝවත් දනී ද මන්දා. මේසන් බාස්ලට අත් උදව් දුන් ගෝලයෝ, පොල් කඩන්නෝ, පළා මිටි සාදා පොළට ගිහින් විකුණා සිය දරු මුණුබුරු මිණිබිරියන්ගේ බඩගින්න නිවූ මිත්තණියන් අද කොහේද? ඔවුන් ජීවත් වන්නේ කොහොමද..? යනුවෙන් හිතෙන කොටත් සිතට දැනෙන්නේ දැඩි වේදනාවක,කළකිරීමකි. දරුවෝ හත් අට දෙනා ඉන්න පවුල්වල මූලිකයා එදිනෙදා කුලියක් මළියක් කොට රැක ගත්ත පවුල අද කෙසේ එක වේලක් හෝ මිරිමසා ගන්නේ දැයි සොයා බලන්න කෙනෙක් නැත. හැබැයි පම්පෝරි ගහන ඇමැති රොත්තක් සමඟ හුළං බැස්ස ආණ්ඩුවක් නම් රටේ තිබේ.
රටේ විදුලිය කැපේ. පාසල් වසා දමා ඇත. රජයේ සේවයට වාර්තා නොකර ගෙදර රැඳෙන්න යැයි කියයි. රෝහල් සේවා සියල්ලම දැන් මෝචරිය දෙසට තල්ලු වෙමින් තිබේ. දොස්තරලා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල තෙල් පෝලිම්වල ය. රෝගීන් දස දහස් ගණන් බේත් නැතිව රෝහල් කොරිඩෝවල ය. අම්මලා දරුවෝ වඩාගෙන රෝහල් පාමුල වැළපෙති. රෝගී දරුවන්ට අත්‍යාවශ්‍ය බේත් ද්‍රව්‍ය බොහෝ හිඟ යැයි වෛද්‍යවරුන් කියති.
කෝච්චි, බස්වල වහළ මත හෝ ෆුට්බෝඩ් එකේ පොල්වලු එල්ලී ගමන් කරන මිනිසුන්ගේ හදිසි බිහිසුණු මරණ ඉදිරියේ දී වාර්තා වනු ඇතැයි කල් තබා මෙහි ලියා තබන්නේ ආණ්ඩුව ඒ දෙස බූරු රැළක් මෙන් බලා සිටින බවක් හැඟෙන බැවිනි.
මෙම අවසනාවන්ත චිත්‍රය දෙස බලන විට රට ප්‍රපාතයට පෙරලෙමින් තිබෙන බව මොළේ කළඳක් හෝ ඇති අයෙකුට වැටහෙන්නේය. එහෙත් ජනතාවගේ කරුමය මොන තරම් බරපතලදැයි කිවහොත් මෙම බිහිසුණු චිත්‍රය ගැන අබමල් රේණුවක තරමේ වැටහීමක් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට නැති බවක් පැහැදිලිව පෙනේ.
මීට දින දෙක තුනකට පමණ පෙර ජනපතිවරයා පාර්ලිමේන්තුවට ආවේය. ඔහු රටේ නායකයා යි. මිනිසුන් විඳින වදය ගැන වචනයක් හෝ එදින කතා නොකළේ රටත් ජනතාවත් මේ පත් වී සිටින බිහිසුණු හා අවදානම් තත්ත්වය ගැන මොහු කිසිවක් නොදන්නා නිසාද? නැත්නම් මොහුගේ ලේ, මස්, ඇට, නහර යකඩ, ඇලුමීණියම් හෝ පිත්තලවලින් සෑදි ඇති නිසාදැයි සැක සහිත ය. නො එසේ නම් බොහෝ කලකට පෙර වළ දමා තිබූ ඊනියා ටයිකෝට් රදළ සම්ප්‍රදායේ අවතාරයක් ප්‍රාදූර්භූත වීමක් ද? ඇයි..හතරවරං දෙයියනේ..රටට හා ජනතාවට මෙච්චර හරියක් කෙළවිලා තියෙද්දී ජනපතිවරයා ජැන්ඩි විදිහට කෝට්, කලිසම් ටයි ගහගෙන මාරම මාර සතුටකින් තමන්ට එරෙහිව නැගෙන ආඩාපාලියක් වූ “ගෝඨා ගෝ හෝම්” මහා ගෝෂාව දිහා හිනා වෙවී බලා සිටිනවා. ජනතාවගේ හෘද ස්පන්දනය පිළිබඳ අබ ඇටයක සංවේදනාවක් නොදැනෙන රනිල් කියන බහු භූත කතාවලට ජනපතිවරයා හිනා වෙනවා. සිය හිස අගමැති දෙසට හරවා ඊට ‘තල්ලුවක්’ දෙනවා. රුපියල් ලක්ෂ අනූවකටත් වැඩ දවසක වියදමන් දරන පාර්ලිමේන්තුව මහා ගිනි කන්දක් හමුවේ මැළවෙන ජනතාවක් හමුවේ හැසිරෙන්නේ මේ විදිහට නම් හෙට දවසේ රටට කුමක් වේවිද?
අගමැති රනිල් සැබවින්ම පාර්ලිමේන්තු ජෝකරයෙක්ගේ තත්ත්වයට වැටී සිටීම පිළිබඳ ඔහුට දොස් පැවරිය නොහැක. ඒ රනිල්ගේ හැටි ය. කිසි දිනෙක හෙතෙම දක්ෂ දේශපාලනඥයෙක් නොවූ බව ඔහුගේම දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි. මෙවැනි විහිළු කාරයෙක් අගමැති පුටුවට පත් කරන්නට හේතුව වන්නේ ඔහුගේ විහිළු වලින් ආණ්ඩුව නඩත්තු වීම මිස අන් දෙයක් නොවේ. “රෝමය ගිනි ගනිද්දී නිරෝ (ලා) වීණා වාදනය කළා..“ යැයි කියන්නට මීට වඩා හොඳ තවත් අවස්ථාවක් රට්ටුන්නට නැත.
රනිල් ගැන හොඳම ටික කෙලින්ම කියන්නේ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා යි. “රනිල් වහාම මුදල් ඇමැතිකමින් අස් වෙන්න..” ධම්මික කියයි. ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැති ධුරයක් මීට සති දෙකකට පමණ පෙර හිමිකර ගත් ධම්මික අගමැතිට එරෙහිව එල්ල කළ ප්‍රහාරය දැඩි ය. නමුත් කතාවක් ද තිබේ. “…..කප්පරක් කාපු එකාට ….ගඳත් ගඳක් ද?”යනු ඒ කතාවයි. රනිල් ද ධම්මිකගේ කතාව එසේ රස විඳිනු ඇත.
රටට මේ අවස්ථාවේ විදේශ විනිමය අත්‍යාවශය්‍ය යැයි ධම්මික කියයි. එය සැබෑවකි. රට හිටි ගමන් මහා ප්‍රපාතයක් දෙසට තල්ලු වී යන්නට බලපෑ මූලික කාරණාවක් වන්නේ ඩොලර් හිඟය යි. නමුත් විදේශ විනිමය සොයා ගන්නට රනිල් තුළ කිසිම ඕනෑකමක් නැති බවත් එවැනි වටිනා ව්‍යාපෘති මහා භාණ්ඩාගාරයේ ‘අත්අඩංගුවේ’ තබා ගැනීම රනිල්ගේ ‘විනෝදාංශය’ වී තිබෙන බවත් එම තත්ත්වය ඉකුත් දෙසතියේ දී තමන් අත්වින්ද බවත් ධම්මික පවසයි.
ධම්මිකගේ භූමිකාව තවම පැහැදිලි නැතැයි ඇතමුන්ගේ විග්‍රහයයි. නමුත් මගේ විග්‍රහය වන්නේ මේ අවස්ථාවේ දී කළු යක්කු, සුදු යක්කු, රතු යක්කු හෝ සායම් පෙට්ටි වැනි යක්කින්නියෝ සොයන්නට කාලයක් රටට තවත් ඉතිරි වී නැති බවයි. වැඩ කරන්න ඉදිරියට එන ඕනෑම “යකෙක්” පිළිගෙන උගේ වැඩ පිළිවෙල රටට වැඩදායක නම් රනිල් වැනි ජෝකර්ලා පන්නා දමා ඔවුන්ට වැඩ කරන්නට ඉඩකඩ ලබා දිය යුතු බවයි.
අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර සිට