ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!

ශ්‍රී ලාංකේය මෑත කාලීන දේශපාලනයේ අතිශය අස්ථාවර යුගයකට අපි දැන් පිවිස සිටිමු. සාමාන්‍යයෙන් මෙවැනි අස්ථාවර තත්වයන් හිදී පවතින ආණ්ඩු බිඳ වැටී අලුත් ආණ්ඩු බිහිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත්, මේ වන විට රට තුළ පැන නැඟී ඇති දේශපාලන අස්ථාවර භාවය කොතෙක් ද යත් එය ආණ්ඩුව බිඳ වැටීමේ සීමාව අතික්‍රමණය වූ රාජ්‍යයේ බිඳ වැටීමක් දක්වාම වර්ධනය වී තිබේ.

ඒ හේතුවෙන් වර්තමානයේ රටට සමාජයට එළැඹ ඇති දුර්දසාව කෙතෙක් බරපතල ද යත් වත්මන් රජය මගින් හිටි හැටියේ ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනම වැනි අතිශය අවිධිමත් අදූරදර්ශී තීන්දු තීරණ හමුවේ වර්තමානයේ අප රට පත්ව ඇති අතිශය අභාග්‍ය සම්පන්න තත්වය පිළිබඳව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම රසායනික පොහොර තහනම සහ ශ්‍රී ලංකාවට මූල්‍යමය ආධාර ලබා ගැනීම පිණිස නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම තමන් අතින් සිදු වූ වැරදීම් බව පසුගිය සතියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ කියා සිටියේ ය.

එහෙත්, රටට ජාතියට අතිශය අනර්ථකාරී ලෙස බලපා ඇති ඒ වැරදීම් නිසා හටගත් ව්‍යසනකාරී අලාභය වෙනුවෙන් හානි පූර්ණය කරන මඟක් තබා එසේ කරන බවක් වත් ජනාධිපතිවරයා කීවේ නැත. ඔහු කළේ ජේසුස් වහන්සේට කුරුස වධය නියම කළ පිලාත් නඩු කාරයා මෙන් තම දෑත සෝදාගෙන”මම දැන් නිදහස්”කීම පමණි. නමුදු ජනාධිපතිවරයා එසේ තමන්ට සිදු වූ එම වැරදීම් දෙක පමණක් හුවා දැක්වුව ද වර්තමානයේ ජන ජීවිතයට අතිශය අන්තරායකාරී ලෙස බලපා ඇති ඖෂධ හිඟයට ද ඔහු සෘජු ලෙස වගකිව යුතු බව අද වන විට ප්‍රකට කරුණකි. 2022 වසරේ රටට අවශ්‍ය ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සඳහා වන ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපති වරයා සමඟ සාකච්ඡාවක යෙදුණු තමන්ට ඒ සඳහා ජනපති වරයාගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණු බව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රසිද්ධියේම කීය.

ඒ අනුව අද වන විට අප රටට ප්‍රමාණවත් ඖෂධ තොග නොලැබීම මත අකල් මරණ ඇතුළු බිහිසුණු අන්තරායනට පත් වන මිනිස් ජීවිත සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නගිමින් තිබේ. මෙම ඖෂධ හිඟය ජාතියේ ප්‍රාණ නාලිය වශයෙන් අප හඳුන්වන කුඩා දරුවන් සඳහාම වෙන් වූ කොළඹ 08, රිජ්වේ ආර්යා ළමා රෝහලට පවා කෙතරම් ඛේදනීය බලපෑමක් එල්ල කොට තිබේද? යත් ඒ සම්බන්ධයෙන් රටේ මහජනතාව ඉදිරියේ තම වෘත්තීය අඳෝනාව කියා පෑමට පසුගිය සතියේ දිනයක එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයෝ රෝහල අද්දර මහ පාරට පැමිණියහ. එහි දී එම වෘත්තීය අඳෝනාව කියා පෑ එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු මාධ්‍යයට කියා සිටියේ ‘අහිංසක දරුවන් බේත් නැතුව මැරෙනවා බලා ඉන්න බැරි හින්දා දැන් අපි පිටරටවල යාළුවන් ගෙන් බේත් හිඟා කනවා’ යනුවෙනි.

එමෙන්ම ඖෂධ නොමැති වීම මත පවත්නා රෝග තත්වයන් උත්සන්න වීම සේම එය මුල් කොට සිදුවන අකල් මරණ ගණනය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වීම මත ඒවා වර්තමානයේ සිදුවන නිහඬ ඛේදවාචක නම් “සාමාජමය ලිපි ගොනුව” තුළ සැඟව යයි.

වත්මන් රජය ක්‍රියාත්මක කළ අතිශය අසාර්ථක රසායනික පොහොර තහනම් වැඩ සටහනේ න්‍යායාචාර්ය වරයා ලෙස පෙනී සිටිමින් මෙරට කෘෂි විද්‍යාඥයන් කෘෂි විද්‍යාව නොදනා බව කීමට තරම් නිර්ලජ්ජී මනැසක් හිමි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හෝ උන්මත්තක පෙදරේරුවකු තැනූ පැණියකින් කොවිඩ් සුව කළ හැකි බව කියා සිටි ඖෂධවේද මහාචාර්ය “රැකියාවක” යෙදී සිටි වත්මන් සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන රාවණා වෙදකම පදනම් කරගත් හෙළ ඔසු වලින් මෙම මාරාන්තික ඖෂධ හිඟය පියවා ගත හැකි බවක් වත් කියා නැත.

මේ සියලු තත්වයන් යටතේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව තම වැරදි හදා ගනිමින් ඉදිරියට යා යුතුය යන අදහසේ පසුවන රාජපක්ෂ බැතිමත්තු සැළකිය යුතු පිරිසක් ද අප අතර සිටිති. ඔවුන් ප්‍රකාශ කරනුයේ වත්මන් දේශපාලනයේ විපක්ෂ කණ්ඩායම් විසින් පොළඹ වන ලද ජනතාව මේ වන විට රජයට එරෙහිව වීදි බැසීම මගින් රට තුළ දේශපාලන අර්බුදයක් ගොඩනඟා ඇති බව ය. එමෙන්ම ඒ බලවේග සඳහා එල් ටී ටී ඊ සංවිධානයේත් අප රට බිලි ගැනීමට වෙර දරන විජාතික බලවේග සහය ලැබෙන බවටත් ඔව්හු උපකල්පනය කරති.

එහෙත්,මෙම බිහිසුණු අර්බුදයට ආසන්නතම හේතුව ජනතා විමුක්ති පෙරමුණ පවසන අන්දමට ඔවුන් ද වරින් වර සම්බන්ධ වී සිටි මෙරට හැත්තෑ හතර වසරක දුර්දාන්ත පාලනය නොවේ.හුදෙක් ගසා කෑම් තේමා කොට ගත් රාජපක්ෂ පවුල් පාලනය මඟින් ශ්‍රී ලංකා රාජ්‍යයේ රුහිරු අමු අමුවේ උරා බොමින් තිබීමය.සිහි මොළය ඇති ඕනෑම කෙනකුට බැලූ බැල්මට පෙනෙන මෙම තත්වය බාහිර බලවේග පිළිබඳ බේගල් ගොතන්නවුන් සහ දවල් හීන දකින රාජපක්ෂ බැතිමතුන් මේතාක් වටහා ගෙන නොතිබීම වෙනම ඛේදවාචකයකි.

තමන්ට සිදු වූ දහසකුත් එකක් වැරදීම් අතුරින් දෙකක් පමණක් පිළිගන්නා බව පවසන ජනාධිපතිවරයා එසේ කී නිකී අනේක විධ වැරදි සම්බන්ධයෙන් ජාතියට සිදු වූ බරපතල අලාභයේ හානි පූර්ණය කිරීම පසෙක තිබිය දී තව දුරටත් තම ධූරයේ රැඳී සිටීම මාරක රිය අනතුරු වලින් මිනිස් ජීවිත රැසක් අකාලයේ අහිමි කළ අදක්ෂ රියැදුරකු තමන් පදවන රථයකින් තව දුරටත් ගමන් කිරීමට තවත් මගීන්ට ඇරැයුම් කිරීමක් මෙනි. එනිසා දැන් මෙරට සියළු දේශපාලනඥයන් අප්‍රමාදවම කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින්ම රජයේ පාලන බලය අක්‍රිය කොට රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ගත හැකි ආසන්නතම විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීම පමණි.

දමයන්ති ගමගේ

 

 

එතෙර - මෙතෙර