ජනපති රනිල් ගේ කෘෂිකර්මය කෘත්‍රිම බුද්ධිය හා එක් කරන කතාව හිස් ප්‍රලාපයක් වේද?

vinivida

කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂිකර්මයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.. ඔහු මෙසේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ පළමු වරට කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් හරිතාගාර වගාවන් සිදු කරන AI Grow සමාගමට අයත් පරිශ්‍රයක නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදී ය.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සංකල්පය ලොව තුළ ඇති වී මේ වන විට දශක ගණනාවක් ගත වී තිබුණ ද එය ලොව පුරා ප්‍රායෝගිකව භාවිත කරන්නට ආරම්භ කොට එතරම් කාලයක් ගත වී නැත. සාමාන්‍ය ජනතාව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නිතර දෙවේලේ කතා කරන්නට පටන් ගෙන වසර කිහිපයකට වඩා නැත. කෙසේ නමුත් ලෝකයේ අනාගතය රඳා පවතිනු ඇත්තේ මෙය මත යැයි පැහැදිලිවම පැවසිය හැකිය.

බෝගවලට ජල සැපයුම ලබා දෙන්නේ AI තාක්ෂණයෙනි

වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන 10 කට ළඟා වනු ඇතැයි මේ වන විට පුරෝකතනය කර තිබේ. මේ පුරෝකතනයේ වැඩිම පීඩනයක් දැනෙන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ය. මන්ද මේ සියලු දෙනාගේ මූලික අවශ්‍යතාවක් වන, මේ වන විට ද ලෝකයේ බොහෝ රටවලට ගැටලුවක් බවට පත්ව තිබෙන ආහාර සුරක්ෂිතභාව පිළිබඳ කාරණය කෙළින්ම යොමු වන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වන නිසා ය. සාමාන්‍ය ගොවියාගේ සිට බහුජාතික, මහා පරිමාණ කෘෂිකාර්මික සමාගම් දක්වා වූ පවතින අභියෝගය වන්නේ අස්වනු වර්ධනය කර ගැනීමේ ක්‍රම සොයා යාම ය. කෙසේ නමුත් වගා කළ හැකි භූමි ප්‍රමාණය සීමිත වීම, ශ්‍රම හිඟය, දේශගුණ විපර්යාසයන්, පාරිසරික ගැටලු සහ හීන වෙමින් පවතින පාංශු සාරවත් භාවය වැනි ගැටලුවලට කෘෂි ක්ෂේත්‍රය මුහුණ පා සිටියි. කෘත්‍රිම බුද්ධි පෙරට පැමිණෙන්නේ මේ අවස්ථාවේ දී ය.

සාමාන්‍යයෙන් මෙතෙක් කල් මේ දත්ත විශ්ලේෂණය කරනු ලැබුවේ මිනිස් ශ්‍රමයෙන් වුව ද, කෘත්‍රිම බුද්ධිය කෘෂිකර්මාන්තය තුළට පිවිසීමත් සමග එය ස්වයංක්‍රීය තත්ත්වයකට පත්ව තිබේ. ගොවීන්ට ඉතා කෙටි කාලයක් තුළ වැඩි තොරතුරු ප්‍රමාණයක් මේ ඔස්සේ ලැබෙන අතර කෘෂිකර්මය පිළිබඳ පමණක් නොව වෙළෙඳ පොළ විශ්ලේෂණය කරමින් විවිධ කෘෂි බෝගවලට ඇති ඉල්ලුම් තත්ත්වයන්, මිල ගණන් තීරණය, අස්වනු නෙළිය යුතු හොඳම කාලය ආදිය පිළිබඳ නිවැරදි තීරණ ගත හැකිය.

කෙසේ නමුත් කෘෂිකර්මය සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍ර දෙක එකි`නෙක සම්බන්ධ කිරීම පිළිබඳ බොහෝ දෙනෙක් සිතුවේ අහස පොළොව එක් කරනවාටත් වඩා දුෂ්කර කාර්යයක් ලෙසිනි. එයට හේතුව මහා පරිමාණ කෘෂිකාර්මික සමාගම් කෙසේ වෙතත් සුළු පරිමාණ ගොවීන් බොහොමයක් තවමත් සාම්ප්‍රදායික කෘෂිකර්මය තුළම රැඳී සිටින්නට දක්වන කැමැත්ත ය. කෙසේ නමුත් අනෙක් සෑම ක්ෂේත්‍රයකටම සේම කෘෂිකර්මයට ද කෘත්‍රිම බුද්ධිය මේ වන විට අවතීර්ණ වී හමාර ය. ගමේ ගොඩේ ගොවියාට පවා මේ සත්‍යය පිළිගෙන සිය අනාගතය ඒ මත ගොඩනගා ගැනීමට සූදානම් විය යුතුව ඇත. වර්තමාන කෘෂිකර්ම ක්ෂේත්‍රය මුහුණ දෙන, ඉහත තැනක දක්වා ඇති ගැටලුවලට ප්‍රාමාණික විසඳුම් ලබා දීමට කෘත්‍රිම බුද්ධියට හැකියාව තිබේ.

එක් එක් භෝගය පිළිබඳ විශ්ලේෂණාත්මක තොරතුරු AI ඔස්සේ ලබා ගත හැකිය

වර්තමාන ලෝකය සහමුලින්ම යැපෙන්නේ දත්ත මත ය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැඳී සිටින ආයතන වගා කටයුතුවල සෑම සියුම් අංශයකම සිදු වන්නේ කුමක්දැයි අවබෝධයක් ලබා ගැනීම පිණිස දත්ත භාවිත කරයි. මේ සියලු දත්ත ඒකරාශී කර ගෙන ඒ සියල්ල විශ්ලේෂණය කොට පවතින සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි නම් පවතින සියලු ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබා දී ඉහළ පලදාවක් ලබා ගත හැකි කෘෂිකර්මයක් කරා ළඟා විය හැකිය. සාමාන්‍යයෙන් මෙතෙක් කල් මේ දත්ත විශ්ලේෂණය කරනු ලැබුවේ මිනිස් ශ්‍රමයෙන් වුව ද, කෘත්‍රිම බුද්ධිය කෘෂිකර්මාන්තය තුළට පිවිසීමත් සමග එය ස්වයංක්‍රීය තත්ත්වයකට පත්ව තිබේ. ගොවීන්ට ඉතා කෙටි කාලයක් තුළ වැඩි තොරතුරු ප්‍රමාණයක් මේ ඔස්සේ ලැබෙන අතර කෘෂිකර්මය පිළිබඳ පමණක් නොව වෙළෙඳ පොළ විශ්ලේෂණය කරමින් විවිධ කෘෂි බෝගවලට ඇති ඉල්ලුම් තත්ත්වයන්, මිල ගණන් තීරණය, අස්වනු නෙළිය යුතු හොඳම කාලය ආදිය පිළිබඳ නිවැරදි තීරණ ගත හැකිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු AI Grow සමාගමේ හරිතාගාර තුළ තොරතුරු එක්රැස් කිරීම සඳහා විවිධ සංවේදක සවි කොට තිබේ. මේ සංවේදක (Sensor) මගින් පසේ තත්ත්වය, එක් එක් බෝගය සඳහා යොදා ඇති පොහොර තත්ත්වය, ජලය, ශාකවල තත්ත්වය, ඒවායේ නිරෝගී බව ආදී සියලු තොරතුරු මේ සංවේදක මගින් උකහා ගනු ලබයි. මේ සියලු දත්ත කෘත්‍රිම බුද්ධිය මගින් තත්පර කිහිපයක් තුළ විශ්ලේෂණය කොට තොරතුරු ලබා දෙයි. පලදායි කෘෂිකර්මාන්තයක් බිහි කර ගත හැකි වන්නේ මේ තොරතුරු මතය. බෝගවලට ජලය යෙදීම, පොහොර යෙදීම, ලෙඩ රෝග ආදී සියල්ල මෙහි දී එක් නිමේෂයකින් නිරීක්ෂණය වේ. මේ සියල්ල පරිගණක මෘදුකාංග ඔස්සේ මෙන්ම ස්මාර්ට් දුරකතනයක ඇති ඇප් එකකින් වුව ද නිරීක්ෂණය කොට පාලනය කළ හැකිය. ඩ්‍රෝන තාක්ෂණය ද කෘත්‍රිම බුද්ධිය සමග එක් කොට වගා බිම් නිරීක්ෂණයට භාවිත කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දෙන බවට ජනාධිපතිවරයා පැවසූ කාරණය ක්‍රියාත්මක කිරීම අප වැනි රටක එතරම් ප්‍රායෝගික ද නැත. එයට හේතුවන කාරණා බොහොමයක් තිබේ. ඉන් එකක් වන්නේ අතීතයේ පටන්ම ඇසුණු මෙවැනි කාරණා හුදෙක්ම දේශපාලන ප්‍රලාපලයන් බවට පත්ව තිබීම ය. ජනාධිපතිවරයා ද දේශපාලනඥයෙකි. දේශපාලනඥයන්ගේ සියලු කතා හුදෙක් වචනවලටම පමණක් සීමා වූ ඒවා ය. ප්‍රායෝගික තලයේ සාර්ථකව ක්‍රියාත්මක වූ දේශපාලන පොරොන්දු ඇත්නම් ඒ ඉතා අතලොස්සක් පමණි. බොහෝ විට මෙසේ ලබා දෙන ප්‍රකාශන පිළිබඳ දේශපාලනඥයන්ටම වගකීමක් සහ හැඟීමක් නැත. එදා මෙදාතුර අප රටේ දේශපාලනය තුළ සිදුව ඇත්තේ එය ය.

ලෝකයේ දියුණු රටවල් කෘෂිකාර්මික කටයුතු උදෙසා දැනටමත් මේ තාක්ෂණය ඉතා සාර්ථකව යොදා ගනියි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි සාම්ප්‍රදායික කෘෂිකර්මය මත බහුතරයක් යැපෙන, එයම පමණක් විශ්වාසය තබා ඇති රටක කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීම අභියෝගාත්මක කාර්යයකි. අනෙක ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දෙන බවට ජනාධිපතිවරයා පැවසූ කාරණය ක්‍රියාත්මක කිරීම අප වැනි රටක එතරම් ප්‍රායෝගික ද නැත. එයට හේතුවන කාරණා බොහොමයක් තිබේ. ඉන් එකක් වන්නේ අතීතයේ පටන්ම ඇසුණු මෙවැනි කාරණා හුදෙක්ම දේශපාලන ප්‍රලාපලයන් බවට පත්ව තිබීම ය. ජනාධිපතිවරයා ද දේශපාලනඥයෙකි. දේශපාලනඥයන්ගේ සියලු කතා හුදෙක් වචනවලටම පමණක් සීමා වූ ඒවා ය. ප්‍රායෝගික තලයේ සාර්ථකව ක්‍රියාත්මක වූ දේශපාලන පොරොන්දු ඇත්නම් ඒ ඉතා අතලොස්සක් පමණි. බොහෝ විට මෙසේ ලබා දෙන ප්‍රකාශන පිළිබඳ දේශපාලනඥයන්ටම වගකීමක් සහ හැඟීමක් නැත. එදා මෙදාතුර අප රටේ දේශපාලනය තුළ සිදුව ඇත්තේ එය ය. එවැනි තත්ත්වයක් යටතේ කෘෂිකර්මාන්තය තුළට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දෙනවා යැයි පැවසීම හිතලුවක් පමණක් වන්නට ඇති ඉඩ බොහෝ ය. තවත් ගැටලුවක් වන්නේ බොහෝ දේශපාලනඥයන් තුළ ඇති මෙවැනි සංකල්ප ප්‍රායෝගික තලයට ගෙන ඒම සඳහා ඔවුන් තුළ උපාය මාර්ගික ක්‍රමවේදයන් නොමැති වීම ය. ඇතැම් දේශපාලනඥයන්ට අවංකවම ඇතැම් සංකල්ප ක්‍රියාවට නංවා ගත යුතු වුව ද ඒවාට අදාළ උපායමාර්ග නොමැති වීම නිසාම ක්‍රියාත්මක වන්නේ නැත. යම් හෙයකින් සංකල්ප සහ උපායමාර්ග යන කාරණා දෙකම සාක්ෂාත් කර ගත්ත ද ඒවා ප්‍රායෝගික තලයට ගෙන ඒමේ දී මුහුණ පාන්නට සිදු වන බාධාවන් මෙහිදී පැන නගින ඊළඟ ගැටලු සහගත තත්ත්වය වේ. මේ ඇතැම් බාධාවන් පැමිණෙන්නේ දේශපාලනික වශයෙනි.

AI සහ ඩ්‍රෝන තාක්ෂණය ඒකාබද්ධ කොට කෘෂි බිම් විශ්ලේෂණය කරයි

යම්කිසි සංවර්ධන වැඩකටයුත්තක් ක්‍රියාත්මක කරන්නට යාමේ දී ඒ සම්බන්ධව විවිධ අර්ථ නිරූපන ලබා දෙමින් එකී කටයුත්තට බාධා කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ පවතී. ඕනෑම යහපත් සංකල්පයක තුල සුළු වශයෙන් හෝ නරක ප්‍රතිඵල තිබිය හැකිය.. නමුත් ඇතැම් දේශපාලනඥයන් කරන්නේ යම් සංකල්පයක අඩුවෙන් ඇති වැරදි වැඩි වශයෙන් හුවා දක්වමින් ජනතාව තුළ ඒ පිළිබඳ වැරදි අදහසක් ඇති කරමින් කඩාකප්පල් කිරීම ය. එමෙන්ම දේශපාලනමය නොවන වෙනත් පාර්ශ්වයන්ගෙන් ඇති වන බාධාවන් පිළිබඳව ද මෙහිදී සඳහන් කළ යුතුය. කෘෂිකර්මාන්තය තුළට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීම නිසා යම් කිසි පාර්ශ්වයක වැඩකටයුතුවලට අවාසි සහගත තත්ත්වයක් ඇති වන්නේ නම් එවැනි පාර්ශ්වයන් වහා ඉදිරියට විත් මෙවැනි සංකල්ප ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධා කිරීම මෙයට නිදසුනකි. එමෙන්ම නිලධාරිවාදය ද යම් යම් සංකල්ප ක්‍රියාත්මක කිරීමට යාමේ දී බාධාවක් වී තිබේ. දේශපාලනමය වශයෙන් ගනු ලබන ඇතැම් ධනාත්මක ක්‍රියාමාර්ග පවා නිලධාරීන්ගේ බාධාවන් නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි තත්ත්වයක් දක්නට ලැබේ. මෙයට හොඳම නිදසුනක් වන්නේ අප රටේ පුනර්ජනනීය විදුලිය උත්පාදනය සඳහා සූර්ය බලශක්තිය යොදා ගැනීමට එරෙහිව විදුලිබල ක්ෂේත්‍රයේම උසස් නිලධාරීන් ඇති කරන බාධාවන් ය. දිවයින පුරා හැකි තාක් සූර්ය බල පද්ධති ස්ථාපනය කළ හැකි නම් ජාතික විදුලි පද්ධතියට විදුලිය උත්පාදනය සඳහා වැය කළ යුතු ජලය, ඉන්ධන හා ගල් අඟුරු සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. එවිට විදුලි අර්බුද ඇතිවීම ද අවම මට්ටමකට රැගෙන ආ හැකිය. නමුත් විදුලි අර්බුදයක් ඇතිවන අවස්ථාවන්හි දී ඇතැම් ජාවාරම්කාර නිලධාරීන්ට අයත් පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර මගින් ජාතික විදුලි පද්ධතියට විදුලිය වැඩි මිලක් යටතේ අළෙවි කිරීමේ කටයුත්තක් සෑහෙන කාලයක සිට ක්‍රියාත්මක වෙයි. මේ නිසා එවැනි නිලධාරීහු සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කිරීමට හැකි තාක් විරුද්ධව වැඩකටයුතු කරති.

කෘෂිකර්මාන්තය තුළට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දෙන්නට ගන්නට උත්සාහයේ දී මෙවැනි ගැටලු ඕනෑ තරම් ඇති විය හැකිය. මේ ගැටලු හමුවේ මෙය කඩාකප්පල් වුවහොත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ද හුදෙක් දේශපාලන ප්‍රලාපයක් ලෙස පමණක්ම සලකා ඉවත හෙළන්නට සිදු වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නිසි කළමනාකාරිත්වයක් නොමැති කෘෂිකර්මාන්තයක් සමග තවත් වසර ගණනාවක් ගමන් කරන්නට අප රටට සිදු වනු ඇත.

ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
ජනපති රනිල් වික්‍රමසිංහ AI Grow සමාගමේ හරිතාගාර නිරීක්ෂණයට ගිය අවස්ථාව
තේ දළු කැඩීම වැනි කාර්යයන් පවා AI තාක්ෂණයෙන් බලගැන්වූ රොබෝවරුන් අතින් සිදු කළ හැකිය
කෘෂිබෝග ඇසිරීමේ කාර්යයන් සිදු වන්නේ ද AI තාක්ෂණයෙනි
කෘෂිකර්මාන්තයේ දී AI තාක්ෂණය සමග ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගැනේ

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර