අමාත්‍යංශ ලේකම් වරුන් පත් කිරීම ගැන සතුටින් ලියා අත කට පිහදාගෙන නිදාගෙන ඇහැරුණා පමණි. යළිත් ඒ ලිපිය ආරම්භයක් ලෙස ගෙන තව කොටසක් එක් කරන්නට වීමට සිදුව ඇත. ලේකම් වරුන්ගේ පත් කිරීමේ සතුට පළ කළ ලිපියේ අවසානයට ලිව්වේ ඇමතිට ඕනෑ දේ කිරීම නොව ලේකම් වරයකුගේ ගේ වගකීම වනුයේ නිවැරදි දේ කිරීම කියා ය. එහෙත් “වැඩේ දුවන්න” පටන් ගෙන ඇත්තේ පරණ ක්‍රමයටම බව පෙන්වන ලකුණු පහළ වෙමින් ඇත.
සාමාන්‍යයෙන් මෙතෙක් පැවතුණු ක්‍රමවේදය වුණේ ආණ්ඩුවක් වෙනස් වූ ගමන් වෙනස් වන දෙපාර්තමේන්තු ප්‍රධානකම් කීපයක් ද හඳුනා ගෙන තිබීම ය. ඒ රේගුව, මෝටර් රථ වාහන, ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරීම් යන දෙපාර්තමේන්තු වේ.මේවා රාජ්‍ය සේවාවේ සුව පහසු සේවා ස්ථාන ලෙස වර්ග කර ඇති සීමිත කලකට පමණක් රාජ්‍ය සේවාවේ අයට රැඳී සිටිය හැකි ස්ථාන ද වෙයි. මේ දෙපාර්තමේන්තු වල ප්‍රධානත්වය දැරීම යනු අතිශය වටිනා අවස්ථාවන් වන්නේ එබැවිනි. එසේ වුවත් මේ දෙපාර්තමේන්තු අතරම මාරු වෙමින් ඔය නීතියට වංගු දමන්න පුළුවන් බලවන්තයෝ ද අතීතයේ සිටියහ. වර්තමානයේ ද සිටිති. මෙසේ ආණ්ඩුවක් වෙනස් වන විට මේ ආයතන වල පාලනය ඒ විෂය භාර අමාත්‍යවරයාට හිතවත් කෙනෙකු අත තිබිය යුතු යැයි අමාත්‍යවරු ද තමන්ට හිතවත් අමාත්‍ය වරයෙකු මේ විෂයට පත් වුවහොත් මේ දෙපාර්තමේන්තු වල ප්‍රධානත්වය තමන්ට ලැබිය යුතු යැයි නිලධාරීන් ද කල්පනා කරනවා විය හැකිය.
මේ පූර්විකාව ලිව්වේ මීට දින දෙකකට කලින් අසන්නට ලැබුණු නව ආගමන විගමන පාලක ජනරාල් වරයාගේ පත්වීම නිසා අයුතු සහගත සැලකීමට භාජනය වූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ගැන යමක් ලියන්නට ය. එසේ ලිවිය යුතු වන්නේ අපේ රාජ්‍ය සේවාවේ පත් වූ එකාට සුභ පතන්නවුන් මිස අසාධාරණයට ලක් වූ එකා ගැන ප්‍රසිද්ධියේ පෙනී සිටින්නවුන් හොයා ගැනීම අතිශය අමාරු නිසා ය. අයුක්තියට ලක් වූයේ බන්දුල හරිශ්චන්ද්‍ර අතිරේක ආගමන හා විගමන පාලක වරයා ය. මේ අභිනවයෙන් පත් වූ පාලක ජනරාල්වරයා එකී තනතුරට නුසුදුස්සෙකු යැයි කියන්න හදනවා නොවේ. රජයට ඔහුව පත් කිරීමට අවශ්‍ය නම් එය අප පිළිගත යුතු ය.
ඔහු ද නියමිත සුදුසුකම් සහිත නිලධාරියෙකි. නමුත් මේ පත් කිරීම කිරීමට පෙර රාජ්‍ය සේවාවේ ජ්‍යෙෂ්ඨතාවයන් පිළිබඳව සලකා බැලීමක් සිදු කිරීමේ අවම සදාචාරය අනුගමනය නොකිරීම නිසා සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි. දැන් අතිරේක පාලක ජෙනරාල්වරයාට වඩා වසර නවයකින් කනිෂ්ඨ නිලධාරියෙකු ඔහුගේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ ඇත. රාජ්‍ය සේවාවේ නිල ධූරාවලිය පවත්වා ගෙන යාම ගැන තඹයකට මායිම් කිරීමක් නව පාලනයෙන් ද නොකරන බවට පෙන් වූ ප්‍රථම උදාහරණය මේ පත්වීමයි.
මේ ජාතියේ පත්වීම් ආරම්භ කළේ මහින්දගේ 2005 ආණ්ඩුවෙනි. ඒ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් වැටුප් රහිත නිවාඩු ලබා සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු මැතිවරණයෙන් පසුව එහිම අධ්‍යක්ෂ ජනරාල් කිරීමෙනි. සහකාර අධ්‍යක්ෂවරයා තවම නිවාඩු ය. හැබැයි ඒ නාම රූපකායම අධ්‍යක්ෂ ජනරාල් ලෙස නව පත්වීමකට ඒ ආයතනයටම පැමිණ රාජකාරි ද කර වෙනත් ආයතනයක ද අධ්‍යක්ෂ ජනරාල් කම කර හිරේ විලංගුවේ ද වැටී පහුගිය කාලයේ අර හිරේ යන්න වූ තනතුරටම යළිදු පත්වීමක් ලැබීය.
බන්දුල හරිශ්චන්ද්‍ර යනු රාජ්‍ය සේවාවේ පුටු රත් කරමින් වරප්‍රසාද විඳිමින් එක එකා පස්සේ ගොස් ගොටු ඇල්ලූවෙක් නොවේ. ඔහු සෞන්දර්යවේදී උපාධිධාරියෙකු ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවාවට එක් වීමට පෙරත් ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙකි.
එමෙන්ම නිර්මාණ හැකියාවෙන් අනූන චිත්‍ර, මූර්ති, ගද්‍ය, පද්‍ය නිර්මාණයෙහි කෙල පැමිණි නිර්මාණ කරුවෙකි. 1991 වසරේ පරිපාලන සේවාවට ඇතුලුව එවක යුද කලාපයේ අම්පාර දිස්ත්‍රික්කයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා ලෙස අවංකව සේවය කරමින් ඉතාම අඩු පහසුකම් සහිත කටුක ජීවිතයක් ගත කරමින් සිය පවුලේ අය ද සමඟ එහි ජීවත් වූ අයෙකි. සේවාව ආරම්භයේදීම ඔහුට නිල නිවාසයක් ලබා නොදීමේ අසාධාරණයට ලක්ව හිත මිතුරන්ගේ කාමරවල නවාතැන් ගනිමින් රාජකාරිය වෙනුවෙන් කැපවූවෙකි. .එදා මාණ්ඩලික නිලධාරි නිවාසයක් අරා සිටි සුලු නිලධාරියෙකු දේශපාලන බලයත් යොදා ගෙන ඔහුට ලැබිය යුතු නිවස වලක්වා ලමින් රැඳී සිටියේය.බන්දුල මේ කැපිලි සත පහකට මායිම් කළේ නැත. ඔහු “කට්ට කාගෙන” සිට අවසානයේ නිල නිවාසයක් නිල ක්‍රමවේදයට ලබාගෙන ප්‍රිය බිරිඳ ශාන්ති ද සමඟ පදිංචියට පැමිණීමට සමත් විය.
මැතිවරණ රාජකාරි කටයුතු ඉටුකල බන්දුල සතිඅන්ත වල අම්පාරේ විවිධ ස්ථානවල සංචාරය කරමින් දැනුම පුළුල් කර ගැනීමට ද කටයුතු කළේය. ආර්. එල්. ස්පිටල් ගේ පොත් වල කියවෙන චරිත සොයමින් පොල්ලෙබැද්ද බණ්ඩාරදූව කහටගස්යාය පදියතලාව ප්‍රදේශ වලත් මායාරංජන් “දිගාමඩුල්ලේ ආශ්චර්ය” දුටු දමන පාදාගොඩ නෙල්ලි කැලේ වඩිනාගල ගම්මාන වලත් බංදුල සංචාරය කරමින් ජන ජීවිතය පැරණි සිරිත් විරිත් ජන සාහිත්‍ය අධ්‍යනය කළේය. මේ බොහෝ සංචාර වලට ඔහු සමඟ එක් වීමට මට ද හැකි විය. ස්පිටල්ගේ වණ සරණේ සඳහන් ”කොම්බී” හමුවුණේ ද මායා රංජන් සමඟ දමන සිට පාදාගොඩට කරත්තය දැක්වූ ”ගුණරත්න” කොලුවා සහ වඩිනාගල ආරච්චි හපුවා වයසක මිනිසුන්ව සිටිද්දී හමුවුණේ ද මේ සංචාර වලදී ය.
ඈත දිගාමඩුල්ලේ හද්දා පිටිසර අහිංසක ගැමියන්ට ඔහු තුළ වූයේ මහත් දයාන්විත සෙනෙහසකි. මේ කාලයේ බන්දු සාහිත්‍ය කලා කටයුතු වලට ද බොහෝ උනන්දුවක් දැක්වූවෙක් විය. පියසේන කහඳගමගේ,කුලසේන පොන්සේකා, ඇරැව්වල නන්දිමිත්‍ර, ආරියවංශ රණවීර යන සාහිත්‍යධරයන් දිගාමඩුල්ලේ සාහිත්‍ය උත්සව වලට ගෙන්වා ගෙන ඒවා සාර්ථක කරවන්න බන්දුගෙන් ලද සහාය මහ මෙරක් සේ විශාල ය. පොත පත කියවා සාකච්ඡා කරමින් නව මත ඉදිරිපත් කරමින් තර්ක විතර්ක කරමින් සාමය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන සම්මන්ත්‍රණ පවත්වමින් අම්පාරේ පෙරළිකාර නිලධාරි කීප දෙනාගේ ප්‍රමුඛයෙක් වුණේ බන්දුල ය. ඔහු සිය ජීවිත කාලය පුරාවටම එදා තිබූ අවංක භාවය අත් හළේ නැත.
අම්පාරෙන් හම්බන්තොටට මාරුවූ බන්දු එහිදී ද සෑහෙන කලක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කර ගාල්ල දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවී පැමිණ වසර පහළොවක් පමණ වූ මැතිවරණ දෙපාර්තමේන්තු සේවා කාලය නිමකර ප්‍රාදේශීය පාලනයට ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙස සම්බන්ධ විය. ගාල්ල දිස්ත්‍රික්කයේ සුනාමි පුනරුත්ථාපන කටයුතු මැනවින් ඉටුකර මහජන හිතකාමී ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස නමක් දිනාගත් ඔහු පසුව ගාල්ල අතිරේක දිසාපතිවරයා ලෙස පත් විය. එහිදී ද අතිශය සාර්ථක දක්ෂ ජනහිතකාමී නිලධාරියෙකු ලෙස ක්‍රියා කළ බන්දු ගාල්ල දිසාපති ධුරයට පත්වෙනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. ගාල්ල දිසාපති පදවිය අවස්ථා දෙකක පුරප්පාඩු වු විට වැඩබලන දිසාපති ලෙස ක්‍රියාකල ඔහුව ගාල්ල දිසාපති පදවියට පත් කරන ලෙස මහජන ඉල්ලීම් දිගින් දිගටම ඉදිරිපත් වෙද්දී ඊට හරස් වූයේ එවක රජය අනුගමනය කළ ප්‍රතිපත්තියකි.
ඒ අතිරේක දිසාපති වරයෙකු දිසාපති ධුරයට පත් කිරීමේදී ඔහු අතිරේක දිසාපති ලෙස ක්‍රියා කළ දිස්ත්‍රික්කයට පත් කරනු නොලැබේ යන ප්‍රතිපත්තියයි. (මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ බන්දුටම පමණි) ඒ ප්‍රතිපත්තියෙන් අසාධාරණයට ලක් වූ බන්දුට අවසානයේ වවුනියා දිසාපති පදවියට පත්වීමට ඉඩ ලැබුණි. වවුනියාවේ ජන වර්ග තුනක් සමඟ මනා සම්බන්ධිකරණය තබා ගනිමින් ගෞරවණීය සේවයක් කළ ඔහු එතනින් රත්නපුර දිසාපතිවරයා ලෙස පත් විය. රත්නපුර දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී හිටි අඩියේ රාජ්‍ය පරිපාලනයේ සංචිතයට ස්ථාන මාරු කළේ ඇයි දැයි කියන්න දන්නා කෙනෙක් අදටත් නැත. ඔහු සිය සුපුරුදු දරා ගැනීමේ ශක්තියෙන් මේ සියල්ල දරාගෙන සමාජ සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් පදවියකට පත්ව එහි ගොස් වැඩ ආරම්භ කළේය. එම විෂය ක්‍ෂේත්‍රයේ ද මනා අධ්‍යනයකින් කටයුතු කර ඔහුට වූ අසාධාරණය නිවැරදි කළේ වජිර අබේවර්ධන ඇමතිවරයා ය. රත්නපුර දිසාපති පදවියෙන් බන්දුව ඉවත් කිරීමට තමාට සිදු වුවත් තමා අතින් වූ බාහිර හේතු මත සිදුවුණු ඒ අසාධාරණය නිවැරදි කළයුතු යැයි නිරන්තරයෙන් ප්‍රකාශ කිරීමට නිහතමානි වූ වජිර අබේවර්ධන ඇමතිවරයා අදාල බලවේග ද කළමණාකරණය කර ඔහුව හම්බන්තොට දිසාපති පදවියට පත් කළේය.
ඉන්පසු ගෝඨාභය රජය යටතේ බුද්ධ ශාසන සංස්කෘතික අමාත්‍යංශ ලේකම් ලෙස පත්වීම් ලැබූ බන්දුට සංස්කෘතික ක්‍ෂේත්‍රය ඔහු බෙහෙවින් ප්‍රියකළ විෂය ද වීමෙන් සෑහෙන වැඩ කොටසක් සැලසුම් කර ගැනීමට හැකිවිය. කෙසේ වුවද එතනින් ඔහුව වහාම ස්ථාන මාරුකර එතනට පත් කළේ නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයෙකි. බන්දුව පත් කෙරුණේ වනජීවී හා වන සම්පත් අමාත්‍යංශ ලේකම් ලෙස ය. එම ස්ථානයේ ද දිවයින පුරා පවතින ගැටලු සොයා බලමින් ජාතික ප්‍රතිපත්තියක් සඳහා මධ්‍යස්ථව කටයුතු කරද්දී බොහෝ බලවතුන් ගෙන් ලද වැරදි ඉල්ලීම් වලට හිස නොනැමීමේ ප්‍රතිඵලය වූයේ යළි සංචිත ගත වීමට සිදුවීම ය.
මේ කිසිවකින් නොසැලුණු ඔහු යළිත් නියමිත තනතුරකට පැමිණ රාජකාරී ඇරඹුවේ ආගමන විගමන අතිරේක පාලක ජෙනරාල් ලෙස ය. එහි නිහඬව තම සේවය කරමින් සිටි ඔහුට වඩා අවුරුදු නමයකින් කණිෂ්ඨ නිලධාරියෙකු පාලක ජෙනරාල් ලෙස පත් කිරීමෙන් කර ඇත්තේ ඔහුට බලවත් අයුක්තියකි. අතිරේක පාලක ජනරාල් ලෙස බෙහෙවින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සේවය කරමින් සිටියදී පාලක ජෙනරාල් ලෙස කණිෂ්ඨයෙකු පත් කිරීම වැරදි බවට අමාත්‍යංශයේ ලේකම්ට අවබෝධයක් තිබිය යුතු ය. අවාසනාවට ඒ අමාත්‍යංශය දැන් හරි හමන් ලේකම් කෙනෙකුත් නැති ඇමති කෙනෙකුත් නැති ජනාධිපතිගේ බෑගයේ තාවකාලික ඔබා ඇති එකකි. එහි ලේකම් කම කරන්න දැනට භාර
දී ඇත්තේ මහ බැංකුවෙන් මුදල් අමාත්‍යංශයට පත්කළ ලේකම්ට ය.
උන්නැහේ වැඩියෙන් දන්නේ මුදල් ඉල්ලුම සැපයුම උද්ධමනය හා සාර්වා ආර්ථික ප්‍රතිපත්ති කළමණාකරණය වැනි විෂයන් මිස සාමාන්‍ය පරිපාලනය නොවේ. අනෙක් අතට ඔය අමාත්‍යංශය දැන් ජනාධිපති තුමා යටතේම ඇති ආරක්ෂාවට තබා ඇති අමාත්‍යංශයකි. එවිට “එච්. ඊ. කිව්වා” යැයි කියන කෙටි මන්ත්‍රය මුලට දමා අවශ්‍ය වැඩය ඊළඟට කිව්වාම පහළින් ඉන්න ඕනෑ එකෙක් සරෙන්ඩර් වන්නේ ය. පත්කර ගන්න ඕනෑ එකා පත් කරන්න පෙර ඒ පත් කිරීමෙන් අසාධාරණයට ලක් වෙන වුන්ට යම් සාධාරණයක් කර ඔවුන්ට ගැලපෙන තනතුරක් දී ඒ පත්කර ගැනීමට පුළුවන්කම තිබුණි. එසේ කළා නම් බන්දුටත් සාධාරණයක් සිදුවී අලුත පත් වූ නිලධාරියාට ද සාධාරණ ලෙස රාජකාරී කළ හැකි වනු ඇත. අනෙක් අතට ආගමන විගමන අතිරේක පාලකවරයා කැබිනට් අමාත්‍යංශ දෙකක ලේකම් ධුර දරා දිස්ත්‍රික්ක තුනක දිසාපතිකම් ද කළ ජ්‍යෙෂ්ඨයෙකු බැවින් ”අඥේ අපි දංඥෙ නෑ එයා හිටපු බවක්” කියා බොරුවට නහයෙන් අඬන්න කාටවත් බැරි ය.
එහෙත් ඒ වගේ දෙපැත්ත බලන්නේ අපි ඉගෙන ගත් සාමාන්‍ය පරිපාලනයේදී ය. මූල්‍ය පරිපාලනයේදී බලන්නේ “මොකාට කෙලවා” හෝ තමාට ඕනෑ ගනුදෙනුව කිරීමයි. ගෝඨාටත් මේ ජාතියේ ලේකම්වරු සිටියේය. ඔවුන් ගෝඨාට “කෙලෙව් තරම” කොතරම් ද යත් තායිලන්තයේදීත් එළියට පහළියට යන්නට ඔහුට බැරිය. රනිල් ජනාධිපති ඊට වඩා අන්ඩ කට්ටයෙක් යැයි අපි තවමත් සිතා සිටිමු. ඕනෑ ලේකම් කෙනෙක්ව “අඹරා ඉස්ම ගන්නට” ඔහුට ශක්තිය ඇත.හැබැයි මේ වැඩ වලින් නම් කෙරෙන්නේ හීනියට රනිල්ව ඇඹරෙන එක ය.
අවසාන වශයෙන් මේ ජාතියේ පත්වීම් ගන්නා අයටත් වචනයක් කිව යුතු ය. එක් කලෙක තැපැල් පතිවරයා ලෙස කටයුතු කළ ධර්මසේන දිසානායක නම් රජරට පැත්තේ උපන් මහත්මයෙකු ලෝක තැපැල් පතිවරුන්ගේ සමුළුවට ලන්ඩන් නුවරට ගොස් සිටියදී මේ සිරි ලංකාවේ ඇමති මණ්ඩලය ඔහුව රාජ්‍ය පරිපාලන සංචිතයට ස්ථාන මාරු කරන ලදී.
ලෝක තැපැල් සමුළුවේ ලංකාව නියෝජනය කළ තැපැල් පතිවරයා කටුනායකින් ගුවන් යානයෙන් බැස්සේ නිකම්ම නිකං “ශ්‍රී ලංප සේ” ලෙසය. ඔහු කිසි කලබලයකින් තොරව පසු දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගොස් සංචිතයේ පැමිණීම වාර්තා කළේය. ටික වෙලාවකින් ඔහුට රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ගෙන් කැඳවීමක් ලැබුණි. කීර්තිමත් දේශපාලකයෙකු වූ අමරසිරි දොඩම්ගොඩ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ය. ඔහු මුණගැසුණු පසු ඉතාමත් නිහතමානීව සිදු වූ දේ ගැන කණගාටුව පළ කළ ඇමතිවරයා තම අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් භාර ගන්නා ලෙසට දිසානායක මහතා ගෙන් ඉල්ලා සිටියේය. ඇමතිවරයාට ස්තූතිය පළ කළ දිසානායක මහතා අතිරේක ලේකම් පදවිය
භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඒ පිළිබඳ හේතු විමසූ ඇමතිවරයාට ඔහු පැවසුවේ තමාට වඩා සේවයෙන් ජ්‍යෙෂ්ඨ දෙදෙනෙක් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු ලෙස සේවය කරද්දී තමාට ඉන් ඉහළ තනතුරක් වූ අතිරේක ලේකම් තනතුර සදාචාරාත්මකව භාර ගත නොහැකි බව ය. එසේ කියූ එතුමා පසුව චිත්‍රපටි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී කමට පත්ව ගියේය.
මේ ශ්‍රේෂ්ඨ නිලධාරියා පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර පසුව රාජ්‍ය සේවා කොමිසමේ ද සභාපති ලෙස ද සේවය කර වර්තමානයේ විශ්‍රාමිකව දැහැමෙන් ජීවත් වෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයට සැබවින්ම අයිති වන්නේ අන්න ඒ ජාතියේ සදාචාරය ගරු කරන ශ්‍රේෂ්ඨයින් මිස එක එකා ගේ ඕනෑ කම් පිරිමැහීමට තනතුරු බදා ගන්නා නරුමයින් නොවන බවත් සටහන් කරමි. ඒනිසා ආණ්ඩුවේ කෙරුවාව කරනා මහතැන සිට ඉන්න ලේකම් වරුනි; තමන්ගේ නායකයාගේ සාධාරණත්වය පිළිබිඹු වෙන වැඩ මිස වෙනත් වැඩකර ඔහු අමාරුවේ දැමීම ඔබලාගේ කාර්යය නොවේ කියමින් දැනට නවතිමි. බන්දුට සාධාරණය ඉටු වේවා.
පරිපාලන සේවා සංගමයේ මුව මේ අසාධාරණයන් ඉදිරියේ විවර වේවා!!!
සුනිල් කන්නන්ගර
කොළඹ,රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති