ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපිය ඔහු පිළිගත් බව මාධ්‍ය වාර්තා කළේය. මීට සතියකට පමණ ඉහත දී පී.බී ජයසුන්දර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය පිළිගෙන තිබුණේ නැත.
එසේ වුව ද ජනාධිපතිවරයා හා අගමැති මහින්ද රාජපක්ෂ අතර ඊයේ (27) පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කළ බවට තොරතුරු වාර්තා විය.එම ලිපිය තමන්ට මුහුණ දීමට සිදු වූ රාජකාරී දුෂ්කරතාවයන් සහිත පිටු තුන හමාරක එකක් බව ද පැවසෙයි.
පී.බී ජයසුන්දර ගෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට අග්‍රමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරන ගාමිණි සෙනරත් පත් වනු ඇති බවට වාර්තා පළ වේ. එසේම අග්‍රමාත්‍ය ලේකම් ධූරයට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත්වනු ඇතැයි ද වර්තා වේ. එය එසේ වුව ද පී.බී ජයසුන්දර වසර දෙකකට අධික කාලයක් ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළේ ය.
පී.බී ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයට පත් කිරීමට පළමුව විරෝධය පළ කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ය.පසුගිය මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත්වීමත් සමඟ විමල් වීරවංශ එම්න පරාජයේ වගඋත්තර කරුවකු ලෙස පී.බී ජයසුන්දර නම් කොට ඔහු හඳුන්වන ලද්දේ “ආර්ථික ඝාතකයා” යන නමිනි. කෙමෙන් කාලය ගෙවී යද්දී අවසානයේ චමල් රාජපක්ෂ පවා පී.බී ජයසුන්දරට විරෝධය පළ කරන තත්ත්වයට පැමිණියේය.
එහිදි ඔහු ප්‍රසිද්ධියේ කියා තිබුණේ ඔහු තවදුරටත් ජනාධිපති ලේකම්ධූරයේ කටයුතු කරන්නේ නම් තමන් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වන බවකි.සාමාන්‍යයෙන් ආවේගාත්මකව අදහස් ප්‍රකාශ නොකරන චමල් රාජපක්ෂ වත්මන් ආණ්ඩුව ජනතා අප්‍රසාදය ඇති වීමට හේතුව පී.බි ජයසුන්දර බව ද කියා තිබේ.
එසේම ජනාධිපතිවරයා නොමැතිව පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීම් හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම්වල දී මැති ඇමතිවරුන් ද දැඩිව පී.බි ජයසුන්දරව විවේචනය කර තිබුණි. නමුත් කිසිදු මැති ඇමතිවරයෙකු ජනාධිපතිවරයා ඉදිරියේ එසේ කර නොමැත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද පී.බී සම්බන්ධයෙන් කළකිරීමෙන් පසුවූ බවට ද තොරතුරු වාර්තා විය. මේ සියළු චෝදනාවන්ට හේතුව වූයේ පී.බී ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ කටයුතුවලට අත පෙවීම ය. ඇමතිවරුන් ගෙනෙන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කිරීම මොහු ජනාධිපති ලේකම් ධූරයේ නතර කරන බවට ඔහුට එල්ල වූ ප්‍රබල චෝදනාව වේ.
චමල් රාජපක්ෂ ඇමතිවරයා ද වැව් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් චීන සමාගමක් සමඟ කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් ද පී.බි ජයසුන්දර මැතිදහත් වී නතර කිරීම චමල් රාජපක්ෂගේ විරෝධයට හේතුව වී තිබේ.ඒ අනුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන පී.බී ජයසුන්දර මහජන මුදල් අපතේ යාම වළක්වා ගැනීම මත රජය තුළ මෙසේ අපකීර්තියට පත් වී ද යන්න ද සිතා බැලිය යුතු ය.
පී.බී ජයසුන්දර ගේ නම මුලින්ම කියැවෙන්නට පටන් ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ සිට ය. ඒ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් පිහිට වූ පර්ක් නම් ආයතනයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කිරීමත් සමඟ ය.
එහිදී ඔහු විසින් රටේ රාජ්‍ය ආයතන විකුණා දැමීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වූයේ ය. පසුව ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහාභාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත් කරනු ලැබීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මොහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබීය.
එම කාලයේ දි අගවිනිසුරු සරත් එන් සිල්වා ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් තෙල් මිල අඩු කිරීමට අදාළව නියෝගයක් නිකුත් කළ අතර එය භාණ්ඩාගාර ලේකම් ලෙස සිටි පී.බී ජයසුන්දර එය ගණන් ගත්තේ නැත. ඒ අනුව අධිකරණය හමුවේ ගොනු කළ නඩුවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පී.බී ජයසුන්දර කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු නිලයක් දැරීමට නුසුදුසු පුද්ගලයෙකු වශයෙනි.
සරත් එන් සිල්වා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රම ගැනීමෙන් පසු පී.බී ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදි ඔහුට රාජ්‍ය සේවයේ තනතුරු දැරීමට එරෙහිව පනවා තිබූ තීන්දුව වෙනස් කරනු ලැබීය.
ජනාධිපති ලේකම්ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගත් බවට ඊයේ රාත්‍රිය වනතුරුත් නිල නිවේදනයක් නිකුත් කළේ නැත. එසේම ජනාධිපතිවරයා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (27) පෙරවරුවේ පැවැති හමුවේ දී පවා ජනාධිපතිවරයා පී.බී ජයසුන්දර ආරක්ෂා කරමින් කතා කොට තිබේ.
පී.බී ජයසුන්දර පිටින් ආණ්ඩුවේ සියළු දොස් ගියත් පී.බී ක්‍රියාත්මක කළේ තමන් ඇතුළු ඇමති මණ්ඩලය ගත් තීන්දු යැයි ද ජනාධිපතිවරයා එහි දී කියා තිබේ.ඒ අනුව චමල් රාජපක්ෂ කෝපයට තුඩු දුන් කරුණ හා ජනපති වරයා ගත් තීන්දුවක් අතර කිනම් හෝ සබැඳියාවක් තිබිය නොහැකිද?
ජනාධිපති ලේකම් ඉවත්විය යුතු බවට මුලින්ම සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයක් කළේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර ය. ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් කියා තිබුණේ පී.බී ජයසුන්දර මේ දක්වා රටට කළ සේවය ප්‍රමාණවත් බවයි. එම නිසා ඔහු වයස ගැන ද සලකා විශ්‍රාම ගත යුතු බව ද ඔහු කියා තිබුණි. මේ සියල්ලෙන් පෙනෙන එක් දෙයක් වන්නේ මෙම සිදුවීම පසුපස ව්‍යාපාර ගැටුම් ද පවතින බව ය.
ඇමතිවරුන් ද කොමිස් ලබා ගැනීම උදෙසා ගෙනෙනා ව්‍යාපෘති පී.බී නතර කර ඇත. එසේම පී.බී තමන්ට හිතවත් අයට කොමිස් ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘතිවලට ඉඩ ලබා දී ඇත.
එම ව්‍යාපාර ගැටුම දුර දිග යාමේ පියවරක් ලෙස පී.බි ජයසුන්දර ජනාධිපති ලේකම්ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.නමුත් අදටත් ජනාධිපතිවරයා පී.බි ජයසුන්දර සම්බන්ධයෙන් දරණ ආකල්පය යහපත් එකක් බැවින් ඔහු ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වුව ද රජයේ කටයුතුවලින් ඉවත් නොවනු ඇත.නො එසේ නම් ගෙදර නොයනු ඇත.
දැනට ලැබෙන දේශපාලන ආරංචි අනුව පී.බී ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් ඉහළ තනතුරක් ලැබීමට නියමිත ය. එසේම ඉදිරියටත් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙසින් කටයුතු කරනු ද ඇත.
පී.බී තවත් එක් බැසයන තරුවක් නොවනු ඇතැයි මේ සියළු කාරණාවලින් පැහැදිලිවේ.එනිසා පී බී ගේ මෙම ඉවත්වීම මුල් කොට සතුටු වන්නවුන්ට තවම ඒ සඳහා කල් වැඩි බව පවසනුයේ ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වුවද පී.බී ගෙදර යන පාටක් නොමැති බැවිනි.
ලසන්ත වීරකුලසූරිය