ජනපති සමාව දෙන්න රන්ජන් ගෙන් දිවුරුම් පෙත්සමක් ඉල්ලයි

දැනට බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධ එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත් කළ එකක් නිසා අධිකරණය අවතක්සේරු නොවන ආකාරයට ඒ මහතාට ජනාධිපති සමාව ලබා දිය යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කළ බව අධිකරණ අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.රන්ජන් රාමනායක මහතා දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම,යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකි වීම හේතුවෙන් ජනාධිපති සමාව දීම සාධාරණ යැයි රජය විශ්වාස කරන බව රාජපක්ෂ මහතා කියා සිටියි.නමුදු එම ක්‍රියාවලියේ විනිවිද භාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව එම කොන්දේසිය යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කළ බවත් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ඉන් පසුව රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය පිළිබඳව ජනාධිපතිවරයාවිසින් තීරණය කරනු ලබනු ඇතැයි ද අධිකරණ අමාත්‍ය වරයා කියයි.

කාලීන පුවත්