ජනවාරියේ සිට රජයට එරෙහි විරෝධතා රැල්ලක්

මේ වන විට ආණ්ඩුව ගෙන යන රටට සහ ජනතාවට අහිතකර අදූරදර්ශී ක්‍රියා මාර්ග වලට විරෝධය පාමින් ලබන ජනවාරි මාසයේ සිට දීප ව්‍යාප්ත විරෝධතා මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් මේ දිනවල බිම් මට්ටමේ සාකච්ඡාවන් අරඹා තිබේ.ලෝක වෙළඳ පලේ ඉන්ධන මිල අඩු වෙමින් පැවතිය දී දේශීය වශයෙන් මිල ඉහළ දැමීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම, අධික ජීවන බරක් ජනතාව මත පැටවීම යන කරුණු මූලික කර ගනිමින් මේ වන විටත් දියත් වන විරෝධතා ව්‍යාපාරයන් පුළුල් කරමින් ලබන වසරේ සිට සංවිධානාත්මක ව්‍යුහයක් තුළ දීප ව්‍යාප්ත විරෝධතා මාලාවක් දියත් කළ යුතු බවට උස්වැටකෙයියාවේ හෝටලයක පැවැති සාකච්ඡාවක දී තීරණය වී තිබේ.අතුරු වෛද්‍ය, පාරිභෝගික සේවා, පාරිභෝගික නිෂ්පාදන හා ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඇතුළු තවත් අංශ කිහිපයක නියෝජිතයන් රැසක් ඊට සහභාගි වී ඇති බව පැවසේ.පක්ෂ දේශපාලනයකින් තොරව වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයට සිය ස්ථාවරයන් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කර තිබේ.
මේ අතර සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් යන මහතුන් ප්‍රකාශ කොට සිටියේ ද වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක් තැනකට ඒකරාශී කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට අදාළ සාකච්ඡාවන් පවත්වමින් සිටින බවයි

කාලීන පුවත්