ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛශී පාලනයක් ඇති කරමින් සියලු දෙනා එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථවත් කිරීමේ අවස්ථාව දැන් අප සැමට හිමිව ඇති බවයි.

අත්හල නොහැකි එම භාරදූර වගකීම අප සියලු දෙනාගේ දෙවුර මත පැටවී ඇති බව ද ජනාධිපතිවරයා සිහිපත් කර සිටි.

ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම, රටේ ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනා ගෙන ඇති බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.

සමාජය වඩාත් දියුණු තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නව වසරේ උදාවත් සමග ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම තුළ බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

 

කාලීන පුවත්