ජනාධිපති, අගමැතිවරුන්ගේ මානසික පීඩනය සහ නවසීලන්ත අගමැතිනියගේ ඉල්ලා අස්වීම

ලෝකයේ ජනප්‍රියම නායිකාවක වූ නවසීලන්ත අගමැතිනි ජසින්දා ආඩර්න්ගේ හදිසි ඉල්ලා අස්වීමත් සමග බොහෝ දේවල් කතාබහට ලක් වෙමින් තිබේ. මෙය මේ කාලයේ දේශපාලන නායකයන් මුහුණ දෙන දැවැන්ත මානසික පීඩනය සහ වෙහෙස පිළිබඳව ද කියාපාන සිදුවීමක් බව බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙමින් සිටිති. තම ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ආඩර්න් කළ කතාවෙන් පෙනී ගියේ මෑත ඉතිහාසයේ ඉතාම අභියෝගාත්මක කාලයක නවසීලන්තය පාලනය කරන්නට සිදු වීමෙන් ඇය දැඩි වෙහෙසට, පීඩනයට පත්ව ඇති බවකි. කොවිඩ් වසංගතය, ඒ නිසා ඇති වූ ආර්ථික අර්බුදය, 2019 වසරේ මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය, වයිට් අයිලන්ඩ් දූපතේ ගිනි කඳු පිපිරීම වැනි අර්බුදකාරී අවස්ථා රැසක් කළමනාකරණය කිරීමට ඇයට සිදු විය. ඒ සියල්ල කිරීමට සිදු වූයේ ඉතා කුඩා දියණියක ගේ මවක ලෙස පවුලේ වගකීම් ද ඉටු කරමින් ය.

‘සාමකාමී කාලයක රටක නායකත්වය දැරීම සහ මෙවැනි අභියෝගාත්මක කාලයක නායකත්වය දැරීම යනු හාත්පසින්ම වෙනස් කාරණා දෙකක්’ යයි ද ආඩර්න් එහිදී පැවසුවාය. ‘දේශපාලනඥයන් කියන්නෙත් මනුෂ්‍යයන් කොටසක්. අපි අපිට හැකි උපරිම ශක්තිය වැය කරමින් කටයුතු කරනවා. හැකි තරම් කාලයක් ඒ ආකාරයෙන් වැඩ කරනවා. නමුත් තව දුරටත් එහෙම කරන්න බැරි අවස්ථාවකුත් එනවා’ ඇය තවදුරටත් සඳහන් කළාය. ඒ සමගම ඇය පැවසුවේ තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය ශක්තිය තමා තුළ ඉතිරිව නැති බවයි.

අගමැති ධුරයෙන් සමු ගැනීමෙන් පසු තමා පවුලේ අය, එනම් දියණිය සහ සහකරු සමග වැඩි කාලයක් ගත කිරීමට අදහස් කරන බව ද ඇය පවසා තිබුණාය. ඇයගේ සහකරු වන ක්ලාක් ගේෆර්ඩ් සමග ඇය වසර ගණනක් එකට ජීවත් වුවත් ඔවුන් තවම නීතියෙන් විවාහ වී නැත. තමා ඉදිරියේ දී ඔහු සමග විවාහ දිවියට ඇතුළත් වීමට සිතාගෙන සිටින බවක් ද ආඩර්න් පවසයි. මේ වනවිට 4 වැනි වියේ පසුවන ඇගේ දියණිය ද පාසල් ගමන ආරම්භ කිරීමට ආසන්නව සිටියි. එවැනි අවස්ථාවක ඇය සමග වැඩි කාලයක් ගත කිරීමට තමා අදහස් කරන බව ද ආඩර්න් පවසා තිබිණි.

කොවිඩ් වසංගතය නිසාත්, මේ වනවිට ලෝකය පුරා පැතිරෙමින් ඇති ආර්ථික අර්බුද නිසාත්, යුද ගැටුම් ආදිය නිසාත් මේ කාලයේ රටවල නායකයන් ගත කරමින් සිටින්නේ දැඩි වෙහෙසකාරී ජීවිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් බොහෝ දෙනෙකු දැඩි මානසික පීඩනයකින් සහ ආතතියකින් පෙලෙනවාට සැකයක් නැත. සමාජ මාධ්‍ය සහ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ප්‍රවෘත්ති මාධ්‍ය ආදිය මේ කාලයේ මෙම නායකයන් ගැන නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටින නිසා ද අතීත නායකයන්ට නොවූ පීඩනයක් වර්තමාන නායකයන් වෙත එල්ල වී ඇති බව දේශපාලන නිරීක්‍ෂකයෝ සඳහන් කරති. මේ අතර ඉතා දිගු වේලාවන් රාජකාරී කිරීමට ඔවුන්ට සිදු වීම, දිගු විදේශ සංචාර, විවේක ගැනීමට කාලයක් නැති වීම වැනි සාධක ද මෙම නායකයන් ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔවුහු පෙන්වා දෙති.

‘මම අගමැති ධුරයේ කටයුතු කරද්දී පාන්දර පහට විතර අවදි වෙලා මධ්‍යම රාත්‍රිය පසුවනතුරුත් වැඩ කරන්නට සිදු වුණා’ මෙකල දේශපාලන නායකයන් ගත කරන අවිවේකී, වෙහෙසකර ජීවිත ගැන අදහස් දක්වමින් නවසීලන්තයේ තවත් අගමැතිවරියක වූ හෙලන් ක්ලාර්ක් පවසා තිබුණාය. දේශපාලන වශයෙන් ඉතා අභියෝගාත්මක කාලයක සිය රාජකාරියේ කටයුතු සහ පවුලේ වගකීම් තුලනය කර ගැනීමට සිදුවීමෙන් ආඩර්න්ට අමතර පීඩනයක් එල්ල වන්නට ඇති බව ද ඇය සඳහන් කර තිබිණි.

‘දේශපාලන නායකයන් මත එල්ල වන පීඩනය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. නමුත් ඔවුන්ටත් දවසකට තියෙන්නේ අනෙක් අයට තියෙන පැය ගාණමයි. සතියකට තියෙන්නේ අනෙක් අයට තියෙන දවස් ගාණමයි. ඔවුනුත් අනෙක් හැමෝම වගේ නිදාගත යුතුයි, විවේක ගත යුතුයි. නමුත් ජනතාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේවල් නිරන්තරයෙන් ඉහළ යමින් තිබෙනවා’ බි්‍රතාන්‍ය ජාතික ඉතිහාසඥයකු වන ඇන්තනි සෙල්ඩන් සඳහන් කර තිබිණි.

නෙදර්ලන්තයේ කොවිඩ් වසංගතය හා සම්බන්ධ කටයුතු භාරව සිටි ඇමැතිවරයා වූ බෲනෝ බෲන්ස් 2020 මාර්තු මාසයේ දිනෙක පාර්ලිමේන්තුවේ විවාදයක් අතර ක්ලාන්ත වී ඇද වැටිණි. තමා මෙවැනි තත්ත්වයකට පත් වූයේ සති ගණනක් තිස්සේ දැඩි ආතතියකින් වැඩ කිරීම නිසා බව ඔහු පසුව පැවසුවේය. එහි දී ඔහු තවදුරටත් සඳහන් කළේ ඇමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු තමා මාස තුනක්ම වැය කළේ ඇති තරම් නිදා ගැනීමට බවයි. මෙම සිද්ධියෙන් පසු ඔහු නැවත දේශපාලනයට ආවේ නැත.

2021 වසරේ ඕස්ටි්‍රයාවේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ රුඩෝල්ෆ් ඇන්ෂෝබර් ද ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමා අධික ලෙස වැඩ කිරීම නිසා දැඩි වෙහෙසට පත්ව ඇති බව පවසමිනි. ධුරයේ සිටි මාස 15 ක කාලය තමාට දැනුණේ අවුරුදු 15 ක් ලෙසින් බව ද ඔහු පැවසුවේය.

මනෝවිද්‍යා මහාචාර්යවරයකු වන ඩැරිල් ඔ’කොනර් පවසන්නේ දේශපාලනඥයන් මෙන්ම තවත් බොහෝ වෘත්තීන්වල නිරතවන අය ද මේ ආකාරයෙන් මානසික වෙහෙසට පත්වන බවයි. නමුත් ඔවුන්ට එවැනි අවස්ථාවක නිවාඩු ගැනීම වැනි පියවරක් තුළින් යම් සහනයක් ඇති කර ගැනීමට හැකියාව ඇති බව ඔහු පෙන්වා දෙයි. ‘එහෙත් රටක අගමැති කෙනෙකු වැනි අයෙකුට එවැනි විවේකයක් ගැනීමට ද බොහෝ විට හැකියාවක් නැහැ’ මහාචාර්ය ඔ’කොනර් සඳහන් කරයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර