අවුරුදු අසූවකට වැඩි කාලයක් මුළුල්ලේ හම්බන්තොට ඇසුරු කර ගනිමින් රාජපක්ෂ වරුන් නොකඩවා මැතිවරණවලට ඉදිරිපත් වූහ. එවන් වූ ඉතිහාසයකට හිමිකම් කියන රාජපක්ෂ පරම්පරාවේ කිසිවෙකු හෝ මෙවර (2024) මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම ආශ්චර්යයක් පමණක් නොවේ. දේශපාලනයේ නැගීම සහ වැටීම පිළිබඳ හැදෑරීමට වැදගත් කරුණු රැසකින් එම ඉතිහාසය සමන්විත ය. මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසු වූ නාමල් රාජපක්ෂ ද අවසාන මොහොතේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නට තීරණය කිරීම, එම දේශපාලන ඉතිහාස කතාන්දරයේම කොටසකි.
මා කළ සොයා බැලීම්වල දී අනාවරණය වූ පුදුමය ද දනවන තොරතුරක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ජාවාරමුන් ඇතුළු තවත් කූඨ මාර්ග ඔස්සේ මුදල් උපයන්නන් කිසිවෙක් මෙවර මහ මැතිවරණයේ දී හිටපු ප්‍රභූ දේශපාලඥයන්ට හා මැති ඇමතිවරුන්ට ඡන්දය වෙනුවෙන් මුදල් වියදම් නොකරන බවයි.එවැනි රහස්‍ය තීරණයක් මැතිවරණ ඉතිහාසයේ කිසිදාක අසන්නට අසන්නට ලැබී නැත.
මෙවර මහ මැතිවරණය රටට අමුතුම මැතිවරණයක් වන්නේය. මීට පෙර මහ මැතිවරණයකදී අසා නැති අමුතුම සිදුවීම් මෙවර අසන්නට හා දකින්නට ලැබේ. ඉන් පෙනෙන එක් වැදගත් කරුණක් තිබේ. එනම් පසුගිය කාලයේ ජනාධිපති ධූර, ඇමති ධූර, මන්ත්‍රී ධූර දැරූ ප්‍රසිද්ධ චරිත පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමයි. එය සුළුවෙන් තැකිය හැකි ගණනක් නොවේ. දේශපාලන ඉතිහාසය පිරික්සන කිසිවෙකුට හෝ එවැනි සංඛ්‍යාවක් ගැන අසන්නට ලැබෙන්නේ නැතැයි මට හැඟෙයි. එම සංඛ්‍යාවේ පසුවන සමහරුන් පවසන්නේ තමන් දේශපාලනයෙන් සමුගන්නා බවකි. තවත් ඇතමුන් සඳහන් කර ඇත්තේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවකි. ඊට හේතු වශයෙන් මෙම දෙපාර්ශ්වය සඳහන් කරන ඇතැම් කාරණා ඇත්ත වන්නට පිළිවන. නමුත් මීට පෙර පැවැත්වූ මහ මැතිවරණ ක්‍රියාකාරකම් මෙනෙහි වන විට මොවුන් පවසන කාරණා ‘ගෙඩිය’ පිටින්ම සත්‍යයක් යැයි පිළිගන්නට තරමක් අමාරු ය.
මා කළ සොයා බැලීම්වල දී අනාවරණය වූ පුදුමය ද දනවන තොරතුරක් තිබේ.
එනම් ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ජාවාරමුන් ඇතුළු තවත් කූඨ මාර්ග ඔස්සේ මුදල් උපයන්නන් කිසිවෙක් මෙවර මහ මැතිවරණයේ දී හිටපු ප්‍රභූ දේශපාලඥයන්ට හා මැති ඇමතිවරුන්ට ඡන්දය වෙනුවෙන් මුදල් වියදම් නොකරන බවයි.එවැනි රහස්‍ය තීරණයක් මැතිවරණ ඉතිහාසයේ කිසිදාක අසන්නට අසන්නට ලැබී නැත. මොවුන් මෙවැනි ඡන්දයකදී රුපියල් කෝටි ගණන් දේශපාලනඥයන් වෙනුවෙන් වියදම් කළ ආකාරය ජනතාව දනිති. ඒ රටේ සුබ සිද්ධිය සඳහාම නොවේ. තමන් සතුටු දේශපාලනඥයන් බලයට පත් වීමෙන් පසු කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපයීමේ අරමුණ ඇතිව ය. මෙවර පැවති ජනාධිපතිවරණයේදී ද මොවුන් විශාල වශයෙන් මුදල් ‘පොම්ප’ කළහ. නමුත් ලැබුණ ‘ඉටිගෙඩියක්’ නැති බව ඔවුන්ට දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඉතින්, මහ මැතිවරණයෙන් ද දරුණු පරාජයක් නියත බව ඇස්මානයේ පෙනෙන්නට තිබියදී ‘ගඟට කපන ඉනි’ මෙන් නිෂ්ඵල කර්තව්‍යක් සඳහා රුපියල් කෝටි ගණන් වැය කරන්නේ මොන ‘මගුලකට’ දැයි මෙම ‘ව්‍යාපාරිකයෝ’ කල්පනා කරති. ඔවුන්ගේ තීරණය වූයේ මෙම දේශපාලඥයන්ගේ ඈත් වී පියවර කීපයක් පසුපසින් සිටීම ඇඟට වඩාත් ගුණදායක බවය. ඒ මහ මැතිවරණයෙන් පසු තමන්ට ද කවරාකාරයේ ඉරණමකට මුහුණ පාන්නට සිදුවේදෝයි යන දෙගිඩියාවෙනි.
තමන්ගේ කුටුම්භය රැකගන්නට ‘ගුවනේ’ සිට පියාපත් සලමින් පහත්වන ආක්‍රමණික දැවැන්ත රාජාලයාගේ ප්‍රහාරයට පෙර විෂගෝර සර්පයන් තුඹස් හෝ බෙන ආදියට වැදී සැඟවෙන්නා සේ, නපුරු බලවේග සැඟවෙයි. ඒ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සුදුසු මොහොතක් එළඹෙන තුරු නිහඬව පසුවීමටයි. එය වටහා ගනිමින් කටයුතු කිරීම ජනතාවගේ සිත් තුළ අද තිබෙන ප්‍රාර්ථනාව විය හැකියයි මට සිතේ.
පාර්ලිමේන්තුවේ සිටි බොහෝ දේශපාලඥයන්ට පොදුවේ රට්ටුන්ගෙන් එල්ල වූ චෝදනාවක් වෙයි. එනම් මොවුන් දරුණු සොර මුලක් බවයි. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රධාන සටන්පාඨය වූයේ සොරුන් පන්නා දමන බවයි. එය සටන් පාඨයක් පමණක් නොව, ක්‍රියාවෙන්ද සමාජගත කර පෙන්වන ලෙසට නිහඬ අභියෝගයක් කරමින් ජනතාව ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් දිනවීම පිණිස කතිරය ගැසුවේය. අනුර කුමාර දිසානායක දිනුවේය. සොරුන් පන්නන්නට පෙර පනහකට ආසන්න පිරිසක් දේශපාලනයෙන් ඈත් වන්නේ මෙවන් වටපිටාවක් යටතේ ය. (හැබැයි ඔවුන් සියලු දෙනා සොරුන් යයි මෙයින් මම නොපවසමි) ඔවුන් බලයේ හිඳුවමින් රැක බලාගත් ප්‍රකට ජාවාරම් පවත්වාගෙන ගිය ඇතැම් කූට ව්‍යාපාරික ජාලය මෙම දේශපාලනඥයන්ගෙන් ඈත් වූහ. එය වර්තමානයේ දකින්නට ලැබෙන අලුත්ම තක්කඩි දේශපාලන තත්ත්වයක් පමණයි. තමන්ගේ කුටුම්භය රැකගන්නට ‘ගුවනේ’ සිට පියාපත් සලමින් පහත්වන ආක්‍රමණික දැවැන්ත රාජාලයාගේ ප්‍රහාරයට පෙර විෂගෝර සර්පයන් තුඹස් හෝ බෙන ආදියට වැදී සැඟවෙන්නා සේ, නපුරු බලවේග සැඟවෙයි. ඒ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සුදුසු මොහොතක් එළඹෙන තුරු නිහඬව පසුවීමටයි. එය වටහා ගනිමින් කටයුතු කිරීම ජනතාවගේ සිත් තුළ අද තිබෙන ප්‍රාර්ථනාව විය හැකියයි මට සිතේ.
අනුර හොරේෂස්