රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මහරගම ප්‍රදේශයේ පදිංචි තිස් හතර හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියක මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 වගන්ති සහ 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව අත්අඩංගුවට පත් මෙම යුවල පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ එය ලඝු නඩු විභාගයකට පාදක වන නිමිත්තක් බැවිනි. එසේ ලඝු නොවන නඩු නිමිත්තක් සම්බන්ධ වරදක් මත අත්අඩංගුවට ගත් අයවළුන් ඇප මත මුදා හැරීමේ නීත්‍යානුකූල බලයක් පොලීසිය සතුව නැත. එවන් පසුබිමක මෙසේ මෙම සිද්ධිය සඳහා ප්‍රසිද්ධ සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙතරම් සුවිසල් ප්‍රසිද්ධියක් ලබා දීමට හේතුව කුමක්ද? මෙම යුවළගේ එකී අවකල් ක්‍රියාව මගින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව මෙතෙක් හිමිකර ගත් කීර්ති නාමය බරපතල අයුරින් හෑල්ලුවට ලක් වන බවට ඇති කරගත් උපකල්පනයන් ඊට හේතු වී ඇති බව පෙනේ. එහෙත්, විචාර බුද්ධිය ඇති කිසිවකුටත් එය එලෙසින්ම පිළිගත හැකිද? එය ශ්‍රී ලංකාවේ මානසික රෝගී යුවලක ගේ දර්ශන පෙළක් අන්තර් ජාලය ඔස්සේ ජාත්‍යන්තරය හමුවේ එළි දැක්වීමෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් ම මානසික රෝගීන් ලෙස නිර්වචනය කිරීමට සමාන වූවකි. එමෙන්ම ලොව කවර හෝ සදාචාර ධර්මීය පිළිවෙත් සුරකින සමාජයකින් මෙබඳු සිදුවීම් වාර්තා විය හැක. වෙනස ඇත්තේ ඒ පිළිබඳ සම්භාවිතාවේ පමණි.
ශ්‍රී ලංකාවේ දිය ඇලි අතුරින් එතරම් ප්‍රසිද්ධ දිය ඇල්ලක් නොවූ පහන්තුඩාව ඇල්ලට මෙම සිදුවීම මුල්කොට අද වන විට ජාතික මට්ටමින් ප්‍රසිද්ධියක් ලැබී තිබේ. එය කෙතරම් උච්ච මට්ටමක තිබේද? යත් වත්මන් නිරෝධායන ඇඳිරි නීතිය නොවන්නට අප රටේ යම් පිරිසක් හෝ එම සිද්ධිය සම්බන්ධ ‘ස්ථානීය නිරීක්ෂණයක්’ සඳහා පහන්තුඩාව ඇල්ල වෙත යාමේ ඉඩ කඩක් ද තිබේ.
ප්රචණ්ඩත්වය, ලිංගිකත්වය සහ භීතිය යන පොදු සත්ව ආවේග මිනිසුන් තුළින් ද එපරිද්දෙන්ම ක්‍රියාත්මක වෙයි. නමුදු මිනිස්සු ඒවා ඒ අයුරින්ම එළි නොදක්වති. ඒ ඔවුන් ශිෂ්ටාචාරය නම් වන පදනමක් මත ජීවත් වන බැවිනි.එහෙත්, එනිසාම කිසිවෙකුත් ශිෂ්ටාචාර ගතවීම මුල්කරගෙන ඒ සහජතාවයන් අත්හැර නොදමති. මෙම පහන්තුඩාව දිය ඇල්ල සම්බන්ධයෙන් බොහෝ දෙනකු පුබුදුවා ගෙන ඇත්තේ තමන් තුළ පවත්නා සහජතාවයක් වන ලිංගිකත්වය මත පදනම් වන කුතුහලයයි. ලොව දියුණු රටවලට සාපේක්ෂව ඌණ සංවර්ධිත වශයෙන් හඳුන්වන රටවල ජනමාධ්‍ය මගින් ද මිනිසුන් තුළ පවත්නා මෙම සහජ ආවේගය උළුප්පා දක්වති. මෙම පහන්තුඩාව ඇල්ල සම්බන්ධ සිද්ධියට අප රටේ මාධ්‍ය මගින් මෙතරම් ඉහළ ප්රවෘත්තිමය අගයක් ලබා දෙන ලද්දේ ඒ අනුව ය.
මීට දශක කිහිපයකට පෙර අප රටේ පැවැති ප්රවෘත්ති කලාව අද වන විට ඉතා වේගවත්ව ඕපාදූප හෙවත් ‘ගොසිප්’ සන්නිවේදන යාන්ත්‍රණයක් බවට හැරෙමින් තිබේ. ප්‍රසිද්ධ මාධ්‍ය මගින් වේවා සමාජ මාධ්‍ය මගින් වේවා එලෙස පැහැදිලි ලෙසින් ඉස්මතු කරන ලද්දේ ඒ ‘ගොසිප්’ සන්නිවේදන රටාව ය. මේ සියළු කරුණු පිළිබඳව විමසන විට “ඉතින් සමාජය ගොසිප් පස්සේ ලුහු බැන්දම මොකද වෙන්නේ?” යනුවෙන් ප්‍රශ්න කිරීමට ද යමකුට පුළුවන.එහෙත්, ඒ සඳහා දිය හැකි සරල හා පැහැදිලිම පිළිතුරක් තිබේ. එවිට සමාජය සතු සමකාලීන විඥානය නම් මුවහත් අවිය වේගයෙන් මොට බවට පත්වීම වැළැක්විය නොහැකිය යන්නය ඒ පිළිතුර ය.
බොහෝ දෙනකු පිළිගන්නා අන්දමට අප රටේ වර්තමාන සමාජ,ආර්ථික, දේශපාලන පසුබිම කෙසේවත් යහපත් නොවේ. එනිසා මෙය මෙම සමකාලීන සමාජ තත්වයන් සම්බන්ධයෙන් ජනතාව වඩාත් සංතීක්ෂණ අවධානයකින් පසුවිය යුතු අවදියකි. එවන් පසුබිමක් යටතේ යම් යම් පුද්ගලයන් ගේ ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි ජාතික වශයෙන් මෙතරම් ප්‍රබල අවධානයක් යොමුවීම තුළින් මෙම සමාජ, ආර්ථික, දේශපාලන යාන්ත්‍රණය හසුරුවන බලවේග වලට ජන අවධානයකින් තොරව තම අත්තනෝමතික අභිමතාර්ථයන් අනුව කටයුතු කිරීමට කදිම අවකාශයක් ලැබේ. එහි අවසානය වනුයේ සෑම අවිචාරවත් සමාජයක් ම මුහුණ දෙන බිහිසුණු, සමාජ ඛේදවාචක දාමයයි. ඒ අනුව ජනතාව තුළ පවත්නා විදග්ධ, සංතීක්ෂණ බව මොට කර ජන මනැස අන්ධ කිරීමට අදහස් කරන බලවේගයන්ට ද මෙබඳු සිදුවීම් නිර්මාණය කොට ජන අවධානය වෙන’තකට යොමු කිරීමට ද අවකාශ ලැබේ. එවිට ‘පාළු ගෙයි වළං බිඳින්නාක් මෙන්’ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් ඕනෑම උප්පරවැට්ටියක් කිරීමට ඔවුනට හැකි වනු ඇත. මේ දිනවල ජාතික වශයෙන් ජන මනැස කළඹන දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී සමාජය හමුවට ගෙන හැර දක්වන ලද මෙම පහන්තුඩාව ඇල්ලේ සිද්ධිය එවැන්නක් විය නොහැකියැයි මට සිතේ. නමුත් ඒ සම්බන්ධයෙන් සියයට සීයක් ම සහතික වන්නට ද මට නොහැක.
සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර