ජන වහරේ හරි හැටි නමක් වත් නැති මේ “මාරක තත්වය” ගැන සැලකිලිමත් වෙමු

කැකිරාව – පලාගල ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරඟයක් අතරතුර දී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාව, පලාගල ලිපිනයේ පදිංචිව දරුවෙකි.කැකිරාව – පලාගල ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක පැවති ගම හරහා දිවීමේ තරඟය සඳහා එක්ව සිටි පහළොස් හැවිරිදි තම සහෝදරයාට සහායක් වශයෙන් ඔහු හා එක්ව දුවමින් සිටියදි මෙම දරුවා මිය ගොස් ඇති බව පැවසෙයි.පලාගල මහා විදුහලේ පස් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු වන මෙම දරුවා එම තරඟයේ අඩක් පමණ නිම කර තරඟ කරුවන් පලාගල ප්‍රදේශයට ළඟා වන විට තරඟ කරුවන් අතරේ දුවමින් සිටියදී හදිසියේ බිම ඇද වැටී තිබේ.ප්‍රදේශවාසීන් විසින් දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා කැකිරාව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට ද දරුවා මියගොස් සිටි බව පැවසෙයි.

මෙම දරුවාගේ ඛේදනීය මරණයට හේතු වී ඇත්තේ ඔහු තුළ වූ කිසියම් රෝගයක් හදිසියේ ඉස්මතු වීම නිසා නොවේ ඔහු හාත්පස පරිසරයේ ඇති උණුසුම් වායු තරංග හෙවත් තාප තංරග(Heat waves )බලපෑමට නතු වීම නිසා ය.මෙම තාප තරංග තත්වය සහ ඒ හා සම්බන්ධ තාප ආඝාත(Heat stroke ) තත්වය මේ දිනවල අප රට තුළ ද දක්නට හැකි අතර එම තාප ආඝාත තත්වය නිසා අප රටින් ද වරින් වර හදිසි මරණ වාර්තා වෙයි.එහෙත්, මෙම තත්වය හඳුන්වන සිංහල නමක් වත් අප ජන වහරේ නොමැති බව අපගේ වැටහීම ය.ඒ සඳහා යොදන තාප ආඝාත යන වදන සාමාන්‍ය ජන වහරට “බර ” වැඩි ය.එමෙන්ම ඒ සඳහා ජන වහරේ සාමාන්‍ය භාවිතය සඳහා නමක් පවා නැත්තේ එය අප රටට ආගන්තුක තත්වයක් සේ සැලකෙන නිසා විය යුතු ය.එහෙත්, දෙමළ බසින් මෙය “වාප තාක්කම්” යනුවෙන් හැඳින්වෙයි.නමුත් මෙය අප ජන සමාජය විශේෂයෙන් දැනුවත් විය යුතු තත්වයකි.
සාමාන්‍ය අයුරින් උණුසුම් කාල ගුණ තත්වයක් ඇතිවීමත්, උෂ්ණත්වය එක්වරම අසාමාන්‍ය ලෙස ඉහළ නැඟීමත් යන හේතු කාරණා නිසා තාප තරංග හට ගැනෙයි.එහෙත්, අසාමාන්‍ය ලෙස එක්වරම උෂ්ණත්වය ඉහළ නැඟීම් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.එක්වරම උණුසුම් වායු ධාරා හමා ඒම ඉඳහිට සිදු වන්නකි.නමුත් පවත්නා සාමාන්‍ය තත්වය උණුසුම් කාලගුණ තත්ත්වයකට හැරීම නම් සාමාන්‍ය දෙයකි.

මෙවර අප්‍රේල් තාප තරංග ඉන්දියාව, චීනය, තායිලන්තය, බංග්ලාදේශය හා ගිණිකොනදිග ආසියානු රටවල් හා මධ්‍ය ආසියානු රටවල් ආක්‍රමණය කරමින් පවතින බව වාර්තා වෙයි.ඉන්දියාවේ හා චීනයේ මේ වන විට වාර්තාගත ලෙසින් උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. බොහෝ නගර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව පැවසෙයි.ඉන්දියාවේ ග්‍රාමීය කම්කරුවන් සහ කම්කරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින බීහාර්, ජාර්කන්ඩ්, ඔඩිෂා, ආන්ද්‍ර ප්‍රදේශ් සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල දැඩි තාප තරංගයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සතියේ “තැඹිලි පැහැති” අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ නගර හය ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ට ඉක්ම වූ අතර අගනුවර වන දිල්ලියේ සෙල්සියස් අංශක 40.4 ක් වාර්තා වී තිබේ.එමෙන්ම ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි, මේ සතියේ ප්‍රාන්තයේ සියලුම පාසල් වසා දමා එම පියවර ගන්නා ලෙස පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් ද ඉල්ලා ඇත. මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.බොහෝ ස්ථානවල වාර්තාගන උෂ්ණත්වයක් නිරීක්ෂණය කර බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිලන්තයේ තත්වය විමසා බැලුවහොත් 2016 න් අනතුරුව වාර්තාවූ ඉහළම උෂ්ණත්වය මෙවර රටේ වයඹ දෙසින් පිහිටි රජයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සෙනසුරාදා 45.4C වාර්තා කර තිබේ. ඒ අතර දේශගුණික අර්බුදයේ ඉදිරියෙන්ම සිටින රටක් වන බංග්ලාදේශයේ වසර 58 කට පසු උණුසුම්ම දිනය සෙල්සියස් අංශක 40ක් ලෙස ඩකා නුවරින් දී වාර්තා විය. මේ සම්බන්ධයෙන් පරිසර, වන හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරියෙකු පවසා තිබුණේ තාපය පහව නොයන්නේ නම්, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්ව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන බවයි.අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය පිළිබඳව තායිලන්තයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ද ලබා දී ඇති අතර ඉදිකිරීම් කම්කරුවන් සහ ගොවීන් වැනි අය වෙනුවෙන් ආඝාත අවදානම ගැන සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ.

මේ අතර අප රටේ පවත්නා අධික උෂ්ණත්වය හමුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දිය යුතු මාර්ගෝපදේශනයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කොට ඇත.එහි දහවල් කාලයේ පාසල් දරුවන් එළි පහළියට යැවීමේ සිට සිසුවියන්ගේ ටයි පටි බඳ පටි පැළඳීම තෙක් කරුණු දක්වා තිබේ.ඊට අමතර ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය තාප ආඝාතයෙන් වැළකීම පිණිස ආරක්ෂක පිළිවෙත් පද්ධතියක් දක්වා තිබේ. කාර්යාංශය සඳහන් කරනුයේ පවතින උෂ්ණාධික තත්ත්වය හමුවේ සිරුර සිසිල් කරන දේවල් ශරීරයට ලබා ගත යුතු බවකි. අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කළ යුතු බව ද, ඔවුහු පෙන්වා දෙති.

1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට හැකිතාක් යොමුවීම

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවදානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.

වෛද්‍ය වාර්තා අනුව මෙම තාප ආඝාත තත්වයට පත් වීමේ අවදානම් කණ්ඩායම් පිළිබඳව සඳහන් වෙතත් මින් පරිබාහිර කවරකු හෝ මෙම තත්වයට ගොදුරු විය හැක. මීට කලකට ඉහත ආරක්ෂක හමුදා නිලධාරියකුට උසස් වීමක් ලැබීම මත ඒ උසස්වීම ලත් නිලය හිමි අනෙක් නිලධාරීහු ඔහුට නවක වධය දීමක් වශයෙන් අනුරාධපුරයේ පිහිටි එම පිටිය වටා රවුම් කිහිපයක් දිවීමට අණ කළහ.එහෙත්, ගිනි අව්වේ ඒ පිටිය වටා රවුම් කිහිපයක් දුවමින් සිටි ඔහු හදිසියේ පිටිය මත ඇද වැටුණි.ඔහු හදිසි හෘදයාබාධයකට ලක් වූ බව සිතූ සෙසු නිලධාරීහු ඔහු රෝහල් ගත කළහ.එහෙත් එම උසස් වීම ලත් නිලධාරියා ඒ වන විටත් මිය ගොස් සිටියේ ය.මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ මරණයට හේතුව තාප ආඝාතය බව ය.එනිසා මෙය අප සැමගේ ජීවිත සම්බන්ධයෙන් ද කිනම් හෝ අවදානමක් ඇති කරන තත්වයක් සේ සළකා කටයුතු කිරීම වඩාත් සුදුසු ය.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර