ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ට වෙඩි තබා ඇති බව වාර්තා වේ. එරට නාරා නැමැති ප්‍රදේශයේ රැස්වීමක කතාවක් පවත්වමින් සිටිය දී ඔහු එකවරම ඇද වැටී ඇති බවත්, ඊට මොහොතකට පෙර වෙඩි හඬක් ඇසුණු බවත් මාධ්‍ය වාර්තා කර ඇත. අබේ ගේ සිරුරෙන් ලේ ගලමින් තිබූ බවක් ද සඳහන් වේ. ෂින්සෝ අබේ ඉතා ප්‍රසිද්ධ දේශපාලන නායකයකු වූ අතර වැඩිම කලක් ජපානයේ අගමැති ධුරය දැරූ පුද්ගලයා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබේ. ඔහු 2020 දක්වා අගමැති ධුරයේ කටයුතු කළේය.
ජපාන මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙඩි වැදී ඇත්තේ ඔහුගේ පපු ප්‍රදේශයට යි. වෙඩි පහර එල්ල කර ඇත්තේ ඔහුගේ පිටුපස දෙසින් යයි ද සැක කෙරේ. සිද්ධිය ඇසින් දුටුවකු පවසා තිබුණේ වෙඩි පහර දෙකක් එල්ල වූ බවකි. පළමු වෙඩි පහරත් සමග අබේ පිටුපසට ඇල වී ගිය බවත්, දෙවැනි වෙඩි පහරින් පසු බිම ඇද වැටුණු බවත් ඔහු පවසා තිබිණි. හිටපු අගමැතිවරයා බිම ඇද වැටීමත් සමග ඔහුගේ අරක්ෂක නිලධාරීන් සහ සහායකයන් ඔහු වෙත දිව යන අයුරු දැක්වෙන විඩියෝවක් මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තෙත්සුයා යමගාමි නැමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 40 හැවිරිදි ඔහු නාරා නගරයේ පදිංචිකරුවකු බවද පැවසේ. වෙඩි තැබීමෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ නොකළ බවක් ද සඳහන් ය.
වෙඩි වැදුණු ෂින්සෝ අබේ හෙලිකොප්ටරයකින් වහාම රෝහලක් කරා ගෙන යාමට පියවර ගෙන තිබිණි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබුණේ ඔහුගේ තත්ත්වය ඉතා බරපතල බවයි. ඔහු සිහිසුන් තත්ත්වයෙන් පසුවන බවක්ද වාර්තා වේ. සිද්ධිය සිදුව තිබුණේ ජපාන වේලාවෙන් සිකුරාදා (08) පෙරවරු 11.30 ට පමණ ය.
නිහාල් පිරිස්