ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී සමු ගනී

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහත්මිය 70 වැනි වියේ පසු විය.ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක, කිවිඳියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වූ ඇය, සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ භූමිකාවක් ඉටු කොට තිබේ. 1954 මාර්තු 08 වන දා අනුරාධපුර පෙරිමියන්කුලම ගොවි පවුලක සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමල් සොයුරිය ලෙසින් උපන්. ‍වන්නිහාමිලාගේ සීතා රංජනී පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසැල් දිවිය ඇරඹූ අතර ඒ කාලයේ සිටම ලේඛන කලාවටත්, ක්‍රීඩාවටත් එක සේ දස්කම් දැක්වූවා ය. 1973 දී අනුරාධපුර දිස්ත්‍රික් පාසල් කාව්‍ය නිර්මාණ තරඟයකින් පළමු ස්ථානය දිනා ගැනීමෙන් පසු ඇය දිගින් දිගටම සිය නිර්මාණකරණයේ යෙදුණාය.එකල එකම විද්‍යුත් මාධ්‍ය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ඇගේ නිර්මාණ ප්‍රචාරය වීමත් සමඟ පෙරිමියන්කුලමේ සීතා රංජනී යන නම ශ්‍රාවකයන් අතර මතකයේ රැඳිණ.පසුව ඇය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සුවිශේෂ මෙහෙවරක් කළ අතර මාධ්‍ය කරුවන් ගේ වෘත්තීය අයිතීන්,කාන්තා අයිතිවාසිකම් සහ ජාතීන් අතර අසමඟිය දුරලීම පිණිස සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කොට තිබිණ. සීතා රංජනී මහත්මියගේ දේහය මේ වන විට අනුරාධපුර, කටුකැලියාව, මඩගම්මන මාවතේ පිහිටි නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට(18) අඟහරුවාදා සවස කටුකැලියාව සුසාන භූමීයේ දී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්