ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනංවනවා – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැගුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කටුබැද්ද පිහිටි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද එක්ව සිටි අතර අමාත්‍යවරුන්ගේ මූලික අරමුණ වූයේ කර්මාන්තකරුවන්ට පහසුකම් සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කටයුතු නිවැරදි දිශානතියකට යොමු කරවමින් දේශීය කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත ගොඩනැංවීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමයි.

මෙහිදී අමාත්‍යවරුන් ඉංජිනේරු, වාත්තු, වාත්තු මල් නිෂ්පාදන, රසායනාගාර, වැඩ බිම් ඇතුළු ආයතනයේ විවිධ අංශවල කටයුතු පිළිබඳව සොයා බැලූ අතර එම අංශවල පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර කර්මාන්ත කරුවන්ට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනලදි.

කාලීන පුවත්