‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කෙරේ

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

මෙම තීරණ ගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී ය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාද මීට එක්විය.

සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා ජාතික සභාව රැස්වීමට ද තීරණය වී තිබේ.

කාලීන පුවත්