මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ශ්‍රී ලංකාවට නැවත භික්ෂු උපසම්පදාව හඳුන්වා දුන් එවක සියම නමින් හැඳින් වූ තායිලන්තයෙන් 2001 වසරේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ දී මුතුරාජා නමින් හැඳින්වුණු සක් සූරීන් නම් වන හස්තියා මෙම ජූලි 02 දා ආපසු ඉල්ලා ගැනීමට තායිලන්ත බලධාරීන් කටයුතු කොට තිබේ. මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ යුගය තෙක් පැරණි එෛතිහාසික සියම් රජ පෙළපතකට අයත් තායිලන්ත රජ පවුල එම හස්තියා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට ඇත්තේ ජාතික මට්ටමින් රැක ගනිමින් සියම හා ශ්‍රී ලංකාව අතර පවතින එෛතිහාසික සංස්කෘතික සම්බන්ධතාව පදනම් කර ගනිමින් පෙරහැර වල ධාතුන් වහන්සේ වැඩම කරවීම වැනි ආධ්‍යාත්මික කටයුතු උදෙසා යොදා ගැනීමට ය.එහෙත් ඒ හස්තියා පසුගිය කාලයේ මෙරට දී උන්මත්තකයකුගේ අතට පත් වටිනා රන් භාණ්ඩයක් බවට පත් විය. දෙපා සතර, හොඬය, වලිගය සහ ලිංගේන්ද්‍රිය පොළවේ ස්පර්ශ වන හස්තීන් තායිලන්ත වැසියෝ මංගල සම්මත සද්ද්යන්ත හස්තීන් ලෙස සළකති.සක් සූරීන් නම් වන හස්තියා ද එවැන්නෙකි.
2001 වසරේ එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වරිය මාර්ගයෙන් තායිලන්ත රාජකීය පවුල මෙම සක් සූරීන් යන ඇතා සමඟ යන එවැනිම තවත් ඇත් යෞවනයකු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. ඉන් පසුව ජනපතිනිය විසින් කැලණි රජ මහා විහාරස්ථානයට තෑගි කළ ඒ ඇතා කණ්ඩුල නමින් ද මෙම සක් සූරීන් ඇතා මුතුරාජා නමින් අලුත්ගම කන්දේ විහාරයට ද භාර කරන ලදී. එතැන් සිට කණ්ඩුල ගේ තත්වය අයහපත් බවක් දක්නට නොලැබුණ ද මුතුරාජා හස්තියා අලුත්ගම කන්දේ විහාරය භාරයේ දී දරුණු වද හිංසා වලට ලක්වන බවට සත්ව හිමිකම් ක්රියාධරයන්ට වරින් වර පැමිණිලි ලැබෙන්නට විය. ඉන් බහුතර පැමිණිලි ගණනක සඳහන් වූයේ 2005 වසරේ සිට මුතුරාජා බලාගත් රොෂාන් නම් ඇත්ගොව්වා මුතුරාජා කන්දේ විහාරයෙන් බැහැර ස්ථාන වල රඳවා ගෙන දහ දුක් දෙමින් මරව මරවා වැඩ ගන්නා බවකි. එමෙන්ම මුල දී කන්දේ විහාරයේ රියැදුරකු වශයෙන් කටයුතු කළ ඔහු ඔහු මේ වන විට මුතුරාජා ගෙන් ඉපැයූ ධනයෙන් සහ පෙරහැර සඳහා අලි ඇතුන් සැපයීමෙන් ධනවතකු සේම අලි ඇතුන් ප්‍රවාහනය කරන ලොරි රථ දෙකක හිමිකරුවකු බවට ද තොරතුරු වාර්තා වී තිබේ.
මුතුරාජා පිළිබඳව තොරතුරු දන්නා කිහිප දෙනකුම පැවසූ පරිදි අඩි නවයක පමණ උසකින් සහ කිලෝග්‍රෑම් හාරදහසක පමණ බරකින් යුතු වුව ද මුතුරාජා සෙසු අලි ඇතුන්ට වඩා අතිශය සංවේදී සතෙකි. ඔවුන් බොහෝ දෙනකුගේ ප්‍රකාශවලට අනුව “මුතුරාජා” පොඩි දරුවකු මෙනි. ඔහුට ඇත්තේ මොනරකුගේ හැඬීමක් වැනි මෘදු ස්වරයකි.එමෙන්ම මුතු රාජා වැඩිහිටි ඇසුරට වඩා කුඩා දරුවන් ගේ ඇසුර බෙහෙවින් ප්‍රිය කොට ඇත. ඒ අතරේ මුතුරාජා ඇත්ගොව්වා නිසා අත්විඳින තාඩන පීඩන පිළිබඳව ඔහුට ආදරය කළ පාසල් සිසු දරුවන් ප්‍රදේශවාසීන් සේම සත්ව හිමිකම් ක්‍රියාධරයන් ද කන්දේ විහාරයේ හිටපු විහාරාධිපති බටුව්න්හේනේ බුද්ධරක්ඛිත හිමියන්ට නොයෙක් වර දන්වා තිබේ. එහෙත්, ඒ හිමියන් ඊට දුන් පිළිතුර වී ඇත්තේ “හරි, මං බලන්නම්” යන්න පමණි. ඒ හිමියන් කලින් වෘත්තියෙන් ගුරුවරයකු වූ අතර වරක් මුතුරාජා ගේ ප්රශ්නය පිළිබඳව හිටපු විදුහල්පතිවරයකු සමඟ දරුණු බහින් බස් වීමක් සිදු වූ බවත් ඇතැම්හු කියති.ඉන් පසුව මුතු රාජා ඇතාගේ තත්වය යහපත් වීම වෙනුවට කුමක් හෝ හේතුවක් මත ඒ විදුහල්පති ගේ තත්වය බෙහෙවින් අයහපත් වූ බවක් ද කියනු ලැබේ.
නමුත් ගත වූ වසර විසිදෙක මුළුල්ලේ මුතුරාජාට මෙරට දී සිදු වූ අකාරුණික කම් පිළිබඳව බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමියන් ගෙන් අසා දැනගත නොහැක.හේතුව ඒ හිමියන් 2018 දෙසැම්බර් මාසයේ දී අපවත් වූ බැවිනි. ඉන්පසුව කන්දේ විහාරයේ අධිපති පදවියට පත් වූයේ වත්මන් විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමියන් ය. මුතුරාජා ගේ සිදුවීම් සම්බන්ධයෙන් ඒ හිමියන් මාධ්‍යයට පවසා ඇත්තේ මුතුරාජා තමන් වහන්සේ ගේ භාරයට ගෙන මේ වන විට වසර තුනක් පමණක් බැවින් මුතුරාජා සම්බන්ධ සෑම සිදුවීමකටම වගකීමට තමන් වහන්සේට නොහැකි බව ය. එමෙන්ම තමන්ගේ ආරක්ෂාවට මිස මුතුරාජාට හිංසා කිරීම පිණිස හෙන්ඩුව පාවිච්චි කිරීම තමන් වහන්සේ ඇත්ගොව්වන්ට තහනම් කළ බවත් ඒ තහනම කැඩූ ඇත්ගොව්වන් “ගහලා පන්නා ගත්” බවත් පසු ගියදා මුතුරාජා බැලීමට ගෝල හිමිවරුන් ද සමඟ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට වැඩම කළ හිමියෝ මාධ්‍යයට කීහ.
එහෙත්,එවන් පහර දීමක් විණි නම් එය ද සාපරාධී වරදකි.එමෙන්ම එසේ මුතුරාජාට හෙණ්ඩුවෙන් ඇනීම නිසා ඒ හිමියන් ගහලා පන්නා ගත් ඇත්ගොව්වන් කී දෙනකු සිටීද? ඔවුන් ගේ නම් මොනවාද යන්න ආදී වශයෙන් වැඩිදුර විමසා සිටින්නට එහි කිසිවෙක් නොවූහ. එමෙන්ම ඒ අවස්ථාවේ දී කොක්කාවිට විපුලසාර හිමියන් තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර කරන්නවුන් ගේ “කටවල් වලට හෙණ ගැසිය යුතු” බවට “ආශිංසනයක්” ද කරනු දක්නා ලදී. නමුත් අනුන් ගේ කටවල් වලට හෙණ ගැසීම පසෙක තිබිය දී උන් වහන්සේ එහි දී ප්‍රකාශ කොට සිටියේ මුතුරාජා නැවත තායිලන්තයට ගෙන යනුයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පමණක් බව ය. එම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අමතරව නැවත මුතුරාජා තමන්ට භාර දීමට තායිලන්ත තානාපතිවරයා පොරොන්දු වූ බව ද ඒ හිමියෝ කීහ. නමුදු කොළඹ තායිලන්ත තානාපති කාර්යාල ආරංචි මාර්ග වලට අනුව අනාවරණය වනුයේ අසත්‍ය ප්‍රකාශ කරන අනුන් ගේ කටවල් වලට හෙණ යදින ඒ හිමියන් ගේ ප්‍රකාශය ද මුළුමනින්ම අසත්‍යයක් බව ය.නමුදු අපි කොක්කාවිට විපුලසාර හිමියන් මුල්කොට නම් කිසි විටෙකවත් එවැනි කුරිරු පැතුමක් නොකරමු.
තවද ඒ හිමියන් කිහිප විටෙකම පවසා ඇති අන්දමට මුතුරජා සම්බන්ධයෙන් තායිලන්ත රජය ගත් මෙම තීරණය රාජ්‍ය නොවන සංවිධාන වල කේලම් බස් මත පදනම් වූවකි.නමුත් ඒ හිමියන් කෙසේ වුවත් තායිලන්ත රජයේ එබඳු ගෙඩි මෝඩයන් ඇතැයි අපට නොසිතේ.
අලුත්ගම කන්දේ විහාර භාරකාරත්වය යටතේ මුතුරාජා කෙරෙහි එල්ල වන මෙම කෲරත්වය පිළිබඳ තොරතුරු මුලින්ම සත්ව හිමිකම් සංවිධාන වෙත ගෙන යනුයේ උන් වහන්සේ ඉතා හොඳින් දන්නා අලුත්ගම කන්දේ විහාරයේ ම දායක කාරකාදීන් කොටසක් විසිනි.පසුව RARE ඇතුළු සත්ව හිමිකම් සංවිධාන මගින් කොළඹ පිහිටි තායිලන්ත කාර්යාල සහ දෙවනුව තායිලන්ත රජය ද දැනුවත් කෙරේ. එහෙත්, එබඳු තොරතුරක් ලත් සැනින් කලබල වීමට තරම් තායිලන්ත රජයේ බලධාරීහු අමනෝඥ වී නැත. පළමුව තානාපති කාර්යාල මාර්ගයෙන් ද දෙවනුව තායිලන්ත රජය නියෝජනය කෙරෙන ඇතුන් පිළිබඳ දැනුම් අවබෝධයන් ඇත්තකු මගින් ද මුතුරාජා සම්බන්ධ මූලික විමර්ශනයක් සිදු කරන තායිලන්ත බලධාරීන් ඉන් පසුව කාරණයේ සත්‍යතාව සහබරපතල බව තේරුම් ගත් බව පෙනේ. මුතුරාජා සම්බන්ධ විමර්ශණ කටයුතු සඳහා තායිලන්ත විශේෂඥ මණ්ඩලයක් ශ්‍රී ලංකාව වෙත යොමු කොට ඇත්තේ ඉන් පසුව ය. එහි දී ඔවුන් විසින් අනාවරණය කොට ඇති අන්දමට මුතුරාජා ඒ වන විට පසු වී ඇත්තේ එදා මෙදාතුර එල්ල වී ඇති දරුණු කායික පීඩා සහ රෝගාබාධයන් වැනි තත්වයන් මුල්කොට ඔහුගේ ජීවිතය පිළිබඳ ඉදිරි පැවැත්ම පිළිබඳව ද දැඩි බලාපොරොත්තු තබා ගත නොහැකි නරක මට්ටමක ය.
මුතුරාජා අලුත්ගම කන්දේ විහාරයෙන් ඉවත් කොට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා තැබීමටත් පසුව ඔහු ආරක්ෂාකාරී ලෙස නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමටත් එම රජය කටයුතු කොට ඇත්තේ ඉන් පසුව ය. නමුත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මධුෂා පෙරේරා ඇතුළු කණ්ඩායමේ ප්‍රතිකාර මත පසුකාලීනව මුතුරාජා ගේ සෞඛ්‍ය කෙමෙන් තත්වය ඉතා යහපත් වූ බව පැවසේ. නැවත දෙහිවල සිට කටුනායක ගුවන් තොටුපල දක්වා ගොඩබිමින් ගමනකටත් කටුනායක ගුවන් තොටුපලේ සිට තායිලන්තයේ චියැන් මායි ගුවන් තොටුපල තෙක් පැය පහක ගුවන් ගමනකටත් ඉන් පසු එතැන් සිට නිරෝධායන මධ්‍යස්ථානක් සඳහ වන ගොඩ බිම් ගමනකටත් වශයෙන් වන පැය දොලහක් පමණ වන දීර්ඝ චාරිකාවකට තරම් මුතු රාජාගේ තත්වය යහපත් බවට තායිලන්ත විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කොට ඇත්තේ ඒ අනුව ය.
මුතුරාජා දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායක දක්වාත් එතැන් සිට ගුවන් මගින් තායිලන්තයේ චියැන් මායි ගුවන් තොටුපල දක්වාත් එතැන් සිට නිරෝධායන මධ්‍යස්ථානය දක්වාත් රැගෙන යාම රාජකීයකු ගේ නිල සංචාරයක් සිහි ගන්වන්නකි. මුතුරාජා 02 වන දා අළුයම දෙහිවල සත්වෝද්‍යානයෙන් පිටතට ගැනීමට පෙර ද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන ලදී. මෙහි දී අපට සිහිපත් වනුයේ ගල්ගමුවේ වන ගහනයන් ආශ්‍රිතව ජීවත් වූ සියඹලංගමුවේ ඇතා 2010 වසරේ පශූ වෛද්‍ය සම්මතයන් කුණු මුල්ලට දමා නිර්වින්දන එන්නත් අධි මාත්‍රාවක් එල්ල කොට මඳ වේලාවකින් ට්‍රක් රථයකට පටවා ප්‍රවාහනය කිරීමට ගිය අප රටේ වන ජීවී නිළධාරීන් ඒ සද්දන්තයාට ඛේදනීය අකල් මරණයක් උදා කර දීමේ සිද්ධියයි. මුතුරාජා දෙහිවල සිට තායිලන්ත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ට්‍රක් රථය ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය ට්‍රේලර් ඇතුළු දැවැන්ත ලෝහ ආම්පන්න නිපදවීමේ පුරෝගාමී ආයතනයක් වන TANTRI විසින් ඒ සඳහා විශේෂයෙන් නිපදවන ලද්දකි. එහි නිෂ්පාදන වියදම රුපියල් ලක්ෂ හතලිස් හයක් වුව ද නිරතුරු පාවිච්චියට ඔබින ලෙසින් එය තනා තිබීම ගනුදෙනුවක් වශයෙන් තායිලන්තයට අතිශය වාසි ගෙන දෙන්නකි. එමෙන්ම මෙම රැඳවුම මුතුරාජාට අතිශය යෝග්‍ය පරිදි තනා නිමවා තිබූ අතර තායිලන්ත විශේෂඥ මණ්ඩලය මුතුරාජා ඇතාට එතුළට පිවිස වැඩි වේලාවක් රැඳී සිටීමට අවශ්‍ය පෙරහුරු ද දින ගණනාවක් තිස්සේ ලබා දෙන ලදී.
මෙහිදී දෙහිවල සත්වෝද්‍යානයේ දී මුතුරජා ගේ කටයුතු මෙහෙය වූ ඇතරු පාලක සුනිල්ට ද මුතුරාජා බෙහෙවින් කීකරුව සිටි බවට වාර්තා වේ. දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායක දක්වා මුතුරාජා ප්‍රවාහනය කරන ලද්දේ පහත තට්ටුවක්සහිත ( Law base trailer ) ටේ්රලරයකිනි. එමෙන්ම එයට රැඳවුම ද සහිත මුතුරාජාට සමූහ බරක් රැගෙන යා හැකිද? හැකියාවක් තිබේද ? යන්න පිළිබඳව පවා පූර්ව පරීක්ෂාවට ලක් කරන ලදී. සත්වෝද්‍යානයේ සිට මහා මාර්ගය තෙක් ප්‍රධාන පාරට නැවී ඇති ගස් අතු කපා මාර්ගයේ විෂම තැන් ද සමතලා කරන ලද්දේ මුතුරාජාට කිසිදු අපහසුවකින් තොරව අප රටින් වෙන්ව යාමට ඉඩ සැළසීමට ය. මෙහිදී මුතුරාජා කෙරෙහි විවිධාකාරයෙන් ලොල් වූ සහ සත්ව හිමිකම් කෙරෙහි විශේෂ ඇල්මක් සහ කැපවීමක් දක්වන සැළකිය යුතු පිරිසක් ඉකුත් දෙවන දා අළුයම දෙහිවල සත්වෝද්‍යානයටත් කටුනායක ගුවන් තොටුලටත් රැස් වූයේ අවසන් මොහොතේ දී හෝ මුතුරාජාට අබමල් රේණුවක වත් දුකක් පීඩාවක් නොවී සිය රටට යාමට ඉඩ සැළසීමට ය. ඔවුන් ගෙන් සමහරකු හැගීම් ආවේග මත කටයුතු කිරීම නිසා එම කටයුත්තේ යෙදී සිටි නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරු වීම් පවා ඇති විණි.ඒ අතර මුතුරාජා ගේ නොකල් වෙන්වීම සම්බන්ධයෙන් කඳුළු සළන්නෝ ද හිඟ නොවූහ.
මේ අතර පසුගිය කාලය පුරා මුතුරාජා සත්වෝද්‍යානයේ දී මුතුරාජාට කෑම දීමට පවා කන්දේ විහාර පාර්ශවයට තායිලන්ත බළධාරීන් ගෙන් ඉඩක් නොලැබුණු මුත් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියේ සිත නිවෙන කතාවකි. එනම් “මෙය අප අවාසනාවන්ත සිදුවීමක් ලෙස පමණක් සළකනවා. නමුත් ඉදිරියේදී සාධනීය ලෙස කටයුතු කරනවා” යන්න ය. එහිදී නැවත මුතුරාජා තමන්ට බාර දෙන බවට කන්දේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමියන් බීබීසි සිංහල සේවයට පවා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තායිලන්ත තානාපතිවරයා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඒ සම්බන්ධ තීරණයක් ගෙන නොමැති බවකි.නමුත් ඔහු නොදන්නා අප දන්නා ශ්‍රී ලාංකේය මානසිකත්වය අනුව අපට කිව හැක්කේ ඒ කතාව විපුලසාර හිමියන් තම ගැලවිජ්ජාවට ගොතා ගත් අමූලික එකක් බව ය.ඒ අතර මෙහි දී මුතු රාජා ලෙස හැඳින්වූ තම සක් සූරීන් පිළිගැනීමට ඔහු නැවත නිරුපද්‍රිතව පැමිණෙන තුරු තායිලන්ත පාරිසරික සහ ස්වාභාවික අමාත්‍ය වරයා ඇතුළු සැලකිය යුතු පිරිසක් චියැන් මායි ගුවන් තොටු පළට පැමිණ සිටියේ සක් සූරීන් ශ්‍රී ලංකාව වැනි රටකට ලබා දීම සම්බන්ධයෙන් සිදු වූ වරදට ජාතියක් වශයෙන් සමාව අයැද සිටීමට මෙනි.මේ වන විට සක් සූරීන් නිදහස් සදාහරිත පරිසරයක නිරෝධායනය වෙමින් සිටියි. තායිලන්ත රජ පවුලෙන් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කළ මුතුරාජාට මෙරට දී සිදුවූ දැඩි අනර්ථය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන ද අපූරු ප්‍රකාශයක් කළේය.
එනම් තමන් පසුගිය දිනවල තායිලන්තයට ගිය අවස්ථාවේ එහි රජතුමා හමුවේ මුතුරාජාගේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළ අතර රජතුමා ඒ සම්බන්ධයෙන් තමන් හා කිසිදු අහිතක් පළ නොකළ බව ය. එහෙත්, ඒ මොහොතේ අහිතක් පළ නොකළ ද අපට තිළිණ කළ මුතුරාජා අපගේ පෙරැ්ත්තය ද නොතකා නැවත තායිලන්තයට කැඳවා ගැනීම තරම් තවත් අහිතක් තිබේද? යනුවෙන් හිස නිකට පමණක් පැසුණු අපේ අග්‍රාමාත්‍ය වරයාගෙන් ඇසීමට කිසිවකුත් නොසිටීම ද මුතුරාජා ඛේදවාචකය නම් වන මහා ශෝක කාව්‍යයේ තවත් එක් පරිච්ඡේදයකැයි මට සිතේ.ජාතියක් වශයෙන් අපට දෝතින් වත් හෙළුව වසා ගන්නට ඉඩ නොතැබූ අවස්ථාවක් ලෙස මෙම නැවත සක් සූරින් වීම හඳුන්වන්නට අපට සිත් දෙන්නේ එනිසා ය.
හේමන්ත රන්බණ්ඩාර