ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් ඊයේ (10) පනවා තිබේ.ඒ ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන නීති විරෝධී ලෙසභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.මේ වන විට ඒ පිළිබඳ විමර්ශන කරන බව දැනුම් දෙමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම විදේශ ගමන් තහනම පනවා තිබේ. මෙම සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථගාලේ සැකකටයුතු අන්දමින් කාර් රථයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දී තිබේ.එම විමර්ශනවලදී ජර්මනියේ නිෂ්පාදිත මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය එංගලන්තයට යවන බව පවසා හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවත්, පසුව මෝටර් රථය මෙරට ලියාපදිංචි නොකර වෙනත් මෝටර් රථයකට නිකුත් කළ අංක තහඩුවක් ව්‍යාජ ලෙස සවිකර මෙම මෝටර් රථය භාවිත කර ඇති බවත් එම විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඒ අනුව මෙම මෝටර් රථය මෙරටට ගෙන්වූයේ කවුද? භාවිත කළේ කවුද? යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර අතැයි ද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.එම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා නොවීම පිණිස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලීසිය ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන්නැයි නියම කළාය.

කාලීන පුවත්