ජොසී මනප්පු නැති ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු

ආණ්ඩුව පසුගිය ද ප්‍රකාශ කළේ මාර්තු 05 දායින් පසුව විදුලිය කප්පාදු නොකරන බව ය. එයට පදනම වූයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇමති මණ්ඩලයට දුන් පොරොන්දුවකි. ඔහු කියා තිබුණේ මාර්තු 05 දායින් පසුව රටට ඩීසල් ලැබෙන බැවින් ඒවා විදුලි බලාගාර වලට නිකුත් කළ හැකි බව ය. ඒ අනුව විදුලිය කප්පාදුව 05 දායින් පසුව අවසන් කළ හැකි බව ඔහු කියා තිබුණි

කැබිනට් මණ්ඩලය වෙත ඔහු ඉදිරිපත් කර තිබූ ප්‍රතිඥාව පසුදා මාධ්‍යවල ලොකුවට පළව තිබුණි. එම තොරතුරු සමඟ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ප්‍රකාශ නිකුත් කරන්නට වූයේ 05 දායින් පසුව විදුලිය කප්පාදුව නතර වන බව ය. එවක විදුලිබල ඇමතිව සිටි ගාමිණි ලොකුගේ කියා සිටියේ ද 05 දායින් පසුව බොහෝදුරට විදුලිය කප්පාදුව අවසන් වන බව ය.

ආණ්ඩු පක්ෂ සංවිධායක, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ද ස්ථිරව කියා සිටියේ විදුලිය කප්පාදුව 05 දායින් අවසන් වන බව ය. එසේම මේ සියලු ප්‍රශ්න මාර්තු මස අවසන් වන විට අවසන් වන බවට ද ඔහු “කැට තිබ්බේය”. ඔහු එසේ කියා සිටියේ මුදල් ඇමතිවරයා ඇමති මණ්ඩලය වෙත ලබාදී තිබූ ප්‍රතිඥාව පිළිගනිමිනි.එසේ ජනතාව වෙත සුබ ආරංචි ගෙන ඒම තම දේශපාලන ඉදිරි පැවැත්මට බොහෝ හිතදායක බව අපේ දේශපාලනඥයෝ හොඳින්ම දනිති.ඔවුන් අනුන්ගේ අමාත්‍යංශ සම්බන්ධ සුබ ආරංචි පවා එසැන පුවත් ලෙස ජනතාව හමුවට ගෙන ඒමට ඔවුන් පසුබට නොවන්නේ ද එනිසා ය.

නමුත් මුදල් ඇමතිවරයා ප්‍රධාන එම මැති ඇමතිවරු කියූ කියුම් බොරු කරමින් 06 දා සිටම ලංකා විදුලිබල මණ්ඩලය යළිත් විදුලි කප්පාදුවකට ගියේය. එය පැය 3 ක විදුලිය කප්පාදුවකි. පැය හතහමාරක විදුලිය කප්පාදුව පැය තුන දක්වා අඩුවීම ආණ්ඩුවට අනුව විදුලිය කප්පාදුව අවසන් වීමකි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමේ යෝජනාවට අවසර හිමිවිය. එය ඉදිරියේදි ඇමති මණ්ඩලයට ඉදිරිපත් කොට අවසර ලබා ගැනීමට නියමිත ය. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන්ත අබේසේකර මෙයින් ඉල්ලා සිටින්නේ මෙගාවොට් 200 ක් පෞද්ගලික බලාගාරවලින් ලබා ගැනීමට ය.

එය රට තුළ බලාගාරවලින් හා රටින් පිට මුහුදේ තිබෙන පාවෙන බලාගාරවලින් විය හැකිය. සාමාන්‍යයෙන් පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිය ලබාගැනීමේදි එක් විදුලි ඒකකයකට රුපියල් 35ත් 40ත් අතර මුදලක් ගෙවිය යුතුය. පාවෙන බලාගාරවලින් විදුලිය ලබා ගන්නේ නම් ඒවා ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. රටේ ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක එලෙස ගෙවිය හැකි ද?යන පැනය මෙයින් මතුවේ.

එසේවුවද ඉදිරි වර්ෂාව එනතුරු රටේ සම්පූර්ණ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට තරම් තාප විදුලි බලාගාරවලින් විදුලිය උත්පාදනය කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2400 ත් 2600 ත් අතර ප්‍රමාණයකි. එහි උපරිමයට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී ය. එම විදුලි අවශ්‍යතාවයට සරිලන ලෙස විදුලිය උත්පාදනය නොවන බැවින් විදුලිය කප්පාදු කිරීමට සිදුවේ. අද වන විට සිදුවන්නේ එය ය. රටේ විදුලිය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිකර තිබෙන තාප බලාගාර 10 කින් බලාගාර අටක් විදුලිය උත්පාදනය කරන්නේ නැත.

එයට හේතුව ඩීසල් හා දැවිතෙල් නොමැති කම ය. ඉකුත් ඉරිදා සිට මෙරටට පැමිණ තිබෙන නෞකාවෙන් ඩීසල් තොග ගොඩ බාන බව තෙල් සංස්ථාව කියයි. එයින් කොටසක් විදුලිබලාගාර වෙත යොමු කළ හැකි බව ද ඔවුහු කියා සිටිති.

කෙසේ නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් කියූ බව කියමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ 05 දා සිට විදුලිය නොකැපීමට ඔවුන් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවකි. නිලධාරීන් ජනාධිපතිවරයාට දී ඇත්තේ කඩවුණු පොරොන්දුවකි. රටේ අවශ්‍යතාවයට විදුලිය නිෂ්පාදනය නොවන අවස්ථාවක දී අඛණ්ඩව විදුලිය සපයන්නේ කෙසේද? යන පැනය ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී කිසිවෙකු ප්‍රශ්න කර නැත. ඒ අනුව එම කඩවුණු පොරොන්දුවම ජනාධිපති වරයා ජනතාවට ප්‍රදානය කොට තිබේ.

විදුලිබල මණ්ඩලයේ නිලධාරින් අඛණ්ඩව විදුලිය සැපයීමට පොරොන්දු වී ඇත්තේ පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමේ චේතනාව පෙරදැරි කර ගෙන දැයි අපි දන්නේ නැත. කවුරු කෙසේ කීවත් කවුරුන් පොරොන්දු වුණත් විදුලිය කප්පාදුව නතර වී නොමැත. මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විහිළු සපයන්නෙකු බවට පත්ව ඇත.

ඔහු විදුලිය නොකපන බවට සැර ප්‍රකාශ දෙමින් විදුලිය කප්පාදුව බලහත්කාරයෙන් නතර කරගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙස පැය 8 ට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය. මුලින් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියේ පැය 2 ක විදුලි කප්පාදුවකි. ඒ දහවල් පැයක් හා රාත්‍රියේ පැයක් ලෙසය. එහෙත් ජනාධිපතිවරයා හා මහජන උපයෝගීතා කොමිසම තරයේ කියා සිටියේ විදුලිය කප්පාදු නොකළ යුතු බවට ය.

ජනාධිපතිවරයා හා මහජන උපයෝගීතා කොමිසම විදුලිය කප්පාදුවකට ඉඩ නොදීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය තමන් සතු ජල විදුලිබලාගාරවල උපරීම ධාරිතාවයකට විදුලිය නිෂ්පාදනය කිරීමට පෙළැඹූනේය. එහි ප්‍රතිඵලය වූයේ මාර්තු අවසන් වන තුරු ජල විදුලිබලාගාර මගින් විදුලිය නිපද වූ විදුලිබල මණ්ඩලයට මෙවර පෙබරවාරි මාසයේ මුල සිටම ජල විදුලිය නිෂ්පාදනය කිරීම අත්හිටුවීමට සිදුවීම ය.

දැන් ජල විදුලිය නිෂ්පාදනය කරන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජල විදුලි නිෂ්පාදනය නතර කර තිබේ. ඒ කෘෂිකර්මාන්තයට හා පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් වතුර අවශ්‍ය බැවිනි. කෙසේ නමුත් මේ සියළු පාර්ශවවල එකකට එකක් පරස්පර තීන්දු හේතුවෙන් මේ වන රටේ විදුලිය කප්පාදු කෙරෙයි..

ඩොලර් හිඟය නිසා රටට අව්ශ්‍ය ඩීසල් නැත. පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගත නොහැක. මේ නිසා විදුලි අර්බුදය උත්සන්න වී රටේ සියළු කර්මාන්ත අඩපණ වී තිබේ.මේ සියලු අර්බුද වලට හේතුව ආණ්ඩුවේ නොනිසි කලමණාකරණයයි.ඒ මඟින් ආණ්ඩුව ජනතාවට එක් දෙයක් නම් මනාව තහවුරු කරමින් සිටියි.ඒ ජොසී මනප්පු නොමැතිව වුවද කඩවුණු පොරොන්දුව යස අගේට රඟ දැක්විය හැකි බවය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර