ට‍්‍රම්ප් ග‍්‍රීන්ලන්තය මිල දී ගැනීමට සැරසෙයි

උත්තර ධ‍්‍රැවය ආසන්නයේ පිහිටා ඇති හිමෙන් වැසුණු ගී‍්‍රන්ලන්තය ලෝකයේ ඉතා අපූරුම භූමි ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැක්කකි. ලොව විශාලතම දූපත වන එහි වර්ග ප‍්‍රමාණය වර්ග කි.මී. මිලියන 2 ක් පමණ වන අතර මෙයින් සියයට 80 ක්ම හිම තට්ටුවලින් වැසී ඇත.

ජාත්‍යන්තර දේශපාලන කරළියේ නිතර අවධානයට හසු නොවන භූමියක් වුවත් මේ දිනවල ගී‍්‍රන්ලන්තය ගැන ලොකු අවධානයක් යොමුව තිබෙනු දැකිය හැකි වේ. එයට හේතුවී ඇත්තේ ඉදිරියේ දී ඇමරිකාව ගී‍්‍රන්ලන්තය මිළ දී ගැනීමට උත්සාහ කරනු ඇත් ද යන සැකයක් මතු වී තිබීම ය. තව ටික දිනකින් ඇමරිකානු ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහුගේ දෙවැනි ධුර කාලය තුළ මේ සඳහා යම් කි‍්‍රයාමාර්ගයක් දියත් කරනු ඇති බවක් මේ වනවිට පෙනෙන්නට තිබේ. මේ බව ඇඟවෙන ප‍්‍රකාශ ඔහු මේ වනවිට කරමින් සිටිනු දැකිය හැකි වේ. ට‍්‍රම්ප් ඔහුගේ පළමු ධුර කාලය තුළ ද මෙම අදහස මතු කර තිබිණි. යම් හෙයකින් ඔහු ඉදිරියේ දී මෙවැනි උත්සාහයක් දැරුවහොත් එයින් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

ගී‍්‍රන්ලන්තය මේ වනවිට ස්වයං පාලනයක් සහිත භූමියක් වුවත් එහි අයිතිය ඇත්තේ ඩෙන්මාර්කයට යි. කලක් එය ඩෙන්මාර්කයේ යටත් විජිතයක් ලෙස ද පැවතියේ ය. නමුත් මෙම භූමිය ඩෙන්මාර්කයට වඩා ඇමරිකාවට කිට්ටුවෙන් පිහිටා තිබෙන්නකි.

ගී‍්‍රන්ලන්තය පූර්ණ වශයෙන් නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා ද මේ වනවිට එහි පාර්ශ්ව උත්සාහ දරමින් සිටියි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් එය ඇමරිකාවට පවරා ගැනීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

ට‍්‍රම්ප් ගේ පුත් කණිෂ්ඨ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගී‍්‍රන්ලන්තයට ගොඩබට අවස්ථාව

ට‍්‍රම්ප් ග‍්‍ර‍්‍රීන්ලන්තය ඇමරිකාවට අයිති කර ගැනීමට සැරසෙන්නේ ඇමරිකාවේ ආරක්‍ෂාවටත්, ආර්ථික සුරක්‍ෂිතභාවයටත් එය අවශ්‍ය බව සඳහන් කරමිනි. මේ වනවිට රුසියාව, චීනය වැනි ඇමරිකානු විරෝධී රටවල් උත්තර ධ‍්‍රැව කලාපය තුළ සිය හමුදා ශක්තිය වර්ධනය කරමින් සිටින බව සඳහන් වේ. එය ට‍්‍රම්ප් වැනි අය සලකන්නේ ඇමරිකාවේ ආරක්‍ෂාවට විශාල තර්ජනයක් එල්ල කරන්නක් ලෙසිනි.
මෙම කලාපයේ සිට ඇමරිකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීම ඉතා පහසු කටයුත්තකි. රුසියාවට යම් අවස්ථාවක ඇමරිකාව ඉලක්ක කර මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමට වුවමනා වුවහොත් එ් සදහා ඇති කෙටිම මාර්ගය වැටී ඇත්තේ ද උත්තර ධ‍්‍රැව සහ ගී‍්‍රන්ලන්ත කලාප හරහා ය. මෙම තත්වය තුළ ඇමරිකාව ද මෙම කලාපයේ හමුදා ශක්තිය තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවට පසුගිය කාලයේ යෝජනා ඉදිරිපත් විය. ගී‍්‍රන්ලන්තය ඇමරිකාවට එක් කර ගතහොත් එය මෙම කලාපය තුළ ඇමරිකාවේ ශක්තිය විශාල වශයෙන් වර්ධනය කරන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ග‍්‍රීන්ලන්තය ගැන උනන්දුව දක්වන්නේ ආරක්‍ෂාවට සම්බන්ධ කාරණා නිසා පමණක්ම නොවන බවට ද අදහස් පළ වේ. ගී‍්‍රන්ලන්තය යනු ස්වභාවික සම්පත් බහුල වශයෙන් පිහිටා ඇති භූමියකි. එහි ඛණිජ තෙල් සහ ගෑස් වැනි ඉන්ධන බහුල ය. එමෙන්ම විදුලි මෝටර් රථ සහ සුළඟින් විදුලිය නිපදවීමේ දී යොදා ගන්නා ටර්බයින සෑදීමට අවශ්‍ය වන ඇතැම් ලෝහ වර්ග ද මෙහි විශාල වශයෙන් ඇති බව සඳහන් වේ. ට‍්‍රම්ප් ගී්‍්‍රන්ලන්තය ඇමරිකාවට පවරා ගැනීමට සූදානම් වන්නේ මෙම ආර්ථික කාරණා ද සැලකිල්ලට ගනිමින් බව පෙනේ.

තත්වය මෙසේ තිබිය දී ට‍්‍රම්ප් ගේ වැඩිමල් පුත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් කණිෂ්ඨ පසුගිය දිනෙක ගී‍්‍රන්ලන්තයේ සංචාරයක නිරත වූ අතර එය ද විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. ට‍්‍රම්ප් ඉදිරියේ දී ග‍්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යම් කි‍්‍රයාමාර්ගයක් ගනු ඇති බව ඔහුගේ පුත‍්‍රයාගේ මෙම සංචාරය තුළින් ද තහවුරු වන බව බොහෝ පාර්ශ්වවල අදහස යි. කෙසේ නමුත් මෙම සංචාරයේ දී කණිෂ්ඨ ට‍්‍රම්ප් ගී‍්‍රන්ලන්ත ආණ්ඩුවේ නියෝජිතයන් කිසිවකු හමු වූයේ නැත. ඔහුගේ සංචාරය සැලකුණේ හුදෙක් පෞද්ගලික සංචාරයක් ලෙසිනි.

ගී‍්‍රන්ලන්තය මිල දී ගැනීමට සූදානම් වූ පළමු ජනාධිපතිවරයා ට‍්‍රම්ප් නොවේ.
1865- 1869 අතර කාලයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඇන්ඩෲ ජොන්සන් ද ගී‍්‍රන්ලන්තය මිල දී ගැනීමට සූදානම් වූ බව සඳහන් වේ. එමෙන්ම 1945 සිට 1953 දක්වා ජනාධිපති පදවිය දැරූ හැරී ටෲමන්ගේ පාලන සමයේ ද මෙවැනි උත්සාහයක් ගෙන තිබිණි. එම අවස්ථාවේ ඇමරිකාව ගී‍්‍රන්ලන්තය මිල දී ගැනීමට සූදානම් වී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලකට ය. නමුත් මෙම උත්සාහයන් සාර්ථක වූයේ නැත.
ගී‍්‍රන්ලන්තය ඇමරිකාවට පවරා ගැනීම සඳහා ට‍්‍රම්ප් තුළ ඇති අදහස ද ඉටු වනු ඇත් ද යන්න බෙහෙවින් සැක සහිත ය. ඩෙන්මාර්කයේ නායකයන් පසුගිය දිනවල පවසා තිබුණේ ගී‍්‍රන්ලන්තයේ අනාගතය ගැන තීරණය කළ යුත්තේ එහි වැසියන් බව යි.

‘ගී‍්‍රන්ලන්තය කියන්නේ විකුණන්න තියෙන තැනක් නෙවෙයි. එ්ක කවදාවත් සිද්ධ වෙන්නෙ නැහැ. අපි අවුරුදු ගාණක් තිස්සේ නිදහස වෙනුවෙන් කරන අරගලය පරාජය වෙන්න ඉඩ දෙන්න බැහැ’ එසේ පවසා තිබුණේ ගී‍්‍රන්ලන්ත අගමැති මූට් ඉගෙද් ය.

කෙසේ නමුත් ග‍්‍රීන්ලන්තය පවරා ගැනීමේ තම අදහසට බාධා එල්ල වුවහොත් ට‍්‍රම්ප් හමුදා බලය පාවිච්චි කරනු ඇත් ද යන සැකයක් ද මේ වනවිට මතු වී තිබේ. මෙම තත්ත්වය තුළ ශීතල ගී‍්‍රන්ලන්තය කේන්‍ද්‍ර කරගෙන ලොකු උණුසුමක් වර්ධනය වෙමින් තිබෙනු දැක ගත හැකි වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර