ඩයනාගේ කාමාස්වාද ආර්ථිකයෙන් රට ගොඩ ගත හැකිද?

එදා මෙදා තුර ශ්‍රී ලාංකේය බොහෝ දේශපාලනඥයන් ගේ ප්‍රකාශ සේම ක්‍රියාවන් ද හර සුන් වීමේ ඛේදනීය ප්‍රතිඵල අපි මේ වන විට ජාතික වශයෙන්ම අත්විඳිමින් සිටිමු. ඒ අතරේ අදටත් බොහෝ දේශපාලනඥයන් වෙතින් නිබඳවම පැවසෙනුයේ සමාජ, ආර්ථික, දේශපාලනික හෝ සංස්කෘතික වශයෙන් කිසිදු වැදගත්කමක් නැති බුද්ධි හීන ප්‍රකාශයන්ම ය. මේ අතරේ කිසියම් අස්ථානගත ප්‍රවේශයකින් ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වී මේ වන විට සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ඩයනා ගමගේ මහත්මිය එම තනතුරු ලාභය හිමි වීමට පෙර සිටම මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික ධාරාව වෙනයම් දිශානතියකට යොමු කරන සුවිශේෂ මතයක් ගෙන හැර දක්වන්නී ය.එමෙන්ම එය වරක් දෙවරක් නොව නොයෙක් වර පාර්ලිමේන්තුව තුළ දී පවා අවධාරණය කිරීමෙන් අපට සාධාරන ලෙස අනුමාන කළ හැක්කේ ඇය එක්තරා බුද්ධිමය සැළැස්මකට අනුව එම මතවාදය සමාජය තුළ ස්ථාපිත කරවීමේ කාර්ය භාරයක නියුතු වන බවකි.

ගංජා වගාව ප්‍රවර්ධනය කොට ඒවා අපනයන කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීම, ගණිකා වෘත්තිය නීතිගත කොට එය සංචාරක කර්මාන්තය හා බද්ධ කිරීම සහ කැසිනෝ ආදී සූදු ක්‍රීඩා ප්‍රවර්ධනය කරවීම ඇගේ එම ප්‍රධාන යෝජනාවන් අතර වෙයි. මෙහි මුල් කරුණු දෙක ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට අනුව සපුරා තහනම් කොට ඇති අතර තුන්වන කරුණට පමණක් ඉතා සීමිත නීතිමය අවකාශයක් හිමි කොට දී තිබේ.

ළමා විය හා බද්ධ වූ බරපතල මානසික කම්පන හා බිඳ වැටීම් ආදී සාධක මුල් කොට වැඩිහිටි බවට පත් වීමෙන් පසු ඇතැමකු තුළ උප විඥානගත සමාජමය වෛරයක් ඇති වන බවත් වැඩිහිටි බවත් සමඟ එය සමාජ විරෝධී පෞරුෂය වශයෙන් හැඳින්වෙන බවත් මනෝ විද්‍යාවේ ඉගැන්වෙයි.තමන් තුළ පවත්නා සමාජමය හැකියාව අනුව තත්කාලීන සමාජ සංස්කෘතික සදාචාර පදනමට පහර දීමට ඔවුන් පෙළඹෙන බව ද කියනු ලැබේ. ඒ අනුව මේ වන විට නීතිමය සහ සදාචාරමය වශයෙන් අනුමත නොවන කරුණු තුනක සාධනීයත්වය මුල් කොට නිතර නිතර කරුණු දැක්වීම තුළින් මෙම රාජ්‍ය ඇමතිනිය එම මානසිකත්වයට පත්ව හිඳින්නියක බවට තර්ක කිරීමට ඇතැමකුට පුළුවන.

එහෙත්,විද්‍යාත්මක මනෝ විශ්ලේශනයකින් තොරව එවැන්නක් ප්‍රකාශ කිරීම එතරම් සාධාරණ නිගමනයක් නොවන බව අපගේ පෞද්ගලික වැටහීම ය. ගංජා වගාවෙන් විදේශ විනිමයක් ඉපදවිය හැකි බවට පෙන්වා දෙන යෝජනාව හැරුණු කොට ගණිකා වෘත්තිය සහ දූ කෙලිය නීතිගත කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරිය ගෙන එන යෝජනාව අපගේ නූතන ලෝකයට නුහුරු නුපුරුදු ඒවා නොවේ. සන්ධ්‍යා ආර්ථිකය (Evening economy ) නිශාකාල ආර්ථිකය (Nighttime economy ) යනුවෙන් හැඳින්වෙන එම ආර්ථික ක්‍රමෝපායන් ලොව ඇතැම් රටවල අදටත් අඩු වැඩි වශයෙන් අත්හදා බැලෙන හා ක්‍රියාත්මක වන බව ප්‍රකට කරුණකි.

සන්ධ්‍යාව එළැඹීමත් සමඟ ඇරඹෙන සුවිශේෂ සමාජ, ආර්ථික, උප සංස්කෘතික යාන්ත්‍රණයකින් යුතු නොනිදන නගර (Never sleep city ) ලොව බොහෝ රටවල දක්නට ලැබේ. දිවා කාලයේ විවිධ ක්‍රම වලින් ධනෝපානයේ යෙදෙන්නවුන් සන්ධ්‍යා සහ රාත්‍රී කාලයන් තුළ එම ධනය නොවිධිමත් ලෙසින් අධි පරිභෝජනයේ යෙදවීම පදනම් කරගත් මෙම නොනිඳන නගර උප සංස්කෘතිය තුළ ආපන ශාලා, මත් පැන් ශාලා, විවිධාකාර ප්‍රසංග, ක්‍රීඩා ඉසව්, මත්පැන්, සංගීතය, දූ කෙලිය ,ගණිකා ඇසුර ආදී අංග වලින් සපිරි ව්‍යාපාර සේම ජාවාරම් යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. මෙම නොනිදන නගර සංස්කෘතිය පදනම් කොට ගනිමින් අතිරේක පිරිස් සඳහා පූර්ණ කාලීන සහ අර්ධකාලීන රැකියා අවස්ථා සහ ව්‍යාපාර අවස්ථා බහුල වීම මුදල් සංසරණය විවිධාංගීකරණයට ලක්වීම රජයේ බදු ආදායම ඉහළ නැංවීම යන කරුණු දක්නට පුළුවන. එමෙන්ම මෙම නොනිඳන නගර සංස්කෘතියට යොමු වූ විදේශිකයන් මෙහි පැමිණීමෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ද දැකිය හැක.එය විදේශ විනිමය උපයන ක්‍රමෝපායකි.

සංචාරක රාජ්‍ය ඇමති වරිය මෙම නොනිඳන නගර සමාජ,ආර්ථික, සංස්කෘතිය හඳුන්වමින් ජන මාධ්‍යයට පවසා සිටියේ සංචාරකයන් මෙහි පැමිණෙනුයේ “රාත්‍රී දහයට කාමරවල අගුළු දමා නිදා ගන්නට” නොවන බව ය. එහෙත්, ලෝකය පුරා දක්නට ලැබෙන සංචාරක කර්මාන්තයේ විවිධාංගීකරණ ස්වරූපය අනුව ඇගේ කතාව හුදු සිය දැනුම අවබෝධයන් සහ අද්දැකීම් මත පමණක් පදනම් වූවක් බව පෙනේ.ඊට හේතුව අප දන්නා බොහෝ සංචාරකයන් දිවා සහ සන්ධ්‍යා කාල වල තමන් ගේ සංචාර කටයුතු නිමා කොට රාත්‍රියට තම නවාතැන් පල වලට ගොනු වී නින්ද නම් වන පොදු ජෛවමය අවශ්‍යතාව සංතෘප්ත කර ගන්නා බැවිනි.

සන්ධ්‍යා ආර්ථිකය, නිශා කාල ආර්ථිකය මත පදනම් වූ නොනිදන නගර කේන්ද්‍ර කොට ගත් සමාජ සහ මානව විද්‍යාත්මක විමසුම් ලොව පුරා කොතෙකුත් සිදුවෙමින් තිබේ. ඒ සියළු විමර්ශනයන් ගෙන් අනාවරණය වූ පොදු කරුණු අතර එම සමාජ, ආ්ර්ථික,සංස්කෘතික රටාව තුළ අපරාධ බහුල වීමේ සම්භාවිතාව පොදු සාධකයක් බවට පත්ව තිබේ. ඊට අමතරව එම ආර්ථිකය සඳහා ඉවහල් වන කාමභෝගීත්වය පදනම් කර ගත් නොවිධිමත් පරිභෝජන රටාවන් මුල්කොට සමාජය පුරා වංචා, දූෂණ අක්‍රමිකතා සිදුවීමේ පැහැදිලි සම්භාවිතාවක් ද නිරීක්ෂණය වී තිබේ. එය සමාජමය වශයෙන් ඉතා අහිතකර ප්‍රවණතාවකි. ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍ය වරිය ඉදිරිපත් කරන මෙම ආර්ථික ප්‍රවර්ධන යෝජනාවලිය හා සම්බන්ධ ස්ථාන තුන අපගේ සම්ප්‍රදායික ජන සමාජය විසින් අතිශය පිළිකුලෙන් යුතුව, හෙලා දකින ලද්දකි.

සාමාන්‍ය ජන වහරට අනුව “වේස මඩම” “තැබෑරුම” සහ “සූදු පිටිය” නම් වලින් හැඳින්වෙන මෙම ස්ථාන සමඟ සහ සම්බන්ධතා පවත්වන කිසිවකුත් සාමාන්‍ය සමාජයට වැද්දා නොගැනීමට අතීත ගැමියෝ වග බලා ගත්හ. ඒ අනුව සංචාරක කර්මාන්තයේ නාමයෙන් හෝ යළි මේවා ප්‍රවර්ධනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කිරීම අපගේ සාම්ප්‍රදායික ජන විඥානය තියුණු කම්පනයකට ලක් කිරීමක් බව ඒකාන්ත සත්‍යයකි.
කිසියම් රටක සංවර්ධනය, ආර්ථික සමෘද්ධිය හෝ ස්ථායිභාවය හුදෙක් ධනෝපානය පමණක් නොවේ. එම ධනෝපායන මාර්ගවල විධිමත් බව ධරණීය හා තිරසාර බව ආර්ථික සංවර්ධනය හඟවන නිර්නායක අතර වෙයි. මෙය පුද්ගල හා පවුල්මය වශයෙන් ද එලෙසින්ම බලපා ඇති අතර “බල්ලන් මරා හෝ සල්ලි හෙවීම” යනුවෙන් අතීත ගැමියන් හඳුන්වන ලද්දේ මෙවන් නොනිසි නොවිධිමත් ධනෝපායන මාර්ග බව පෙනෙයි. මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති වරයා ද පසුගිය දා මෙම කරුණට අදාල වැදගත් සාක්ෂියක් සැපයීය.

එනම් ගණිකා වෘත්තියේ යෙදෙතැයි සිතීමට පවා නොහැකි සමාජ සහ ආර්ථික මට්ටම් වල කාන්තාවන් ද මේ වන විට ගණිකා වෘත්තියට පිවිස ඇති බව පොලිස් ආරංචි මාර්ග ඔස්සේ තමන්ට දැන ගැනීමට ලැබුණු බවකි.වර්තමාන සමාජ ක්‍රමය යටතේ සුඛාස්වාදය සමාජ පරමාදර්ශයක් වීමත්,අධි පරිභෝජනවාදී සමාජයක පොදු මානව අවශ්‍යතා ඉක්මවා ආශාවන් සංතෘප්ත කර ගැනීම පිණිස අතිරේක මුදල් ප්‍රමාණය අවශ්‍ය වීමත් මත වර්තතමානයේ විභව ගණිකා( Potential prostitute) පාරාසයේ ද විස්තාරණයක් දක්නට ලැබේ.විභව ගණිකාව යනු තමන්ගේ ලිංගික සේවාවේ ගාස්තුව “අත් පිට” ලබා නොගන්නා මුත් අනේක විධ ලාභ ප්‍රයෝජන,වරප්‍රසාද,වරදාන තකා තකා පිරිමින් ඇසුරු කරන්නිය හඳුන්වන නමකි.

යහපත් සමාජ ආර්ථික පසුතලයන් හි හිඳින කාන්තාවන් සේම ඇතැම් වෘත්තීයවේදි නියන් ද මෙම පාරාසය තුළ හිඳින බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.නූතන සමාජයේ “බඩුව”යන නිග්‍රහාත්මක අව වහරින් හැඳින්වෙනුයේ ද මෙබඳු කතුන්ම ය. ඇමරිකානු මනෝ විද්‍යාඥ රෝයි බර්මිස්ටර් සහ මනෝ විද්‍යාඥ වරියක සහ චර්යාත්මක ආර්ථික විද්‍යාඥ වරියක වන කැත්ලීන් වොෂ් ලිංගික ආර්ථික විද්‍යාව( Sexual economics ) ලෙස හඳුන්වා ඇත්තේ ද මෙම කරුණම බව පෙනෙයි. .වර්තමාන සමාජ ආර්ථික පසුබිම තුළ ගණිකා වෘත්තීය පාරාසය මෙලෙස පුළුල් වීමට ඇති පැහැදිලි අවකාශයන් පොලීසියෙන් අසා දැන ගැනීමට සිදු වීම අප රටේ රාජ්‍ය නායකයන්ගේ සමකාලීන සමාජ විඥානය මනාව පැහැදිලි කරන්නකි.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගේ ඉහත සඳහන් යෝජනා හා සම්බන්ධ මානව විද්‍යාත්මක ප්‍රවේශයක දී එහි ඓතිහාසික මුහුණු වර ද ඉස්මතු කොට දැක්විය යුතු ය.. අතීත ජන සමාජයන් හි විවිධිකාර අන්දමින් තමන් වටා පාරම්පරික ලෙස සම්පත් ඒකරාශී කර ගෙන ධන කුවේරයන් ගෙන් සැදුම්ලත් පුර රාජ්‍ය (City state/Polis ) වල ජීවත් වූවන් සුඛ පරමවාදී (Hedonistic ) ජීවන රටාවන් සහිත සමාජ ක්‍රමයක් බිහි කොට ගත් අතර එෛහලෞකාක්වය (Secularization ) පදනම් කරගත් කාම සුඛල්ලිකානුවාදය ඔවුන් ගේ පොදු ජීවන දර්ශනය විය. පැරණි භාරතීය දාර්ශනිකයකු වූ චාර්වාක හෙවත් ලෝකායත “ණය වී හෝ ගිතෙල් කන්න” යනුවෙන් කළ ඓතිහාසික ප්‍රකාශය තුළින් පැවසෙනුයේ ද අසමතුලිත ආර්ථික ක්‍රමයක් තුළ වුව තම ලෞකිකත්වය තහවුරු කෙරෙන ස්වාර්ථය කෙරෙහිම යොමු වීමේ ජීවන හා සමාජ දර්ශනයක් පිළිබඳව ය. එහෙත්,එය මිනිසාගේ යහපත පිටු දකින මඟක් මිස මිනිසාට කවර හෝ යහපතක් උදාකරන ක්‍රමෝපායක් නොවන බව අවධාරණය කළ බුදු දහමින් චාර්වාක ගේ ලෝකායත දර්ශනය දැඩිව ප්‍රතික්‍ෂේප කොට තිබේ.

අතීත රෝමය ග්‍රීසිය ආදී පුර රාජ්‍ය වල දක්නට ලැබුණු මෙම සුඛ පරමවාදී සමාජ ආර්ථික බුද්ධ කාලීන භාරතයේ පැවැති සොලොස් මහ ජනපදවල ප්‍රධාන නගර පදනම්ව පැවැති බව පෙනේ. එහි දී එම රාජ්‍යයන් පාලනය කළ රජවරුන් සහ ආර්ථිකය කළමණාකරණය කළ සිටුවරුන් විසින් පවත්වා ගෙන ගිය කාම සුඛල්ලිකානුභෝගී ජීවන රටාවට අදාල කාමස්වාද සම්පාදනය සහ කළමණාකරණය වෙනුවෙන් නගර සෝභනිය නම් ඉහළ සමාජ තත්වයකින් යුතු විශේෂ භූමිකාවක් ද එවක සමාජයේ පැවැති බවට සූත්‍ර පිටකයෙන් ගත හැකි සාක්ෂි බොහොමයකි. නමුදු කාමයේ ආදීනව විවිධ අයුරින් පහදා දුන් බුදුන් වහන්සේ තමන් වහන්සේ ගේ දහම පුද්ගල බද්ධ මිස සමාජ බද්ධ ලෙස පතුරුවා නොහරින ලද බැවින් එම කාමභෝගී සමාජ, සංස්කෘතික ධාරාවට සෘජු ලෙස පහර නොදුන් බව පැහැදිලි ය. නමුත් එවක දිනකට දහසක් මිල අය කරන සිරිමා නම් අතිශය සුරූපී ගණිකාව මිය ගිය පසු නරක් වී විරූපී වූ මෘත ශරීරය පදනම් කොට උන්වහන්සේ කළ සමාජ ආමන්ත්‍රණය මිනිස් සිරුරේ ස්වභාවය හුවා දැක්වීම මුල් කොට තුළින් එවක පැවති සමාජමය කාමභෝගීත්වයට එල්ල කළ තියුණු විවේචනයක් බව පැහැදිලි ය.

ධම්ම පදට්ඨ කතාවේ එන එම පුවත මෙන්ම බුද්ධකාලීන භාරතයේ ද පැවැති “ගිරග්ග සමජ්ජ” නම් කාමභෝගී සැනකෙළියකට එක් වු කෝලිත උපතිස්ස යන දෙමිතුරන් ඉන් කලකිරී බුදු සසුනේ පැවිදිව බුදුන් වහන්සේ ගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් පුවත ද එවක භාරතීය සමාජයේ පැවැති මෙම කාමභෝගීත්වය කොතෙක් ද යන්න අපට සිතා ගත හැක.එමෙන්ම ධර්මාශෝක අධිරා‍යයාගේ ගිරි ලිපියක එන “න ච සමාජ කත්‍යාවෝ”නම් සඳහන මඟින් ද එවක පැවැති කාමභෝගීත්වය පදනම් කර ගත් “සමාජ ශාලා සංස්කෘතිය” පිටු දැක ඇති බව පෙනෙයි. එමෙන්ම පරාභව මුඛ හෙවත් පුද්ගලයකු ගේ පිරිහීමේ දොරටු දහ අටක් ඛුද්දක නිකායට අයත් පරාභව සූත්‍රය මගින් පෙන්වා දුන් බුදුන් වහන්සේ එහි දාහතර වන කරුණ වශයෙන් ස්ත්‍රීන් සුරාව සහ සූදුව කෙරෙහි ලොල්වීමත් පසලොස්වන කරුණ ලෙස වෙසඟනන් හා පර අඹුවන් කරා යාමත් දක්වා තිබේ.එමෙන්ම දීඝ නිකායට අයත් සිඟාලෝවාද සූත්‍රයට අනුව දක්වා ඇති “අපාය මුඛ” සයෙන් මුල් පහ වන මත්පැන් පානය, නොකල්හි වීදි සංචාරය, නැටුම් ගැයුම් ආදියෙහි ඇලීම සහ දූ කෙලියෙහි යෙදීම යන කරුණු ද ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය ගේ යෝජනාවට බුදු දහම පාර්ශවයෙන් එල්ල වන සෘජු විරෝධතා බව මෙරට ශාසන භාරකාරත්වයට කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.

වත්මන් නීති සහ සදාචාර විරෝධී රාමුවක් ඔස්සේ ධනෝපායනය පිණිස ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය පුන පුනාම කරන යෝජනාව ඇතැම් විට කිනම් හෝ ආකාරයක සාධනීය බවක් පළ කරන අයුරක් රාජ්‍ය පාලක කාරකාදීන්ට හැඟී යන්නට පුළුවන. ඒ අනුව ගංජා, ගණිකා වෘත්තිය සහ දූ කෙලිය නීත්‍යානුකූල කෙරෙන අන පනත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් ඒවා ක්‍රියාවට නැංවීමට ද ඉඩ තිබේ. නමුදු ඒ හා සමඟම වර්තමානයේ පවතින සමාජ සදාචාර මට්ටම ශීඝ්‍ර අවනතියකට ලක් වනු ඇත.

සදාචාරය යනු එක් එක් සමාජයට සාපේක්‍ෂ වූවක් බැවින් එවන් තත්වයක් යටතේ ගංජා වැවීම, ගණිකා වෘත්තිය සහ දූ කෙලිය සම්බන්ධයෙන් ජන විඥානය තුළ පවතින ආකල්ප ලිහිල් වීමෙන් සම්මත සදාචාර ප්‍රමිතිය ද ඊට සාපේක්‍ෂව අව ප්‍රමාණ වීම වැළැක්විය නොහැක. නමුදු මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ අනෝමීය හෙවත් සාරධර්ම විරහිත( Anomie) සමාජය වශයෙන් මේ වන විට සමාජ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති අතිශය දුර්දාන්ත සමාජයක් අප රට තුළින් ද නිර්මාණය වීමය. එහෙත් එවැනි බිහිසුණු සමාජ ඛේදවාචකයක් හමුවේ එම සමාජමය විපරිනාමය වලකාලීමට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරියට තබා පොදු ජන වහරට අනුව කිව හොත් “ශක්‍රයා”ට වත් නොහැකි වනු ඇත.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර