ඩයනාගේ පාරේ යන කේට්

පසුගිය වසර 6 ක් පමණ කාලය තුළ කේට් මිඩ්ල්ටන්ගේ හැසිරීම් සහ ශරීර භාෂාවන් body language හොදින් විමසා බැලීමේ දී ඇය ඇගේ නැන්දණිය වූ ඩයනාට සමානකම් දක්වන ආකාරයක් පෙනෙන්නට ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබේ. එයට හේතුව ඇය පොදු මහජනතාව සමග ගැවසීම සදහා ගත කරන කාලය දිනෙන් දිනම වැඩි වෙමින් පවතින බැවිනි.

කේට්ගේ ශරීර භාෂාව පිළිබදව වැඩිදුර අවධානය යොමු කරමින් මේ පිළිබදව අදහස් දක්වා තිබෙන්නේ එංගලන්තයේ නොටින්හැම්හි ඉංග්‍රීසි මෝහන විද්‍යාඥයෙක්, මනෝ විද්‍යාඥයෙක්, ශරීර භාෂා විශේෂඥයෙක්, රූපවාහිනී විකාශකයෙක් සහ ප්‍රකාශිත කතුවරයෙක් වන ඩැරන් ස්ටැන්ටන් විසිනි.

“කේට් අන් අය සමඟ අන්තර් ක්‍රියා කරන විට, ඇය සෑම විටම ස්ථාවර අක්ෂි සම්බන්ධතා පෙන්නුම් කරන බව ඔබට පෙනෙනු ඇත, ඇගේ හිස බොහෝ විට වමට නැඹුරු වේ,” ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි. “මේවා පුද්ගලයෙකුගේ ශරීර භාෂාව පිළිබද විශේෂිත සලකුණු වන අතර අනෙකුත් පුද්ගලයන්ගේ අවධානය දැඩිව දිනා ගැනීමට එවැනි සලකුණු පැහැදිලිවම හේතුවන බව ද‘‘ ස්ටැන්ටන්ගේ අදහසයි.

ස්ටැන්ටන් සඳහන් කළේ වේල්ස් කුමරිය වූ ඩයනා තමන් ඉදිරියේ සිටිනා පුද්ගලයාට සක්‍රීයව සවන්දීම හරහා සන්නිවේදනය කරන බවයි. “කේට් සමඟ සිටින අයට ඇය අවංකවම උනන්දුවක් දක්වන බවත්, ඇයගේ රාජකාරි ඉටු කිරීමේදී ඇය සතු සෑම කාරණයක්ම හුවමාරු කර ගන්නා බවත් ඔබට පැවසිය හැකිය. මෙම ලක්ෂණය මේ ආකාරයටම තිබූ රාජකීයයා ලෙස වේල්ස් කුමරිය නොහොත් ඩයනා ද මා බෙහෙවින් අගය කිරීම කැමැත්තෙමි” යනුවෙන්ද ඔහු වාර්තා කර තිබේ.

යම් යම් අවස්ථාවල කේට් මිඩ්ල්ටන්ගේ බලපෑම මත විලියම් කුමරුගේ ජීවිතයේ වඩාත් මෘදු සහ වඩා විශ්වාසදායක පැත්ත ඉස්මතු කිරීමට උපකාරී වූ බව ද ස්ටැන්ටන් පවසයි. මෑත වසර කිහිපය තුළ විලියම් සැබවින්ම ජ්‍යෙෂ්ඨ රාජකීයයෙකු ලෙසත්, සංවේදනයෙකු ලෙසත්, සන්නිවේදකයෙකු ලෙසත් දියුණු වී ඇති අතර, එසේ සිදුවන්නට හේතුව කේට් මිඩ්ල්ටන් සමඟ ඔහුගේ විවාහය සිදුවීමට ස්තූතිවන්ත වන්නට බවද ඔහු ‘මාරි ක්ලෙයාර්‘ නම් වූ සුප්‍රසිද්ධ සගරාව සමග සිදු කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඉන්පසු ඔහු ඩයනාගේ ස්වරූපය වෙත ආපසු හැරේ. ඇයගේ අන්තර්ක්‍රියා වලදී ඇය වාචික නොවන යම් හැසිරීම් මගින් තමන් ඉදිරියේ සිටින පුද්ගලයා තුළ තමන් කෙරෙහි තදබල විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමත් කම් දක්වන බව ද, එය වර්තමානයේ කේට් මිඩ්ල්ටන්ගේ බොහොමයක් හැසිරීම් සහ ඉරියව් තුළ ගැබ්ව පවතින බව ද ස්ටැන්ටන් පැහැදිලි කරන්නේ උදාහරණ ලෙස විවිධ අවස්ථා උදෘත කර ගනිමිනි. ඔහු මෙය හදුන්වන්නේ “අව්‍යාජ උනන්දුව” නමිනි. මෙකී රාජකීය කාන්තාවන් යුගලය අතර ඇති ප්‍රධාන සමානකමක් ලෙස ද එය ඔහු විසින් පෙන්වා දී තිබේ.

“විශේෂයෙන්ම රාජකීය කටයුතුවලදී සහ අනෙකුත් සිවිල් ප්‍රභූවරුන් හමුවීමේදී විලියම් විසින් විශ්වාසය ගොඩනගා ගන්නවාට වඩා පහසුවෙන් සහ ඉක්මණින් කේට් විසින් එය සිදු කරනු ඇතැයි” ඔහු තවදුරටත් පවසයි. “ඇත්ත වශයෙන්ම, පියෙකු වීම විලියම්ට විශාල අභ්‍යන්තර වගකීමක් උදා කර ඇති අතර එමගින් ඔහුට සන්සුන් බවක් ලබා දීමට ද කේට්ට හැකිවී තිබීම පුදුමයට කාරණයක් ලෙස ද ඔහු දක්වයි.

කෙසේ වුව ද කේට්ගේ ගති පැවතුම් විලියම්ව යම් ආකාරයකින් වෙනස් පුද්ගලයෙකු බවට පත් කිරීමට ද හේතු වී ඇති බව ඔහුගේ අදහසයි. ‘‘1997 දී ඩයනාගේ ඛේදනීය මරණයට පෙර ඇය වඩාත් විලියම්ට සමීපව සිටියාය. ඇය මිය යන විට ඔහුට වයස අවුරුදු 15 ක් වුවද ඇයගේ මරණයේ බලපෑම තවමත් ඔහු තුළින් පෙනේ. ඩයනා සෑම දිනකම ඔහුගේ ජීවිතයේ වැදගත් සහ අත්‍යවශ්‍ය කොටසක් ඉටු කරන බව ඔහුගේ යම් යම් අදහස් අනුව මෙන්ම ඉරියව් අනුව ද පැහැදිලිය. අනාගත රජුට අනිවාර්‍යෙන්ම ඩයනාගේ චරිත ලක්‍ෂණ බොහොමයක් උරුම වී ඇත“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

සිය මවගේ ගති පැවතුම් හා සමාන ගති පැවතුම් ඇති කාන්තාවක සමග විවාහ වෙන්නට ලැබීම හුදු විලියම්ගේ පමණක් නොව, සමස්ත එක්සත් රාජධානියේම වාසනාවක් බව ඩැරන් ස්ටැන්ටන් සිය සම්මුඛ සාකච්ඡාව නිම කරමින් ‘මාරි ක්ලෙයාර්‘ සගරාවට පවසා තිබිණි.

දුලංජලී මුතුවාඩිගේ

රසගඟුල