ඩයනා ගමගේට එරෙහිව ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

තමන් ලබන සතියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි.ඔහු විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය ඊයේ(31) නිෂ්ප්‍රභ කළේය.එම ‍පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසකි.
පසුගිය ජනවාරි මස 26 වැනිදා විභාගය ආරම්භ කෙරුණු මෙම රිට් පෙත්සම මාස 05කට ආසන්න කාලයක් විභාග කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අවස්ථා කිහිපයකදී කල් තැබීම ද විශේෂත්වයකි.ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා කියා සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන්ගේ තීන්දුව මත අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවය.අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ තීන්දුවට විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ද එකඟතාවය පළ තිබූ තීන්දුවට එරෙහිව විනිසුරු ඒ. මරික්කාර් මහතා විසම්මුතික තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණ.” වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටිනවා. එමෙන්ම වගඋත්තරකාරිය අධිකරණය ඉදිරියේ සිය ශ්‍රී ලාංකික පුරවැසි භාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී තිබෙනවා. ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීරණය කරන මා පෙත්සම්කරු ඉල්ලා ඇති රිට් ආඥාව නිකුත් කිරීමටත්, ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවටත් තීන්දු කරනවා “යනුවෙන් එම තීන්දුවේ සඳහන් ය.

කාලීන පුවත්